'කන්ඩයි ආවේ කාලයි යන්නේ' වේදි­කා­වට ගෙනෙන එස්. විජේ­සිංහ | Page 4 | සිළුමිණ

'කන්ඩයි ආවේ කාලයි යන්නේ' වේදි­කා­වට ගෙනෙන එස්. විජේ­සිංහ

දෙවොල් යකෙක්, අලි මදිවට කොටි, යකා මලා යන නාට්‍ය වේදිකාවට දායාද කළ රාජය සම්මාන ලාභී කලාභූෂණ එස්. විජේසිංහ විසින් නිර්මාණය කරන ලද 'කන්ඩයි ආවේ කාලයි යන්නේ' යන වේදිකා නාට්‍ය මංගල දර්ශනය ලබන 29 වැනි සෙනසුරාදා සවස 3.30 ට සහ 6.45 ට ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.

ප්‍රවීණ රංගන ශිල්පීන් වන සුසිලා කෝට්ටගේ, දයානන්ද හේවගේ, ජයතිලක හේරත්, චින්තක පතිරණ, සුනෙත් මැල්සිරිපුර, මනෝ ප්‍රසන්න, රෝහිත රුවන්,සසිකා චාමරී, රංගන නයනජිත් යන අය රංගනයෙන් දායකත්වය සපයන අතර, සංගීතයෙන් ෂෙල්ටන් මිහිඳුකුලසූරිය සහය දක්වයි.

දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගෙන් ඉටු විය යුතු යුතුකම් පැහැර හැරීම තුළ දරුවන් තුළ ඇති වන්නා වූ බලාපොරොත්තු සුන් වීම, මත්වතුර දුම්වැටි, දූෂිත ක්‍රියාවන්ට පෙළඹීම, විවාහයේදී වුව පවුල දරුවන් පිළිබඳ වගකීමක් නැති බව ආදී දේ මෙන්ම සියලු බලාපොරොත්තු කඩ වූ පසුව විවිධ විශ්වාස ඇදහිලි මත රඳා පවතිමින් දරු පවුල් පිරිහීම වැනි කරුණු කාරණා ඉදිරිපත් කරන ආදර්ශවත් නාට්‍යයක් ලෙස 'කන්ඩයි ආවේ කාලයි යන්නේ' පෙන්වා දීමට හැකිය.

චිත්‍රපට, ටෙලි නාට්‍ය, ගීත රචනා ආදියට සිරවී සිටින ප්‍රේක්ෂක ජනතාව ඒකාකාරී රසවින්දනයෙන් මුදවා සජීවී අත්දැකීමකට සමීප කරවීම මෙම නාට්‍යයේ අරමුණ බව එස්. විජේසිංහ රසඳුනට පැවසීය. ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ වේදිකා නාට්‍ය හරහා සමාජයට අගනා පණිවුඩ ලබා දීමට හැකි බවත්, නමුත් ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකසා ගැනීමේදී මව්දිකා නාට්‍ය නිර්මාණකරුවන් ඉතා අපහසුතාවයට පත් වන බවත් පැවසීය. වේදිකා නාට්‍ය හරහා ඉතා උසස් තත්ත්වයේ නිර්මාණ ඇති වුවත් සාමාන්‍ය කලාකරුවන්ට ඒවායේ ප්‍රචාරක කටයුතු ආදිය සිදු කිරීමට ඇති නොහැකියාවත් නිසා ඒවා ප්‍රේක්ෂකයන් අතරට ගෙනයාමේ හැකියාව ඇහිරී යන බවත් පැවසීය.

පවුලේ සැමට එක්ව නැරඹීමට හැකි නිර්මාණයක් වන 'කන්ඩයි ආවේ කාලයි යන්නේ' නාට්‍ය නැරඹීමට ප්‍රේක්ෂක ඔබට ආරාධනා කරයි. 

Comments