
මරණ බයේ ගැහි ගැහී ප්‍රවෘත්ති කියපු කාලයක් තිබුණා
ප්‍රවීණ රංගන ශිල්පිනී, ප්‍රවෘත්ති නිවේදිකා රම්‍යා වනිගසේකර
අමතක නොවන මතක විශේෂාංගයට මෙවර මතකය අවදි කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක, වේදිකා නාට්‍ය ශිල්පිනියක වන රම්‍යා වනිගසේකරයි.
බොහෝ දෙනකුගේ ජීවිතවල අමතක නොවන මතක ලෙස වැඩිපුරම තිබෙන්නේ පුංචි කාලයේ සිදුවූ සිදුවීම්. එහෙත් මගේ ජීවිතයේ තරුණ වයසට පැමිණීමත් සමඟ මුහුණ දෙන්න වූ සිදුවීම් කුඩා කාලයේ සිදුවීම්වලට වඩා ප්‍රබලයි කියලයි මට සිතෙන්නෙ.
ප්‍රසිද්ධ වේදිකාවට මුලින්ම පයතබා කළ පළමු රංගනය කවදාවත් අමතක වන්නෙ නෑ. ඒ රංජිත් ධර්මකීර්ති මහතාගේ හස්ති රාජයා නාට්‍ය. කරුණාරත්න හඟවත්ත, සුමින්ද සිරිසේන, එච්.ආර් අයිරාංගනී මේ නාට්‍යයේ චරිත සඳහා තෝරාගෙන තිබුණා. එහි ප්‍රධාන චරිතය රඟපාන කරුණාරත්න මහතා මාව දැකපු වෙලේ ඉඳන් මෙයාව හරියන්නෙ නෑ වෙන කෙනෙක් ගන්න කියලා ප්‍රතික්ෂේප කළා. මටත් ඉතින් පළමු නාට්‍යය නිසා ලැජ්ජාවකුත් තියෙනවා. රිහසල් කරන්න බැහැ නාට්‍ය ප්‍රදර්ශනය කරන දවසට රඟපාන්නම් කියා මමත් කියනවා. කොහොමහරි වේදිකා පරිපාලක සෙනෙවිරත්න ජයසිංහ මහතා රම්‍යා ඔයාට පුළුවන් ඕක කරන්න. අනිත් අයට පේන්නත් එක්කම හොඳට කරල පෙන්වන්න කියා මා දිරිමත් කළ හැටි මට අද වගේ මතකයි. එදා මම බෑ කියල හැරිල ගියානම් අද රම්‍යා වනිගසේකර කියන රංගන ශිල්පිනිය නෑ.
• කැලණි පාලමෙන් අලුත් ජීවිතයක්
ආර්. ආර් සමරකෝන් මහතාගේ කැලණිපාලම වේදිකා නාට්‍යයට චරිත තෝරනවා කියා ආරංචියක් ආවා. මමත් ඒ ගැන සොයා බලනවිට එය ඇත්තක්. පසුව එහි මැටිල්ඩා චරිතය සඳහා මා තෝරා ගත්තා. අපි මාස තුනක් පෙර පුහුණුවීම් කළා. 1978 ඔක්තෝම්බර් 26 කැලණි පාලම වේදිකා නාට්‍ය ප්‍රථම වරට වේදිකාගත වුණා. 2018 වසරට කැලණි පාලම වේදිකා නාට්‍යයට හරියටම වසර 40ක් සම්පුර්ණයි. එහෙත් එහි සිදුවීම් හැම එකක්ම වාගේ අද වගේ මතකයේ තිබෙනවා. ඔය අතරෙදි ආර්. ආර්. සමරකෝන් කියන නාට්‍ය අධ්‍යක්ෂවරයා, නවකතාකරුවා මගේ ජීවිතයට සමීප වුණා. අපි අතර බැඳීමක් ඇති වුණේ ඔය කාලයේදීයි. පසුව කැලණි පාලම නාට්‍ය අරගෙන රට වටේ ගියා. 1978 සිට වසර 10ක් අප දෙදෙනා ඇසුරුකර විවාහ වුණා. ඒ මතකයන් සිහිවන විට දැනෙන්නේ සතුටක්.
• වේදිකාවෙන් ගුවන්විදුලියට
1981 පෙබරවාරි මාසය. මට හැමදාමත් මතකයි. ඒ ගුවන්විදුලි සංස්ථාවේ ස්ථීර ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ප්‍රවෘත්ති ඉදිරිපත්කළ දවස. ප්‍රවෘත්ති කියන්න පෙර වාදනය කෙරෙන තේමා වාදනයත් සමග 'මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය, මෙන්න ප්‍රවෘත්ති විකාශය රම්‍යා වනිගසේකර ' කියපු පළමු දවස කොයිතරම් බයකින්ද ඒ ටික කිව්වේ. අද වගේ ප්‍රවෘත්ති තනියම කියාගන්න ගුවන්විදුලි කලාවක් නෙමෙයි එදා තිබුණේ, ප්‍රවෘත්ති මැදිරියේ කී දෙනෙක් ඉන්නවද..? එදා හරිම නිවැරැදි වචන භාවිතාකර පැහැදිලිව එකවරම ප්‍රවෘත්ති ඉදිරිපත්කළයුතු වුණා. ඒවා අද ගුවන්විදුලි නාළිකාවලට හොඳ ආදර්ශ.
