සිනා කතා | සිළුමිණ

සිනා කතා

අවසාන රාජකාරිය

“සාමාන්‍යයෙන් රාජ්‍ය නාට්‍ය උලෙළ ඉවර කරන්නේ ජාතික ගීය කියල‍ නේද?” සෙනෙවිරත්න සුරංජිත් ගෙන් ඇසුවේ නාට්‍ය උලෙළ අතරතුර රඟහලට යාබද කාමරයක තේ බොමින් සිටියදී ය.

“සෙනෙවිරත්න මහත්තයලට නං ඒක උලෙළේ අවසාන අංගය තමයි. ඒත් අපිට නං ඊට පස්සෙත් බො‍ෙහාම වැදගත් ඩියුටියක් ඉතුරු වෙනවා.” සුරංජිත් සිනාසෙමින් පිළිතුරු දුන්නේ ය.

“ඒ මොකක්ද?” සෙනෙවි වහා ඇසුවේ නැඟී එක කුහුලෙනි.

“ඇයි, විනිශ්චය මණ්ඩ‍ලයේ සාමාජිකයන්ව පොලිස් ආරක්ෂාව ඇතුව ගෙවල්වලට ඇරලවන එක.” සුරංජිත් කීවේ ය.


 

ඒක යුතුකමක්

“අලුත් පොත් දොරට වඩින උත්සව වලදී උත්සවය අවසානයේ විශේෂ සංග්‍රහයක් ලැහැස්ති කරලා ඒ උත්සවයට සහභාගී වුණු අයට කන්ඩ බොන්ඩ දෙන්නෙ මොකක් හින්ද ද?” ග්‍රන්ථ දොරට වැඩීමේ උලෙළ සඳහා ආධුනිකයකු වූ විජිත චන්ද්‍රසිරි ගෙන් විමසුවේ මහජන පුස්තකාල ශාලාවේ සිට විහාර මහා දේවි උද්‍යානයට පිවිසෙමින් සිටියදීය.

“ජීවත් වෙන්ඩ කරන අරගලය මැද්දෙ ඔය පොත් දොරට වඩින උත්සව වලට මිනිස්සු සහභාගී වෙන එකත් ලොකු දෙයක් නෙ. ඉතින් ඔය දොරට වඩින පොත් වලින් පාඨකයන්ගෙ ඔළුවලට යමක් නොලැබෙන කොට බඩටවත් යමක් දෙන එක ඒගොල්ලන්ගෙ යුතුකමක්නෙ.” චන්ද්‍රසිරි කීවේ බැරෑරුම් හඬකිනි.


 

ඒගොල්ලො එහෙම

පාවිච්චියක් නැහැ

“දැන් බලනවා අපේ ටීම් එකේ අනත් නළු නිළියෝ හැමෝම තමන්ගෙ රඟපෑම් හරියට කළා. තමන්ගෙ අංග චලන වේදිකාවට යන එන දේවල් නිවැරැදිව කළා. ඒ වගේ ම කිසි ම දෙබසක් වරද්දන්නෙ නැතුව හරියට ම කිව්වා, ඒත් අපේ පියසිරි අනික් හැමෝට ම වඩා පළපුරුදු, ජ්‍යෙෂ්ඨ නළුවෙක් වෙලත් මුල ඉඳලා දිගට ම දෙබස් අමතක වෙලා, තමන්ගෙ අංග චලන වරද්දා ගෙන කළේ පිස්සු නැටුව එකනෙ. එයාට එහෙම වෙනවා නං මේ අනික් අයටත් එහෙම වෙන්ඩ එපායැ.” නාට්‍යාවසානයේ එහි නිෂ්පාදක උපාලි තම ශිල්පීන් හමුවේ කීවේ දැඩි අපේක්ෂා භංගත්වයකිනි.

“ඉතින් අනිත් නළු නිළියන්ටත් එහෙම වරදින්ඩ, ඒගොල්ලෝ කවුරුවත් ගංජා ගහන්නෙ නැහැනෙ.” ලකී මල්ලී කීවේ විරිත්තමිනි.


 

දෙන්නා සම්පූර්ණයෙන් වෙනස්

“හින්දි සිනමාවේ ජනප්‍රිය තරුණ නිළියක් අලුතින් ඇති කරන්ඩ ගත්ත සුදෝ සුදු පූස්පැටියගෙ නම එඩ්වඩ් කියල කලා පත්තරේක දාලා තිබුණා මම දැක්කා. ඔයා ඒක කියෙව්වද?” ශාන්ති තම සැමියා දෙස බලා ඇසුවේ ඔලොක්කුවට මෙනි.

“ඒකට මම කලබල වෙන එකේ තෙරුමක් තියෙනවයැ හාමිනේ. මගේ නම ම දාලා තියෙන ඔය පූස් පැටියගෙ මුළු සරීරෙ ම සුදු වුණාට මගේ සුදට පේන්නේ කොන්ඩෙ විතරනෙ.” චන්ද්‍රසිරි සිනා සී කීවේ ය.


 

ලණුව වෙනුවට කඹය

පිහිටුවා ගැනීමට යෝජිත නව පක්ෂයට සුදුසු නමක් හා ගැළපෙන ලකුණක් තෝරා ගැනීම පිණිස පැවැති සාකච්ඡාවේදී ජයසේන ලකුණක් යෝජනා කරමින් මෙසේ කීවේ ය.

“අපි අපේ අලුත් පක්ෂයේ ලකුණ විදියට ‘ලණුව’ යොදා ගමු.”

“ ‘ලණුව’ නරක නෑ. අපි මේ සූදානම් වෙන්නෙ අලුත් පක්ෂයක් හදලා ජනතාවට දිරච්ච ලණු දෙන්ඩ කියල, එතකොට විරුද්ධවාදීන් අපිට මඩ ගහන්ඩ බැරි නැහැ. ඒ හින්දා අපි ඔය නම පොඩ්ඩක් වෙනස් කරලා ‘කඹය’ කියලා දාමු.” තිලකසිරි ඉහත යෝජනාවට සංශෝධනයක් ඉදිරිපත් කරමින් කීවේ ය. 

Comments