ගාමි­ණිට බ්‍රැන්ඩෝ වෙන්න පුළු­වන් ඒත් බ්‍රැන්ඩෝට ගාමිණි වෙන්න බැහැ | Page 9 | සිළුමිණ

ගාමි­ණිට බ්‍රැන්ඩෝ වෙන්න පුළු­වන් ඒත් බ්‍රැන්ඩෝට ගාමිණි වෙන්න බැහැ

මේ තීරු ලිපියට නිමිත්ත වුණේ එකිනෙකට සම්බන්ධයක් නැති සිද්ධි දෙකක්. එක; මගේ මුහුණු පොතට එවා තිබූ මාලන් බ්‍රැන්ඩෝගෙ අපූර්ව ඡායාරූපාවලිය. අනික අහම්බෙන් වගේ ‘රිදී TV’ චැනලයෙන් දැකගන්ට ලැබුණු ‘සත්‍යග්‍රහණය’ චිත්‍රපටයේ ජවනිකා කීපයක්.

‘සත්‍යග්‍රහණය’ චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා රඟපාපු අර කවිකාර ඇමැතිවරයගේ චරිතය ඔහුගේ නළු ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. ඒත් පුදුමයකට වගේ අපේ කිසිම විචාරකයෙක් ගාමිණිගේ රඟපෑම් ගැන කතා කරන අවස්ථාවලදී මේ චරිත නිරූපණය ගැන වචනයකින්වත් සඳහන් කරන්නේ නැහැ. තරමක් අතිශයෝක්තියට බර වුණත් එය චරිතයට අදාළ ශෛලිගත රංගනයක්.

මුල් යුගයේ ඉඳන්ම වගෙ අපේ විචාරකයෝ ගාමිණිගේ රංගනය, හොලිවුඩ් නළු මාලන් බ්‍රැන්ඩෝට සමාන කරපු හැටි අප අසා කියවා තිබෙනවා. ජයවිලාල් විලේගොඩ තමයි මේකට මුල පිරුවේ.

ගාමිණි රඟපෑ ‘පිරිමියෙක් නිසා’ චිත්‍රපටය ගැන විචාරයක් ලියු ඔහු මාලන් බ්‍රැන්ඩෝ පාට් දැමීමට උත්සාහ නොකර වර්ණනාවෙන් හිස, උදුමවා නොගතහොත් මේ නළුවාට (ගාමිණිට) හොඳ අනාගතයක් තිබෙන බව කියා සිටියා.

ඔය කියන විදියට, ඇත්තටම ගාමිණි, බ්‍රැන්ඩෝ අනුකාරකයෙක් ද? ඔවුන් දෙදෙනාගේ චින්තන ධාරාවන් තුළ යම් යම් සමානකම් තිබුණත් කිසිම චිත්‍රපටයක ගාමිණි, බ්‍රැන්ඩෝ අනුගමනය කළ ආකාරයක් නම් මට පෙනී ගොස් නැහැ. ‘ගම්පෙරළිය’ (ජිනදාස) ‘පරසතුමල්’ (බොනි මහත්තයා) ‘ඔහොම හොඳද’, ‘හිත හොඳ මිනිහෙක්’ (ජෝති) ‘සරුංගලේ’ (නඩරාජා) ‘හුලවාලි’ (ධාරා) බ්‍රැන්ඩෝ අනුකරණ ද? මේ සියල්ල ගාමිණිගේම සියුම් රංග පරිකල්පන නොවේ ද?

‘මං මුලින් සඳහන් කළ සත්‍යග්‍රහණය’ චිත්‍රපටයේ කවි ඇමැති වුණත් බ්‍රැන්ඩෝ පාට් එකක් නෙමෙයි. මට තේරෙන්නේ නැහැ ඇයි මේ විදියට බ්‍රැන්ඩොයි ගාමිණියි අතර සමානකම් දකින්න ඇතැමුන් උත්සාහ කරන්නෙ කියන එක. ඒත් ඒවට කිසිම උදාහරණයක් නැහැ. සාධකයක් නැහැ. එතකොට ඒක හුදු කල්පිතයක් පුස්සක් බවට පත්වෙනවා.