• රජයේ පුවත් කියවීමට වාරණයක්
1988 භීෂණ කාලය හරිම කලබලකාරියි. දේශප්‍රේමි ජනතා පෙරමුණෙන් ලියුම් ආවා ප්‍රවෘත්ති කියෙව්වොත් මරණවා කියා. දරුවා ලැබිල මාස හයයි. ඉතින් මොකද කරන්නෙ මොන අම්මද.. මැරෙන්න කැමැති. මහත්තයගෙ මල්ලි කෙනෙක් ඉන්නවා කඩුගන්නාවෙ.අපි එහේ හොරෙන්ම ගිහින් නැවතුණා. සති ගණනක්ම වැඩට ගියෙත් නෑ. හැමදාම හැංගිලා ඉන්න එක රස්සාවට කරන හොඳ දෙයක් නෙමෙයි කියල ඒ ගැන දන්වන්න දවසක් ගුවන් විදුලියට ආවෙ ටික කාලයක් යනකම් රස්සාවට එන්න වෙන්නේ නෑ කියන්න. මෙන්න එහි ආරක්ෂක මහතා කියනව මම ආවොත් සභාපතිතුමා එක්කරගෙන එන්න කිව්ව කියල. හමුදා භටයෙකුයි සංස්ථා ආරක්ෂක නිලධාරියයි මාව සභාපතිතුමා ළඟට එක්කගෙන ගියේ හරියට මිනිහෙක් මරල ආපු වැරදිකාරයෙක් ගෙනියනව වගේ. එතකොට ගුවන්විදුලියේ සභාපති හිටියේ හඩ්සන් සමරසිංහ. ඔහුත් ආරක්ෂාවට මේසය උඩ පිස්තොලයක් තියාගෙන.
රම්‍යා ඔයා අද news කියන්න ඕනෑ. මම කිව්වා මට බැහැ මැරෙන්න, දරුවා තාම පොඩියි කියලා. එවලෙම එතනට ආවා ප්‍රවෘත්ති කර්‍තෘ සෝමපාල පෙරේරා මහතා. ඔහු කීවා ඉංග්‍රීසි ප්‍රවෘත්ති ඉදිරිපත් කළ නිවේදකයා මරලා කියල. මාව තවත් වෙව්ලනවා. මොනවා කරන්නද..?එදා ප්‍රවෘත්ති ඉදිරිපත්කළේ ගැහි ගැහි. අපිත් එක්කම වැඩකරපු මිත්‍රයෙක් මරල දාලා කියන ප්‍රවෘත්තිය කියන්න වුණහම දැනුණු දුක, සංවේගය කොයිතරම්ද කියල අදත් දැනෙනවා. මට මතකයි ඒ වගේම සංවේදීව ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න වුණු තවත් දවසක් තමයි තිස්ස ජයවර්ධන මහතාගේ මරණය. එදාත් මට එම ප්‍රවෘත්තිය කියාගන්න බැරි තරමටම සංවේදී වෙලා වචන හිරවුණා.
චන්ද්‍රිකා මහත්මියගේ පාලන සමයේ ප්‍රථම අයවැය ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්න අපව රැගෙන ගිය වෑන් රථය දෙහිවලදි අනතුරට ලක්වුණා. මට සුළු තුවාල සිදුවුවත් දෙමළ නිවේදිකාව වන රාජේෂ්වරීට සහ ඉංග්‍රීසි නිවේදකයාට ලොකු තුවාල සිඳුවුණා. එදා අපි තුන්දෙනාටම ප්‍රවෘත්ති කියන්න බැරිවුණා. කාලයක් යනකම්ම අපි ගිය වාහනය පදවපු රියැදුරු මහතා, එයාට පක්ෂව පොලීසියට කට උත්තර දුන්නෙ නෑ කියා අපිත් එක්ක කතා කළේ නෑ.
