HOLLYWOOD | Page 2 | සිළුමිණ

HOLLYWOOD

 

 බ්‍රැන්ජලීනා  ආයෙත් හාද වෙලා?

‘බ්‍රැන්ජලිනා’ යුවළගේ වෙන්වීම නිසා දොම්නසට පත්වූ රසික පිරිසට සැනසිලිදායක ආරංචියක් හොලිවුඩ්පුරයෙන් ලැබී තිබෙනවා. මේ සතුටුදායක පුවතට අනුව පැවසෙන්නේ මීට මාස හයකට පෙර වෙන්වූ බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී අතර ‘කැපී පෙනෙන’ වෙනසක් සිදුවී ඇති බවයි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සුපිරි නළු බ්‍රැඩ් පිට් ගෙන් වෙන්වීමට තීරණය කළ සුපිරි හොලිවුඩ් නිළි ඇන්ජලිනා, ඒ සඳහා නීත්‍යනුකූල ලියකියවිලි ද ඉදිරිපත් කළා.

එහෙත් පසුගියදා ඔවුන් දෙදෙනා කතාබහ කිරීමට පටන් ගෙන ඇතැයි ආරංචිවල සටහන් වෙනවා. “බ්‍රැඩ් සහ ඇන්ජලිනා අමනාප වුණේ ගුවන් යානයක යද්දී ඇතිවූ දබරයකින් පස්සෙයි. නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා. මේ වාතාවරණයේදී කොහොමද කටයුතු කරන්නෙ කියල නීතිඥ උපදෙස් ලැබේවි.” ‘බ්‍රැන්ජලිනා’ යුවළගේ සමීප සගයකු එලෙස පැවසුවා. බ්‍රැඩ් සහ ඇන්ජලිනා යළි මිතුරු වන්නට උත්සාහ ගන්නේ තම දරුවන්ගේ යහපත වෙනුවෙන් බවයි දෙදෙනාගේම හිතවතුන් කියන්නේ.

 ගිය සතියේ තම සමාජ වෙබ් අඩවියක සටහනක් තැබූ බ්‍රැඩ් පවසා ඇත්තේ තම දරුවන් වෙනුවෙන් ශක්තිමත් පවුල් ජීවිතයක් ගත කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. බ්‍රැඩ් සහ ඇන්ජලිනා නීත්‍යනුකූලව විවාහ වුණේ 2014 දීයි.

 

 පැට්‍රික්  තට්ටයෙක් වුණ හැටි

“මම හිතුවෙ ඒ දෙන්නා මට කෝපි එකක් හදන්න ගේ ඇතුළට ගියා කියලා. ඒත් එක පාරටම මගේ යාළුවා පිටිපස්සෙන් ඇවිත් මාව අල්ල ගත්තා. එයාගෙ බිරිය මා ඉස්සරහට ආවෙ කතුරකුත් අතේ තියාගෙන.” ජනප්‍රිය නළු පැට්‍රික් ස්ටුවර්ට් එලෙස හෙළි කළේ ඔහු වයස 19 දී මුහුණ දුන් අත්දැකීමක්.

දැන් තිරගත වන ‘ලෝගන්’ චිත්‍රපටයේ රඟන, මේ වන විට 76 වැනි වියෙහි පසුවන නයිට් නාමයකින් ද පුද ලද පැට්‍රික් ස්ටුවර්ට් හට කැපී පෙනෙන අනන්‍යතාවක් තිබෙනවා. ඒ, ඔහුගේ තට්ට හිසයි.

ඔහු පවසන්නේ ගැටවර අවදියේදී තමන්ට ‘බරපතළ’ කේශ කලාපයක් තිබූ බවයි. “තරුණ කාලෙ මම නාට්‍ය පාසලක ඉගෙන ගනිද්දි මාත් එක්ක හිටියා ජූඩෝ බ්ලැක් බෙල්ට් ලබපු මිත්‍රයෙක්. දවසක්දා එයයි, එයාගෙ බිරියයි මට ආරාධනාවක් කළා, එයාලගෙ ගෙදර ඇවිත් දවල් කෑම ගන්න ය කියලා. එදා හරිම සුන්දර දවසක් කියලයි මම හිතුවෙ. තුන් දෙනාම බොහොම සතුටින් කෑම ගත්තා.