මං හිතන විදියට ගාමිණි ලෝකයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම නළුවන් දෙතුන් දෙනාගෙන් කෙනෙක්. ඔහු නිසැක වශයෙන්ම සර් ලෝරන්ස් ඔලිවියර්, ජෝන් ගිල්ගුඩ්, පෝල් මුනි ගේ මට්ටමට තබන්න පුළුවන්. බ්‍රැන්ඩෝට නම් ගාමිණිත් එක්ක හැරෙන්නවත් බැහැ. මා මිත්‍ර දිනේෂ් ප්‍රියසාද් වරක් කිව්ව වගේ ගාමිණිට බ්‍රැන්ඩෝ රඟපාපු ඕනෑම චරිතයක් කරන්න පුළුවන්. ඒත් බ්‍රැන්ඩෝට ගාමිණි රඟපෑ ඇතැම් චරිත කරන්න බැහැ. මා ඉහත ඉදිරිපත් කළ චිත්‍රපටවල චරිත වුණත් ඊට නිදසුන්.

බ්‍රැන්ඩෝටත් වඩා ගාමිණිට හුඟක් බලපාලා තියෙන්නෙ පෝල් මුනි නමැති ශ්‍රේෂ්ඨ ඇමෙරිකානු නළුවා. මෙරට රූපගත කළ ඩේවිඩ් ලීන්ගේ ‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ චිත්‍රපටයේ ගාමිණි සහාය ශිල්පියකු ලෙස වැඩ කරද්දී හොලිවුඩ් චිත්‍රපට රැසක් දැකගන්ට ලැබුණා. ලීන් විවේක වෙලාවට මි. මි. 16 ප්‍රමාණයෙන් ඒ චිත්‍රපට ප්‍රදර්ශනය කර පොදුවෙ කවුරු එක්කත් ඒවා බලා රස වින්දා.

ඒ අතර පෝල් මුනි රඟපෑ චිත්‍රපටත් තිබුණා. විශේෂයෙන් ‘ද ලයිෆ් ඔෆ් ලුවි පාස්චර්’. මෙය ලෝක ප්‍රකට වෛද්‍ය ලුවි පාස්චර්ගේ චරිත කතාව. මේ චිත්‍රපටය ගැන ගාමිණි පෞද්ගලිකව මා එක්කත් කතා කරලා තියෙනවා. පෝල් මුනි මේ චරිතය රඟපාන්න පෙර පාස්චර්ගේ ගෙදර ගිහිං එහි ටික දවසක් පදිංචි වෙලා පාස්චර් විදියට හැසිරුණු බව ගාමිණි මාත්තෙක්ක දවසක් කිව්වා.

නළුවන් වශයෙන් ගාමිණිගේත් බ්‍රැන්ඩෝගෙත් යම් යම් සමානකම් නොතිබුණා නෙමේ. බ්‍රැන්ඩෝ අසාමාන්‍ය චරිතයක්. ඔහු ඇතැම් අවස්ථාවල ඔස්කාර් සම්මාන පවා ප්‍රතික්ෂේප කළා. ඔහු ඇමෙරිකාවේ පාරම්පරික හිමිකරුවන් වූ රතු ඉන්දියානුවන් වෙනුවෙන් පෙනී හිටියා. ගාමිණි පවා සම්මාන ප්‍රතික්ෂේප කළ අවස්ථා තියෙනවා. ඔහු මෙරට සුළු ජාතින් වෙනුවෙන් පෙනී සිටි නළුවෙක්.

බ්‍රැන්ඩෝ අදීන මතධාරියෙක්. නළු නිළියන් කලාකරුවන් නොවන බවත් චිත්‍රපටය කලා කෘති නොවන බවත් ඔහු වරක් කිව්වා. ඔහු කලාකරුවන් විදියට සැලකුවේ ශේෂ්පියර්, රෙම්බ්‍රාන්ට්, බෝද්ලෙයාර්, ටෙනසි විලියම්ස් වගේ අය විතරයි. නළු නිළියන් කලාකරුවන් වන්නේ නම් පීට්සා හදන මිනිස්සුත් කලාකරුවන් වන බවයි බ්‍රැන්ඩෝ කිව්වේ. 

 

Comments

පිටු