ජාත්‍ය­න්තර වෙසක් දින සැම­රුම වෙනු­වෙන් ඉදි­කෙ­රෙන ශාක්‍ය කිංඩම් | Page 5 | සිළුමිණ

ජාත්‍ය­න්තර වෙසක් දින සැම­රුම වෙනු­වෙන් ඉදි­කෙ­රෙන ශාක්‍ය කිංඩම්

සිදුහත් උපත, බෝසත් අවධිය, බුද්ධ උත්පත්තිය සිදු වු ලුම්බිණිය, බුද්ධගයාව, කුසිනාරා නුවර සියැසින් දැක බලාගන්නට නම් අපට ඉන්දියාවට යා යුතුම වෙයි .

එහෙත් ඉදිරියේදී මේ ඓතිහාසික ස්ථාන ලංකාවේ සිටම දැක පහන් සංවේගය උපදවාගන්නට බෞද්ධයන්ට අවස්ථාව හිමිවේ. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2600 ක් සපිරෙන ‍මෙවර වෙසක් දින සැමරුම ලාංකික අපට වඩාත් වැදගත් වන්නේ ඒ නිසයි. ඒ මෙවර ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල මෙරට පැවැත්වීමට දැනටමත් ලහි ලහියේ වැඩ සිදුවෙමින් පවතින නිසාවෙනි.

ඒ හා සමගාමීව තවත් සුවිශේ‍ෂී කටයුත්තක් ද මේ දිනවල සිදුවෙයි. ඒ පිළියන්දල, කහපොළ, රෙජිනෝල්ඩ්වත්ත ඉඩමේ ඉදි කෙරෙන 'ශාක්‍ය කිංඩම්' නම් ඉන්දියාවේ ඵෙතිහාසික ශාක්‍ය රාජධානිය විදහා දැක්වෙන ප්‍රදේශයයි.

අක්කර 75 ක භූමියක ඉදිකෙරෙන මෙහි ශාක්‍ය රාජධානියට අමතරව අංග සම්පුර්ණ බෞද්ධ පුස්තකාලයක්, බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක්, ඩිජිටල් තාක්ෂණය මගින් බුද්ධචරිතය හා සම්බන්ධ කතාවස්තු ප්‍රතිනිර්මාණය කිරීමේ හා ඉදිරිපත් කිරීමේ මධ්‍යස්ථානයක්, සිංහල හා ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ධර්මදේශනා පුහුණු මධ්‍යස්ථානයක්, නිර්මාංශ භෝජනාගාරයක් සහ පැමිණෙන ගිහි පැවිදි නරඹන්නන් සඳහා විවේකාගර ආදි අංගයන්ද ගොඩනැගීමට නියමිතය.

මෙහි ශාක්‍ය රාජධානිය විදහා දැක්වෙන ප්‍රදේශයේ රාජමාළිගාවට අමතරව සිදුහත් කුමරු සඳහා ඉදිකළ රම්‍ය, සුරම්‍ය, සුබ මාලිගා තුනද ඉදි වෙමින් පවතී.

කපිලවස්තුපුර සිදුහත් රජ මාළිගයට අයත් ප්‍රදේශය අක්කර 48 ක් පුරාවට පැතිර ති‍බෙන ආකාරයටම මෙහිද රාජධානිය සහ මාළිගා තුනත්, පොකුණු, බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා අක්කර 48ක් පුරාවට නිර්මාණය කිරීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

පිළියන්දල සමරකෝන් බූදලයට අයත් මේ ඉඩම කලක් මහාභාරකාර අරමුදලට අයිතිව තිබියදී පසුව බුද්ධශාසන අමාත්‍යංශය පවරාගෙන තිබේ. අක්කර 77ක් වන මෙහි අක්කර 75ක මේ ථෙතිහාසික ඉදිකිරීම් සිඳු කෙරේ.

කාලයක්ම කිසිම වැඩකට නොගෙන අතහැර දමා තිබු මේ විශාල භූමිය ප්‍රයෝජනවත් වැඩකට යොදාගන්නා ලෙස ප්‍රදේශවාසීන්ගේද ඉල්ලීමකට අනුව රජයේ මැදිහත්වීම මත ප්‍රදේශවාසීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, සංචාරක ව්‍යාපාරය නැංවීමත් මෙමගින් සිදුවේ.

මෙවර ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල මෙරට පැවැත්වීමට තීරණය වීමත් සමඟම ලයිට් ඔෆ් ඒෂියා ආයතනය මේ සඳහා මූලිකත්වය ගෙන සියලුම මුදල් සහ අනෙකුත් වියදම් දැරීම අගය කළ යුතුය.

මෙහි පළමු අදියර යටතේ රම්‍ය මාළිගාව හා ලුම්බිණි උද්‍යානයේ වැඩ නිමකර මෙවර වෙසක් උළෙල දා ගරු ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට නියමිතයි. එහි දෙවැනි අදියර යටතේ අනෙකුත් ඉදිකිරීම් නිමකර ලබන වසරේ (2018) වෙසක් උත්සව දිනයේදී විවෘත කිරීමට කටයුතු කරමින් සිටී.

මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වු ලයිෆ් ඔෆ් ඒෂියා ෆවුන්ඩේෂන් ආයතනයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි ප්‍රමිදු දසනායක මහතා- අපි මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට සැලසුම් කළේ ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස්වල. මෙවර ජ්‍යත්‍යන්තර වෙසක් දින උත්සවය ලංකාවේ පැවැත්වෙන නිසා රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මේ ව්‍යාපෘතිය ඇරැඹුවා.

මෙහි සියලු ඉදිකිරීම් සිදු කරන්නෙ වන්, ටූ, ෆෝ ඩිසයින් ආයතනය. එයට හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වය ලැබෙනවා.

මැයි මස 11දින සිට 14දක්වා සවස 4.00ට සහ 6.30 පැමිණෙන සෑම කෙනකුටම මෙය නැරඹීමට අවස්ථාව ලැබෙනවා. ෆිල්ම් ෆෙස්ටිවල් එකක්ද ඒ දිනවල මෙහි පැවැත්වීමට නියමිතයි. එය මෙම ප්‍රදේශය පුරා තිර 5ක් යොදාගෙන ජනතාවට ප්‍රදර්ශනය කෙරෙනවා.

මැයි මස 14න් පසුව නැවතත් ඉතිරි වැඩ නිමකිරීමට මාස තුනක් පමණ වසා තැබීමට සිදුවන්න පුළුවන්. එම ඉදිකිරීම් නිමවු පසු නැවතත් මෙරට බෞද්ධ බැතිමතුන්ට මේ ‍‍ඓතිහාසික ස්ථාන නරඹන්න හැකියි.

විශේෂ ස්තූතිය - බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමා, අතිරේක ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට

 

Comments

පිටු