ඉන් පස්සෙ මගේ යාළුවයි, බිරියයි නැගිටලා ගේ ඇතුළට ගියා. මම හිතුවෙ එයාලා මට කෝපි එකක් ලෑස්ති කරන්න හදනව කියලයි. නමුත් සිද්ධ වුණේ නොහිතූ දෙයක්.” පැට්‍රික් ස්ටුවර්ට්ව තදින් අල්ලාගත්තේ ඔහුගේ බ්ලැක් බෙල්ට් මිත්‍රයායි. කතුරක් අතැතිව සිටි බිරිය තමයි ඔහුගේ කෙස් කලඹ කපා දැමුවේ. එදායින් පසුව ඔහු තට්ටයෙක් වුණාලු!

 හොලිවුඩ් ගිය  ගුජරාට් ඇඳුම


 

යොවුන් නිළි එමා වොට්සන් දෙස ලොව පුරා සිනමා රසික පිරිස ලොකු උනන්දුවකින් බලා සිටිනවා. ඒ, ඇය අලුත්ම හොලිවුඩ් සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයකට ප්‍රවිෂ්ට වී සිටින නිසයි. ‘බියුටි ඇන්ඩ් ද බීස්ට්’ චිත්‍රපටයේ තමයි ඇය රඟන්නේ.

මෙහි රඟපාද්දී ඇය සැරසී සිටින සෑම ඇඳුමක්ම ප්‍රේක්ෂක නෙත් සිත් වසඟ කර ගන්නට සමත් වෙලා. ඒ අතරින් ඇය මේ චිත්‍රපටයේ එක්තරා දර්ශනයක රඟපාද්දී හැඳ සිටින සුදු පැහැති (off white) ඇඳුම ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමු වෙලා.

විසිතුරු ලෙස ගෙත්තම් කර ඇති ඒ ලස්සන ඇඳුම නිර්මාණ්‍ය කර ඇත්තේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිටින කසාම් සහ ජුමා යන ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී සොයුරන් දෙදෙනායි. මේ බව සඳහන් කරමින් නෙත්සිත් ඇදගන්නා එම ඇඳුමෙහි ඡායාරූපයක් තම ඉන්ස්ටග්‍රෑම් පිටුවට ඇතුළත් කරන්නට ‘බියුටි ඇන්ඩ් ද බීස්ට්’ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ සහායකයකු කටයුතු කර තිබුණා.

බෙයොන්සෙට  නිවුන් දරුවන්?

සුපිරි ගායිකා බෙයොන්සෙ පසුගිය සති කිහිපය තිස්සේ ප්‍රසිද්ධියේ දකින්නට ලැබුණේ නැහැ. මෑතකදී පැවැත්වුණු ග්‍රැමී සම්මාන උලෙළින් පසුව බෙයොන්සෙ එළි පහළියට නොඑන්නේ මන්දැයි බොහෝ දෙනා විමසිලිමත් වුණා. එයට ලොකු හේතුවක් තියෙනවා. මේ වන විට බෙයොන්සෙ, මවු පදවිය ලබන්නට සූදානම් වී සිටීම එයට හේතුවයි. වෛද්‍යවරු ඇයට දන්වා ඇත්තේ ඇයට දරුවන් දෙදෙනකු ලැබීමට (නිවුන්) සිටින බවයි.

එවැනි තත්ත්වයක සිටින ඇගේ ස්වරූපය ද දැන් බෙහෙවින් වෙනස් වෙලා. ඇය ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමේ ප්‍රධාන හේතුව එයයි. ඒ විතරක් නොවෙයි, පෙරට වඩා තමන්ගේ ශරීර සෞඛ්‍යය කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වන්නැයි ද වෛද්‍යවරු ඇයට උපදෙස් දී තිබෙනවාලු. බෙයොන්සෙ ගැබිනි මාතාවක් බවට පත්වීමෙන් පසුව, ඇගෙන් වෙන්වී ගිය ජේ ඉසෙඩ් ද නැවතත් ඇය වෙත පැමිණ සිටිනවාලු.

Comments