
දිගම දිග අලුත් අවුරුදු නිවාඩු කාලෙ ඉන්ද්‍රාපගෙ සමීප රූප පිරීතිරි යන්නේ දුක්බර මුහුණුවලින්. එක පැත්තකින් අපේ රටේ සිනමා කලාවට සම්බන්ධ මහා පුරුෂයන් දෙදෙනකුගෙ සමීප රූපවලින්. අනෙක් පැත්තෙ, දහස් ගණනකගෙ කඳුළු පිරුණු, තමන්ගෙ සමීපතමයන්ගෙ වියෝවින් අහසට දෑත් ඔසවා හඬා වැටෙනා අහිංසක ගැහැනුන්ගෙ මිනිසුන්ගෙ දූ දරුවන්ගෙ මුහුණු. මීෙතාටමුල්ල කුණුකන්ද ජීවිත විසි හතරකට වැඩි ප්‍රමාණයක් බිලිගෙන ගෙවල් දොරවල් සිය ගණනක් පොළොවට සමතලා කරලා හැඬෙව්වෙ මීතොටමුල්ලෙ පැල්පත්වාසීන් විතරක් නෙවි. මුළු රටේ ම සංවේදී මිනිසුන්ගෙ මුහුණුවල දුකක් ඇස්වල කඳුළක් පිරුණු බව ඉන්ද්‍රචාපගෙ සමීපරූපවල සටහන් වෙලා තිබෙනවා. කුණු තමන්ගෙ ජීවිතේම කොටසක් කරගෙන ජීවිතේ ගැට ගහගන්න උදේ සිට රෑ වෙන තෙක් කුණු කන්දෙ ම ජීවත් වුණු අහිංසකයන්ට කුණුකන්ද කොයිතරම් අසාධාරණ සැලකීමක් කළේ කියලා ඉන්ද්‍රචාපට නිතර කල්පනා වෙනවා. ස්වභාවික විපත් එහෙම තමයි කියල නිහඬව ඉන්න නම් අපිට බෑ. දශක දෙක තුනක් තිස්සේ මුල් ඇදුණු ඔඩු දුවපු ප්‍රශ්නෙට විසඳුමක් ඇත්තෙ ම නැද්ද කියලා ඉන්ද්‍රචාප අහනවා.
සිනමාවේ දැවැන්තයකුගෙ සමීප රූපය. ඔහු ආචාර්ය ලෙස්ටර් ගෙ පරම්පරාවේ තවත් එක පුරුකක්. ආචාර්ය ධර්මසේන පතිරාජ වගේ දැවැන්තයෙක් සමඟ සම අසුන් ගත්ත ඔහු වසන්ත ඔබේසේකර. බක් මාසෙ කොවුල් හඬ වෙනුවට, නොඇසුණු දුක් ගීයක් සිනමා ලෝලී සුවහසක් රසික ජනයාගෙ හදවත් ඇතුළෙ ගැයෙන්නට ඉඩ දෙමින් වසන්ත අපෙන් සමුගත්ත බක් මාසෙ අටවැනිදා. ඔහු අධ්‍යක්ෂණය කළ විශිෂ්ට චිත්‍රපට ගොන්නක සදාකාලික මතක අපගෙ සිත් තුළ රඳවමින්, නවවැනිදා හැන්දෑවෙ ඔහුගෙ පවුලෙ ඥාතීන් හිත මිත්රාදීන්ගෙන් සමුගන්නවා ඉන්ද්‍රචාප දැක්කෙ කනත්තෙ මෘතාගාරයෙ දුම්රොටුවෙන් පළමු දුම් කැරැල්ල හිස් අහසට එකතු වෙනවත් සමඟ. දඩයම, පළඟැටියෝ, වල්මත්වූවෝ, ආගන්තුකයා, දොඩකඩ මාරාව, සලෙළු වරම, කැඩපතක ඡායා වගේ වසන්තගෙ නිර්මාණාවලියෙ සමීප රූප පෙළක් සමෝධානයට හසු නොවුණු ලෙසින් ඇඳී යනවා ඉන්ද්‍රචාප දකිනවා.
ඒ රූපාවලිය අතරෙත්, වසත්තගෙ සිනමාවෙ දිදුලන තාරකා වැනි පළඟැටියෝ, දඩයම වැනි නිර්මාණ අනෙක් බොහෝ චිත්‍රපට පසු කරමින් ඉදිරියට එන බවයි ඉන්ද්‍රචාපගෙ අදහස. සත් සමුදුර, සහාය අධ්‍යක්ෂණයෙන් වසන්ත ඇරැඹූ ඔහුගෙ සිනමා චාරිකාව ආගන්තුකයා සමඟ නතර වෙන්නෙ වසන්ත රෝගී වන්නටත් පෙර. ඒත් ඔහු වැන්නකුට අලුත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට කිසිවෙකුගෙන් ඇරැයුමක් ලැබුණෙ නෑ.
