හෙළ සින­මාවේ විශ්ව­ධ­ර­යා­ණෙනි ඔබට චිරං ජයතු! | Page 4 | සිළුමිණ

හෙළ සින­මාවේ විශ්ව­ධ­ර­යා­ණෙනි ඔබට චිරං ජයතු!

පසුගිය පස්වැනි දා ශ්‍රී ලාංකේය සිනමාවට විශේෂ දිනයක් විය. ඒ අන්තර්ජාතික ගෞරවයට බඳුන් වූ ශ්‍රී ලාංකේය සිනමාවේ අසහාය සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් තම 98 වැනි උපන්දිනය සැමැරීමයි. සිංහල සිනමා වංශ කතාවේ ජාතික විරුවෙක් ලෙස අවිවාදයෙන් පැවැසිය හැකි ආචාර්ය ලෙස්ටර් ශ්‍රී ලංකා සිනමාවේ ස්වාධීනත්වය වෙනුවෙන් තම සිනමා භාවිතාව නිර්මාණශීලීව ඉතා ඉහළින්ම ඔසවා තැබුවේය.

එකී සිනමාවේ නිදහස් අරගලයට තනිව නායකත්වය දෙමින් දේශීය චිත්‍රපට කර්මාන්තය විදේශීය ආක්‍රමණිකයන්ගෙන් රැක ගැනුමට පෙරමුණ ගත්තේය.

එනිසාම 98 වැනි වියට පා තැබූ මේ අසහාය ජීවමාන පුරාවත අපට ජාතික වස්තුවකි. රේඛාව, සංදේශය, ගම්පෙරළිය,නිධානය,ගොළුහදවත, කලියුගය, අවරගිර වැනි දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට රැසක් ඔහු දේශීය සිනමාවට එක් කළේය.

මේ සොඳුරු විශ්වධර කලාකරුවාණන්ගේ 98 වැනි උපන්දිනය සැමරුම පිළබඳ සොඳුරු මතකයන් ඔහු ප්‍රිය බිරිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මැතිණිය අප සමඟ ආවර්ජනය කළේ මෙලෙසයි.

‘පසුගිය 05 වැනි දා අපි දෙදෙනාටම විශේෂ වු දවසක් වුණා. එදා තමයි මගේ ආදරණීය ස්වාමියා ලෙස්ටර්ගේ 98 වැනි උපන්දිනය යෙදුණු දිනය. එදා ලෙස්ටර් වෙනුවෙන් මහන්සිවෙලා නිර්මාණය කරපු අලංකාරවත් කේක් එකක් වෝටර්ස් ඒජ් එකෙන් ගෙනැවිත් තිබුණා. එයට ලෙස්ටර් හුඟක් සන්තෝෂ වුණා.

ඇත්තටම උපන්දිනය කියන දේ එක දවසක් වුණත් එදිනට අපි ජීවිතයේ තිබෙන බාධා අමතක කරලා සතුටින් ඉන්න දවසක්. ඉතින් එදා ලෙස්ටර් හුඟාක් සතුටු වුණා. අපි විවාහ වෙලා අවුරුදු 51ක්. ඒ වසර පනස් එක තුළ අපි අපි දෙදෙනාගේම උපන්දින හැම වසරකම සැමැරුවා.

අපි විදේශයක හිටියත් ලංකාවේ හිටියත් ඒ මොන පරිසර තත්ත්වයක හිටියත් අපි එකිනෙකාට සුබපැතුම් පිරිනමමින් සැමැරුවා. පසුගිය පස් වැනි දා කලා ලෝකයේ බොහෝ දෙනෙක් ලෙස්ටර්ව බලන්න ආවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන් සුබපැතුම් එක්කළා. එදා බොහොම සතුටින් පිරුණු දිනයක් වුණා. මම හිතන්නේ සිනමා විචාරකයන් පවසා තිබුණා.

දැනට ජීවතුන් අතර සිටින ජේෂ්ඨතම චිත්‍රපට නිර්මාණකරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් බව. එය මට සතුටක්. තවමත් ලෙස්ටර් කැමැති පොත් කියවන්න. චිත්‍රපට නරඹන්න. එයා හැමදාමත් සමාජයේ සියලු තොරතුරු පිළිබඳ දැනුම්වත්. ඒ හැමදේම මා සමඟ ඔහු කතා බහ කරනවා. ඔහුට දීර්ඝායුෂ වගේම නීරෝගී සැපවත් දිවියක් මමත් ප්‍රර්ථනා කරනවා. 

 

 

Comments