මඟුල් බෙර­යට තාල­ම්පට ගහපු මම අද මනමේ කුමා­රයා | Page 16 | සිළුමිණ

මඟුල් බෙර­යට තාල­ම්පට ගහපු මම අද මනමේ කුමා­රයා

 සනත් විමලසිරි

අමතක නොවන මතක විශේෂාංගයට මෙවර මතකය අවදිකරන්නේ ටෙලිනාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය නළුවකු වන සනත් විමලසිරි. සනත් අදවන විට වේදිකාවේ සිටින දක්ෂතම රංගන ශිල්පියෙක් බව කවුරුත් දන්නවා. සනත්ගේ ජීවිතයේ අමතක නොවන මතකයන් අප හා පැවසූවේ මෙසේයි.

 තෙල් ගාන්න ගුටි කෑවා

මට මතකයි මගේ අප්පච්චි සහ අම්මා අපිට දුන්න නිදහස. අපි කුරුණෑගල ඉගෙන ගන්න කාලෙ පාසල් ගියේ කුරුණෑගල වෑ උඩ මධ්‍ය මහා විදුහලට. අපේ ගෙදර ආසන්නයේ තිබුණ පන්සල උඩ තිබුණා කඳු වැටියක්. අපේ වැඩේම ඉස්කෝලෙ ඇරිල ආපු වෙලේ ඉඳන්ම ඔය කැලේට රිංගලා දම්, කජු, අඹ ආදි පලතුරු කඩාගෙන කන එක. මට මතකයි අපි ඒ කන්ද උඩ ඉඳන් පහළට ගලාගෙන එන දිය පාරවල් පවා ගල්, වැලි, පස් දාලා වෙන පැතිවලට හරවනවා. පහළ තියෙන ගෙවල් අයින්වලින් වතුර බහිනකොට තමයි සමහර අය හොයල බලන්නේ. ඔය වගේ වැඩ කරල සමහර අය තාත්තට කියල මටයි, අයියටයි කෝටු පාරවල් ගස්සපු වෙලාවලුත් තියෙනවා. කැලෑවල කොච්චර සෙල්ලම් කළත් කොච්චර සර්පයන් සිටියත් කවදාවත් අපිට හිරිහැරයක් වෙලා නෑ.

දෙක වසරෙ ඉගෙනගන්න කාලෙ දවසක් මමයි, අයියයි යාළුවකුගෙ ගෙදර ගිහින් හවස් වෙනතුරුත් ගෙදර ගියේ නෑ. අපි දෙන්න ගෙදර යනකොට හොඳටම රෑ වෙලා. අප්පච්චි ඉන්නව ඔර‍වගෙන. ගෙට ගියා විතරයි අපි දෙන්නව ගෙදර තිබුණු බීරළු වැටක තියල ගැට ගහල හොඳටම ගැහුව. පස්සෙ තාත්ත මාව ලිහල ගහපු තැන්වල තෙල්ගාලා අත ගාපු හැටි අද වගේ මතකයි.

මඟුල් බෙරයට තාලම්පට ගැහුවා

අප්පච්චි මාවතගම සෙන්ට්‍රල් එකේ උගන්වන කාලෙ ඒ ඉස්කෝලෙ තිබුණා consert එකක්. ඔහු නැටුම් ගුරුවරයා නිසා තාත්ත තමයි එය සංවිධානය කළේ. එතකොට මට අවුරුදු හයක් විතර ඇති. අප්පච්චි මාල වළලු දාල මේකප්කර තාලම්පටකුත් මගේ අතට දීල මඟුල්බෙර වාදකයට තාලම්පට ගහන්න කියල වේදිකාවට යැව්වා. එදා තමයි මම පළවෙනි වතාවට සෙනගක් අතරට ගියේ. මට මතකයි අප්පච්චි මාව වේදිකාවට යන්න කියල තල්ලු කළ හැටි මම බෑම කිව්ව. වටයක් ගිහින් ආපහු ආව. අප්පච්චි ආයිත් මාව තල්ලු කළා. එදා එහෙම තල්ලුවෙලා වේදිකාවට ගොඩ වු මම අද ලෝකය පුරාම යන මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා වන්න තරම් වාසනාවන්තයි.

විදුහල්පතිගෙන් කනේ පහරක්

මාතලේ ඩී. එම් ගුණරත්න මහ විද්‍යාලයේ ඉගෙනගන්න කාලෙ අපි ජීවත්වුණේ මාතලේ මහවිල ගමේ. ඒ විදුහලේම මගේ අම්මත් ගුරුවරියක් ලෙස සේවය කළා. දවසක් ඉස්කෝලෙ යන අතරෙදි එළුවන්ට කොළ අතුවගයක් කපාගෙන යන මනුස්සයකුට වැරැදි වචනයක් කිවුවා. මෙන්න ඒ මනුස්සය ඉස්කෝලයට ආවා පැමිණිලි කරන්න. මම දැක්කා ඒ මනුස්සයා කැරකි කැරකි ඉන්නවා. මම හොරෙන්ම වැටෙන් පැනලා ගෙදර ගියා. ටික වෙලාවකට පස්සෙ ශිෂ්‍යනායකයන් දෙන්නෙක් මෙන්න අපේ ගෙදරට එනවා මාව එක්කගෙන යන්න. ධර්මසේන විදුහල්පත්තුමා හොඳ කනේ පාරක් ගහල අම්මගේ ගෞරවේ කන්නෙ නැතුව පලයන් යන්න කියලා එලෙව්වා. හැබැයි එදායින් පස්සෙ මිනිස්සුන්ට නොහොබිනා වචන කිව්වේ නෑ. ඒත් ඉස්කෝලෙන් පනින එකනම් නැවැත්වුවේ නෑ.