වසන්තගෙ අවමඟුල කොළඹ කනත්තේදී නිමාවුණු හැන්දෑවට එකතු වුණු පිරිස දැක්කම ඉන්ද්‍රචාපට තරමක කලකිරීමක්, දුකක් ඇතිවුණා කියලා ලියන්න වෙනවා. අවමඟුල් උත්සවයකට සහභාගී වෙන පිරිසෙ ප්‍රමාණයෙන් මියගිය පුද්ගලයාගෙ වටිනාකම මනින්න නොහැකි වුණත්, වසන්ත වෙනුවෙන්, අඩුම ගණනෙ ඔහුගේ චිත්‍රපටවල රඟපෑ පිරිසවත් හරියට හිටියෙ නෑ වගේ හැඟුණා. එහෙම තමයි, අපේ බොහෝ දෙනා හරිම අකෘතඥයි.
අවමඟුල් උලෙළ අවසානයේ, පැමිණ සිටින හිතවත් සුළු පිරිස වුණත්, බොහෝ වෙලාවක් රැඳී හිටියා කතාබහේ. අර්ජුන ඉන්ද්‍රචාපට මුණ ගැහුණෙ ඒ මොහොතෙ. ඔහු අපූරු සුන්දර චරිතයක් බව, ඉන්ද්‍රචාප බොහෝ කල් ඉඳල ඔහු සමඟ සමීප ආශ්‍රයෙන් දන්නවා. ඒත් ජීවිතේ අප නොහිතන නොපතන දේ සිදුවෙනවා යන්න සනාථ කරමින්, පහළොස්වැනිදා උදේ කාලය ප්‍රවෘත්තියක් එනවා, ටී. අර්ජුන ජීවිතයෙන් සමුගෙන ගියලා. ඒ පුවත නම් කොහොම අදහන්නද කියලා, ඉන්ද්‍රචාපට හිතාගන්නවත් බෑ. නවවැනිදා හවසත් මුණ ගැහිලා කතා බහ කරපු, කිසිම ලෙඩක් දුකක් නොපෙනුණ තවත් සමීප මිත්‍රයෙක්, දවස් හයක් ඇතුළත අපේ සමාගමයෙන් ඈත්ව ගියා කියන ප්‍රවෘත්තිය එක පැත්තකින් අදහගන්න බැරි එකක් වගේ ම අනෙක් පැත්තෙන් දරා ගන්න බැරි තරමේ දුකක් ද ගෙන ආ ප්‍රවෘත්ති වුණා කියලයි ඉන්ද්‍රචාප ලියන්නෙ. ටී. අර්ජුනගෙ සිනමා කතාව හැත්තෑව දශකය තරම් ඈතට යනවා. අර්ජුනගෙ චිත්‍රපට ත්‍රිත්වය, කලියුග කාලේ (1975) සාරා (1978) වසන්තයේ දවසක් (1979) අපේ සිනමාලෝලීන්ට අමතක නැති බව ඉන්ද්‍රචාප දන්නවා. මේ අතරිනුත්, වසන්‍තයේ දවසක් චිත්‍රපටය විශේෂ වෙන්නෙ ඒ චිත්‍රපටයට ඇතුළත් වෙලා තිබුණු ජනප්‍රිය ගීත කිහිපයක් නිසා.
ටී.එම්. ජයරත්න, සනත් නන්දසිරි, ලතාවල්පොල ගෙ ගායනා, මාල ගිරා තටු සේ ම රුවින් යුතු, දේදුන්නෙන් එන සමනලුනේ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගෙ මියුරු සංගීතය හා තනු, වසන්තයේ දවසක් වගේ ම ටී. අර්ජුනත් අපේ මතකයේ රැඳ වූ බව ඉන්ද්‍රචාපට හොඳට මතකයි. ප්‍රේක්ෂකයන්ගෙ පසුම්බියට හොරෙන් විදින අරමුණින් චිත්‍රපට හදන්න ඕනකමක් නොතිබුණ අර්ජුන චිත්‍රපට තුනකින් තමන්ගෙ සිනමා ගමන නැවැත්වුවත්, සිනමාකරුවන් සමඟ අත් නොහැරි බැඳීමකින් ජීවත් වුණු නිහතමානි අපූරු මිනිසෙක්. ටී. අර්ජුන කලකට ඉස්සර සන්ඩේ ඔබ්සර්වර් පත්තරේට සතිපතා තීරු ලිපියක් ලියපු බවත් ඉන්ද්‍රචාපට මතකයි. ඒ මතක සමඟ වසන්තයේ දවසක් නිමා වී මතකයට එක් වී හමාරයි. වසන්ත ඔබේසේකර, සිනමාවේ දැවැන්තයා වගේ ම ත්‍යාගරාජා අර්ජුන හෙවත් ටී. අර්ජුන සිනමාවේ තවත් අපූරු මිනිසා රසවතා මතක ගොන්නක් ඉතිරි කර සෙමින් මැකී ගිහින්.