• අම්මාගේ වියෝව වේදනාවක්
1983 වසර. එදත් වෙනදා මෙන්ම ප්‍රවෘත්ති කියන්න තිබුණේ මට. අද වගේ එදා ජංගම දුරකථන තිබුණේ නෑ. ගමේ ඉඳල මල්ලි කතාකර තිබුණ අම්මට අමාරුයි කියා. එල්මෝ ප්‍රනාන්දු මහත්මය සංස්ථාවෙ වාහනයකින්ම මාව ගෙනිහින් දාන්න කිව්ව. අම්ම ළඟ දවස් පහක්ම හිටිය. පස්වැනි දවසෙ අම්මගෙ අසනීප තත්ත්වය බරපතළයි වාගේ දැනුන නිසා හාමුදුරුවරු තුන් නමක් වඩම්මවා පිරිත් කියෙව්වා. පසුව කොළඹ බෝඩිමට ඇවිත් යන්න ආ වෙලාවේ අම්ම නැතිවෙලා. අම්මට හොඳටම අමාරුයි වැඩක් වෙන්නේ නෑ කියල වෛද්‍යවරු අම්මට දමා තිබු බට සහ අනෙකුත් උපකරණ ඉවත්කරද්දි දැනුණු වේදනාව කොයිතරම්ද..?
• දුව මට ආලෝකයක්
දුව ලැබුණේත් අපේ රටේ ඇතිවු භීෂණ කාලයේදිමයි. සැමියාත්, අයියාත් මාව රෝහලට ඇතුළත්කර ගෙදර ගියා. රාත්‍රි දහය වනවිට වෛද්‍යවරු කීවා සීසර් සැත්කමක් කරන්න වෙනවා කියා. මගේ සැත්කමට භාරකාරයා ලෙස මටමයි අත්සන් කරන්න සිදුවුණේ. පසුදා පාන්දර සිහිය එනවිට දැකපු වේලෙ දැනුන හැඟීම කොයිතරම් සුන්දරද..? එවලෙහි විඳපු දුක් කම්කටොළු සියල්ල අමතක වුණා.
• ජීවිතයම හිස් වුණා
2010 වසර මගේ ජීවිතයට අඳුරු කාලයක් උදාවු වසරක්. වසර ගණනක් රෝගීව සිටි සැමියා අප අතහැර ගියේ ඒ වසරෙදියි. ඔහු ජීවිතයේ හැම පැත්තෙන්ම ගැහැටවලට මුහුණ දී ජීවිතය ජයගත් පුද්ගලයෙක්. එහෙත් ඔහුට අවසාන කාලයේදි ජීවිතයේ අනියත බවත්, පරාජයත් භාරගන්න සිදුවුණා. මට මතකයි අන්තිම කාලෙ මාස තුනක් විතර ඔහු ලෙඩ ඇඳේම රෝගීව සිටියා. ඒ කාලයේ මහත්තයා ලියූ නවකතාවත් මුද්‍රණයට භාරදීල තිබුණේ. එය ප්‍රින්ට්කරන්න ගත්තා කියා අපේ නිවෙසට ලැබුණු දුරකථන ඇමතුම ගැන ඔහුට දැන්වු විටම මගෙන් කොල කෑල්ලක් සහ පෑනක් ඉල්ලුවා. එහි සටහන්කර තිබුණේ මෙසේයි.
මෙතෙක් කල් බෝතලය තුරුළුකර ගත්තත්
දැන් මම බෝතලය විසිකර
ජීවිතය තුරුළුකර ගන්නවා.
මේක තමයි ඔහු ලියපු අන්තිම වදන. ඔහු මිය ගියේත් මගේ තුරුළේමයි. මට මතකයි මුළු රැයක් පුරා මම පිරිත් කියමින් ඔහු ළඟට වෙලා සිටියා. උදේ පාන්දර තේ හදන්න ගිය විට දුව ගිහින් තාත්තා කියමින් කතා කළත් කතාකර තිබුණේ නෑ. පසුව බලනවිට ඔහු මිය ගිහින්. මම රැයක්පුරා තුරුළු කරගෙන සිට තියෙන්නෙ මියගිය සැමියාව. මොනව කරන්නද? මේ වගේ සිදුවීම් ජීවිතේටම අමතක කරන්න බැහැ. මට මතකයි එදා උදේ අපේ ගෙදර සිටින බල්ලාත් උඩු බුරමින් කෑ ගහමින් නිවෙස වටේ දුවපු හැටි.
• සැමියාව සිළුමිණට අමතක නෑ
පසුගිය වසරට සැමියා මිය ගිහින් වසර හයක් ගතවුණා. ඒ ගැන මට ඕන වුණා පත්තර කිහිපයක ඔහු ගැන මතක සටහනක් දමා ගන්න. සිළුමිණ හැර අනික් පත්තරවලින් ලැබුණු ප්‍රතිචාර හරිගියේ නෑ. සිළුමිණ හිටපු කර්තෘ තිලකරත්න කුරුවිටබණ්ඩාර මහතා මා ආර්. ආර්. සමරකෝන් කියන මගේ සැමියා ගැන ලියපු හැම අකුරක්ම ඒ විදිහටම පලකර තිබුණා. ඒ ලිපිය දැකපු වෙලේ මට දැනුණ සතුට වචනයෙන් කියන්න බැහැ. මම ලියපු ලිපියක් පුවත්පතක පළවු දවසත් මට හැමදාමත් මතකයේ තිබෙනවා.