පාසල් ගමනට නැවතීම

මට පොඩිකාලෙ ඉඳන්ම තිබුණ පුරුද්දක් තමයි අසාධාරණය බලන් ඉන්න බැරිකම. ඒක මගේ ජීවිතේට සමහර වෙලාවට පාඩු වුණු අවස්ථාත් තිබුණා. මගේ අම්මයි, අප්පච්චියි කියල දීල තියෙන්නෙත් අසාධාරණයක් දැකපු තැනකදි නිහඬව නොසිටින්න කියා. එතකොට මම මාතලේ සාන්ත තොමස් විදහලේ උසස් පෙළ ඉගෙන ගන්නවා. ළමයකුට වුණු අසාධාරණයකට කතා කළා කියල මගේ පන්ති තහනම් කළා. ඒක නවත්වන්න කියා පාසලේ ළමයි ස්ට්‍රයික් කරන්න ගත්තා. ඔය සිදුවීම වුණේ මේ රටේ භීෂණ සමයේ නිසා මම ජනතා විමුක්ති පෙරමුණේ කියල පළාතේම රාවයක් පැතිරුණා. සනත් විමලසිරි තමයි මේ ස්ට්‍රයික් එක මෙහෙය වන්නේ කියල පොලිසියෙන් ඇවිත් මාව එක්කගෙන ගියා. හැබැයි මම කොහොමහරි බේරිලා ගෙදර වෙනුවට ගියේ තාත්තලාගෙ මහ ගෙදරටයි. කාලයක්ම එහේ හැංගිලා වගේ ජීවත් වුණා.ඉස්කෝලෙ යන්නත් නෑ. උසස් පෙළ කරන්න වෙන එකකුත් නෑ කියල බොහොම පසුතැවිල්ලේන් ඉන්නකොට මාතලේ කයිකාවල සෙන්ට්‍රල් එකේ විදුහල්පති වමුර වණසිංහ මහතා ඒ ඉස්කෝලෙට කතා කළා. ඒත් මගේ හිත කිව්වෙ‍ කොහොමහරි තෝමස් එකට වඩා හොඳ ඉස්කොලෙකට යන්න කියලා.ඔය අතරෙදි මහනුවර කිංස්වුඩ් විදුහලේ විදුහල්පතිතුමා ආර් .බී රඹුක්වැල්ල මහතා මට එන්න කියලා පණිවුඩයක් එවලා තිබුණා. ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය.

කිංස්වුඩ් ජීවිතයම වෙනස්කළා

කිංස්වුඩ් පාසල මට හැම පැත්තෙන්ම ඉදිරියට යන්න ලැබුණු හොඳම තැනක්. එහි අමිතා රබ්බිඩිගල කියන ගුරු මෑණියන් මට නාට්‍ය කලාව ගැන කියලා දුන්නා. ඇය මාගේ දෙවන මෑණියන් හැටියටයි අදත් මම සලකන්නේ. මගේ මිත්‍ර මංගල උඹට රඟපාන්න පුළුවන් කියා නාට්‍ය පුහුණුවීම්වලට යොමු කළා. එහි ප්‍රතිඵලයක් තමයි තිවංක හේවගේ කියන නාට්‍යකරුවාගේ ඒකත් ජීවිතේ කියන නාට්‍යයේ රඟපෑම.

නිවේදන වරම්

කඩුගන්නාවෙ හේවාවල ඉලංග නානායක්කාර මිත්‍රයාගේ ගෙදර ඉඳන් තමයි ඒ කාලෙ පාසල්ගියේ. ඔහු මට කියන්න ගත්ත අඩෝ පලයං අඩෝ උඹට හොඳට රඟපාන්න පුළුවන් කියලා. ඔහුගේ කීමටම ටික ටික රංගනයට යොමු වෙලා ඉන් පසු නිවේදනයටත් යොමු වෙන්න අවස්ථාව ලැබුණා. මාව එපා කියපු ඉස්කොලෙ වන මාතලේ තෝමස් විදුහලේ සංගීතයක නිවේදන වැඩ කරන්න එන්න කියල පණිවුඩයක් ලැබුණා. එදා මගේ මිත්‍ර පිට්ටුවාගෙ උදව්වෙන් නිවේදන කලාවට අවතීර්ණ වු මා අද රූපවාහිනි, වේදිකා, ගුවන්විදුලි යන මාධ්‍ය තුනේම නිවේදකයෙක් ලෙස කටයුතු කරන්න තරම් වාසනාවන්තයි.

