පුතා එක්ක ආසාවෙන් අලුත් අවුරුදු සැමරුවා | Page 2 | සිළුමිණ

පුතා එක්ක ආසාවෙන් අලුත් අවුරුදු සැමරුවා

 ප්‍රතිභා හෙට්ටිආරච්චි

හැම අවුරුද්දකම කියනව වගෙත් මේ සැරේත් සියලු දෙනාටම කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ඉස් ඉස්සෙලම රසඳුනේ අපි හැමෝටම සුබ පතනවා. ඉතිං හා හා පුරා කියලා රසඳුනේ අපි අලුත් අවුරුද්දේ මුල්ම කතා බහට එකතු කර ගත්තේ ඇයව.ඇය නම් මේ පාර හරි හරියට අවුරුද්ද සැමරුවා කියලා දැන ගන්න ලැබුණා .

 සුබ අලුත් අවුරුද්දක් ප්‍රතිභා !

එසේම වේවා.....!

 ගොඩක් කාලෙකින්. ඉතිං කොහොමද?

ඔව්. ගොඩක් හොඳයි. මේ දවස්වල නම් වැඩිපුරම කාලය ගත කරන්නේ පුංචි පුතාත් එක්ක.ටෙලි නාට්‍ය සඳහා නැවත වරක් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව රැකියාවේ වැඩකටයුතුත් කරගෙන යනවා.

 මේ පාර අවුරුද්ද ජයයි වගේ?

අවුරුද්ද කියන්නේ මම ආසම උත්සවයක්. මම හැම අවුරුද්දක්ම ඒ විදියටම සමරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ කැවිලි මගේ අතින් හදලා, නැකතට ඒ වැඩ කටයුතු කරමින්, අවුරුද්ද සමරනවා.මේ පාර අවුරුද්දටත් මගේ අතින්ම කැවිලි ගෙදර හැදෙනවා. කොහොමත් මට හැම අවුරුද්දක්ම ගොඩක් ජයයි.

 ඒකට විශේෂ හේතුවක් තියෙනවා වගෙයි

මගේ උපන්දිනෙත් යෙදිලා තියෙන්නෙත් අප්‍රේල් මාසේ නේ

 අවුරුද්ද සැමරීම කොයි විදියටද වෙන්නේ ?

මේ පාර මගේ හස්බන්ඩ් ගේ අම්මා ඇමෙරිකා ගිහින් ඉන්නේ. ගිය අවුරුදු වල නම් එයා හිටියා. දැන් එයා නැති නිසා, ගෙදර ඉන්න එකම කාන්තාව මම විතරයි. ඒ නිසාම හැම දෙයක්ම කරන්න වුණේ මට.

 හැම අවුරුද්දකම වගේ මේ පාර අවුරුද්දට ගමේ යනවද?

අනිවාර්යෙන්ම. කොහොමත් මම මුලින්ම යන්නේ මගේ ගමට, ඒ රාජගිරියට. ඒ මම හිටිය ගෙදර.

 මතක් කරමු නේද පුංචි කාලේ ගමත් එක්ක බැඳුණු අවුරුද්ද ගැන?

වර්තමානයේ අල්ලපු ගෙවල්වල අය දන්නේ නැහැ ඉන්නේ කවුද කියලා. නමුත් පුංචි කාලේ එහෙම නෙමෙයි. ගෙදර අවට ඉන්න අයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තිබුණා. ඒ දවස්වල අයියයි මමයි කැවිලි පිඟන් අරගෙන යනවා අවට ගෙවල්වලට සහ අපේ නෑදෑයින්ගේ ගෙවල්වලට. ඒ වගේම තෑගි භෝග හුවමාරු කර ගන්නවා. ඒක හරිම සුන්දරයි. මම නම් ඇත්තටම හරිම ආස කාලයක් අවුරුද්ද කියන්නේ. මොකද පොඩි කාලේදී අපිට තෑගිත් ලැබුණානේ.