වැද්දාගෙන් මනමේ කුමාරයාට

මට මතකයේ හැටියට ඒ 1992 අවුරුද්ද. මගේ ඥාති ක්‍රිෂාන්ති කියන නෑනා එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය කණ්ඩායමකට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකට මගේ ඉල්ලුම් පත්‍රයක් යවලා. එම සම්මුඛ පරීක්ෂණයේදි තෝරාගත් 15දෙනා අතරට මමද තේරුණා. අපිට නාට්‍ය කලාව ගැන එහිදී හොඳ දැනුමක් ලබා දුන්නා. අපි පහළොස් දෙනා අතරින් තෝරාගත් හතර දෙනා මනමේ, සිංහබාහු, නාට්‍යවලට තෝරා ගත්තා. ප්‍රසන්නජිත් අබේසුරියත් ඒ අතර හිටියා. මට මතකයි මුලින්ම මාව සිංහබාහු නාට්‍යයේ වැසියකුටයි තෝරා ගත්තේ. අද සිංහබාහු. මනමේ නාට්‍යයේ වැද්දට ගිය මම අද මනමේ කුමාරයා.

රැග් සීසන් එක තිත්තයි

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලෙ රැග් සීසන් එක කවදාවත් ජීවිතේටම අමතක වෙන්නෙ නෑ. ඒ කාලෙ මම නින්ජා මදුරුකොයිල් දැන්වීමෙන් රට පුරා ප්‍රසිද්දව සිටියා. ඒ තරහටත් එක්කම හොඳට මට රැග් කළා. ඒක නම් හරිම අමානුෂිකයි. ඇයි මේ තරම් එකිනෙකාට වෛර කරන්නේ කියල හිතෙනවා. එය දරා ගන්න බැරිම තැන ආපහු කැම්පස් යන්නෙ නෑ කියල තීරණය කළා. ඒත් මගේ මිත්‍ර චමින්ද අතුරුගිරිය උපාධිය සම්පූර්ණ කර ගැනීමට උදවුකළා. තවත් මිත්‍රයෝ ගොඩක් මට උදවුකළා. එවැනි මිතුරන් ජීවිතේට අමතක වෙන්නෙ නෑ. කොළඹ ආවට පස්සෙ කොළඹ හඳුන්වල දීපු සංගීත අධ්‍යක්ෂ ගයාන් අයියා කන්න තියෙන බත් එක මට කන්න දීල සහෝදරයෙක් වගේ මාව බලාගත් හැටි මට කවදාවත් අමතක වන්නේ නෑ.

ගුරු විද්‍යාලයේ කෙල්ලට හිත

ගිරාගම ගුරු විද්‍යාලයේ ඉගෙනගන්න කා‍ලෙ අම්මයි අප්පච්යි මගේ කල වයසත් හරියි කියල යෝජනාවක් ගෙනාවා. මම නැතුවම ඒ දෙන්න ගෑනු ළමයගෙ ගෙදරත් ගිහින්. පුතා ‍ගුරු විද්‍යාලයේ කිව්වම ගෑනු ළමයත් ගුරු විද්‍යාලයේ කියල. ඕක ඇවිත් අම්මයි අප්පච්චියි කිව්ව. මමත් ඉතින් හොයල බැලුව. මට වඩා වසරක් පහළයි. නරකම නෑ. හැබැයි ඉදිමිච්ච භාණ්ඩයක් කියල නම් තේරුණා. කෝකටත් පොඩ්ඩක් ට්‍රයි කරනව කියල හිතාගෙන එයාගෙ බෝඩිම ළඟ අයිනේ තියෙන පිට්ටනි‍යට ගිහින් හැමදාම උදේට එක්සසයිය් කරනව. හරියටම ඒ වෙලාවට එයා එනව එතන ළිඳට මුණ සෝදන්න. මම ඉතින් පැන්සල වගේ කෙට්ටු වුණත් ඉලුක් කැලෑවෙන් එහා පැත්තෙ ඉන්න එයාට පේන්න උඩ පනිනව. ඒත් මගේ උත්සහය නෙවෙයි අම්මගෙයි, අප්පච්චිගෙයි උනන්දුව මත අපි දෙන්න දැන හඳුනා ගත්තා. පස්සෙ කාලෙක මම කිව්ව ඔයාට පේන්න මම උඩ පැනපු තරමක් කියලා. එක්සයිස් කරපු තරමක් කියල. එයා කියනව ඔයා කෙට්ටුනෙ ඇයි එක්සයිස් කළේ කියල. මම විස්තරේ කිවුවම එයා කියනව අනේ අපරාදෙ.. මම ඔයාව දැක්කෙ නෑ කියල. මොනව කරන්නද ...අදත් ඒව මතක්කර කර කර හිනාවෙනව. දැන් අපි දෙන්න දුවල දෙන්නෙක්ක්ගෙ දෙමව්පියෝ.

Comments

Sanath is one of my favourite actors in Sri Lankan cinematic and theatrical field. Enjoyed your story and also like the political pressure that made a difference to your life. Keep up your good work.

පිටු