 පසුගිය අවුරුදුත් එක්ක බලන විට මේ පාර අවුරුද්ද ටිකක් සුවිශේෂී නේද?

අනිවාර්යෙන්ම. ගිය අවුරුද්දේ තමා බබාගේ පළමුවැනි උපන් දිනය තිබුණ අවුරුද්ද.එයා ඒතාභී ගෘෂේන් වල්පිට. දැන් එයා ටිකෙන් ටික ලොකු වෙන නිසා, එයාට තේරෙනවා. ගිය අවුරුද්දේ එයාට එහෙම තේරුමක් තිබුණේ නැහැ. මේ පාර හරිම ආසාවෙන් බබා අවුරුද්ද සැමරුවා. මෙය අපිට වෙනස්ම අත්දැකීමක් වෙයි , අනිත් අවුරුදු වලට වඩා.

 ඔබ පොඩි කාලේදී වින්ද අත්දැකීම්, අද ඔබේ බබාට දෙන්න පුළුවන්ද?

අපි ලැබුව ඒ අත්දැකීම් ඒ විදියටම දෙන්න බැහැ. අපි පොඩි කාලේ අවුරුද්ද සමරද්දී වට පිටාවේ ලොකු ඉඩක් තිබුණා. අපේ රාජගිරිය ගමේ සෙල්ලම් කරන්න කරන්න ලොකු ඉඩක් තිබුණා. ඒ දවස්වල අපි ගමේ ගිහින් කැට ගහනවා. දැන් ළමයිට සෙල්ලම් කරන්නවත් ඉඩක් නැහැ. අපි ඒ ලැබුව අත්දැකීම් නම් දැන් බබාලට හම්බවෙන්නේ නැහැ . නමුත් අපි කළ හැම චාරිත්‍ර වාරිත්‍රයක්ම ඒ විදියටම කළා. මම බබත් එක්ක ඒ හැම දෙයක්ම කරන්නේ ඔහුට ඒ අවබෝධය ලබා දෙන්නයි.

 අවුරුද්දට කලින් නම් ඔබව වැඩිපුර දකින්න ලැබුණේ නැහැ.කලාවට සමුදිලවත්ද?

අම්මෝ නැහැ. කලාවට සමුදෙන්න බැහැ. ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් විදපු දේ. ඒ නිසා ඈත් වෙන්නේ නැහැ කොහොමත්. ඒ මොකද කිව්වොත් ඒ දේවල් එක්ක අපි බැඳිලා ඉන්නේ. එහෙම එක පාරටම අයින් වෙන්නත් බැහැ . අනිවාර්යෙන්ම ඉදිරියේදී වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය සදහා සම්බන්ධ වෙනවා.

එහෙත් ඔබ පසුගිය කාලයේ කලාවෙන් ඈත්වෙලා හිටියා?

ඈත් වුණේ නැහැ. බබා ලැබුණා නිසා එයත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න ඕන කියලා හිතුණ නිසා මට චුට්ටක් විතර නාට්‍ය සදහා සම්බන්ධ වෙන්න බැරි වුණා. නමුත් දැනටත් මම රඟපෑ මගේ නාට්‍ය දෙකක් විතර විකාශය වෙනවා. එහෙම ඈත්වීමක් නම් නැහැ.

 ඔබ කලින් කිව්වා,ඔබ රැකියාවේ කටයුතු නිසා කාර්යබහුලයි කියා.

අ....ඔව්. මම මේ වෙනවිට අලෙවිකරණය පැත්තෙන් වැඩ කරන්නේ. මම කටුබැද්ද විශ්ව විද්‍යාලයෙන් මුල්‍ය ගණිත අංශයෙන් අධ්‍යයන කටයුතු කළා. ඉතිං ඉගෙන ගත්ත දෙයින් මොනවහරි කරන්න ඕන, නැත්නම් අපරාදේ. ඒ නිසා අලෙවිකරණය පැත්තෙන් රැකියාවක නිරත වෙනවා.

 

Comments