කිරි­ටොෆි හොර­කම ගම පුරාම ප්‍රසිද්ධ වුණා | Page 2 | සිළුමිණ

කිරි­ටොෆි හොර­කම ගම පුරාම ප්‍රසිද්ධ වුණා

අමතක නොවන මතක විශේෂාංගයට මෙවර මතකය අවධිකරන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක, වේදිකා නාට්‍ය ශිල්පිනියක හා රූපලාවන්‍ය ශිල්පිනියක වන නයනා කුමාරි. එදා මෙන්ම අදටත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වය එකසේ රඳවාගෙන සිටින නයනාට ජීවිතයේ අමතක නොවන මතක ගොඩක් ඇති බවයි පැවසුවේ.

 රෑ 12ට හොල්මනක්

සමහර විට ඔබට පුදුම හිතෙයි කුඩාම කාලයේ සිදුවු සිදුවීම් කොහොමද අමතක නොවී තිබෙන්නේ කියා. පුදුමය කියන්නෙ මට පොඩිම කාලයේ සිදු වු සිදුවීම් පවා හොදින් මතකයේ තිබෙනවා. මට මතකයෙ හැටියට එතකොට අවුරුදු හතරක් විතර ඇති. අපි පදංචි වෙලා සිටියෙ කොස්වත්තෙ. අපේ අම්ම හරිම ආසයි චිත්‍රපට බලන්න. යක්කලමුල්ල, කොස්වත්තෙ නන්දාහෝල් එකේ රාත්‍රි 9.30 දර්ශනය බලන්න තමයි ඇය යන්නෙ. අක්කල තුන්දෙනාව ගෙදර තියල මම පොඩි නිසා මාව එක්කගෙන යනව. දවසක් චිත්‍රපටිය බලලා ගෙදර ආවා. එතකොට රෑ 12ට විතර ඇති. අම්මා දොර අරිනකම් මම ගේ ඉස්සරහ තිබුණු රබර් වත්ත දිහා බලාගෙන ඉන්නකොට එකපාරටම සුදු ඇඳගත් ආච්චි කෙනෙක් අපේ ගෙදර පැත්තට ඇවිදගෙන එනවා. මට මතක අම්මේ කියල කෑ ගහනව විතරයි. අම්ම මොකද..මොකද.. කියල වට පිට බලල මේ ළමයට පිස්සු කියල ගෙට ගියා. එදා මම ඒ දැකපු දර්ශනය අදත් මතක්වෙනකොටත් දැනෙන්නෙ පුදුම බියක්. අදත් හොල්මන්වලට බය ඒ නිසා වෙන්නැති.

 ගවුම පුරවලා කිරිටොෆි

මගේ තාත්තගෙ ගම බත්තරමුල්ල. අපි බත්තරමුල්ලෙ පදිංචිවෙලා ඉන්නකාලෙ. එතකොට මට අවුරුදු හයක් විතර ඇති. දවසක් මම යාළුවෙකුත් එක්ක සත විසිපහක් අරගෙන කඩේට ගියා කිරිටොෆි කන්න. ඒ කඩේ අයිති අක්ක ගේ ඇතුලෙ ඉඳලයි කඩයට එන්නෙ කතාකරහම. අපි කඩේ කවුද කියා කතා කෙරුව. ඒ අක්ක එළියට ඇවිත් කිරිටොෆි දීල ආපහු කඩේ ඇතුළට ගියා. මගේ යාළුව කිව්ව මට ගවුම අල්ලගන්න එයා කිරිටොෆි බෝතලය හලන්නම් කියා. මමත් ඉතින් ගවුම අල්ලගෙන හිටිය යාළුව කිරිටොෆි බෝතලයම ගවුමට හැලුව. බෝතලය ආපහු තියනකොටම සද්දයක් ආවා. මෙන්න ගෙට ගිය කඩේ අක්ක එළියට ආව. යාළුවා මාව දාලා පැනල දිව්වා. මට කරකියා ගන්න දෙයක් නෑ. අතටම අහුවුණා. හොඳවයින් පාරකුත් වැදුණා. නොතේරුම් කමට නිසා මුකුත් කියන්නැතුව ගෙදර යැව්වා. හැබැයි ගමේ කට්ටිය නම් මාව දකින දකින තැනදි කි‍රිටොෆි කියන්න පටන් ගත්තා. අම්මට ආරංචිවෙලා මට හොදටම ගැහුවා. දැන් තමයි මතක්වෙනකොට හිතෙන්නෙ නොතේරුම් කමට කළ වැඩේ බරපතළ කමගැන.

 අල නැති ගහල නම හැදුණා

මම පාසල් ගියේ බත්තරමුල්ල මධ්‍යමහා විද්‍යාලයට. මට මතකෙ හැටියට හය,හෝ හත වසරෙදි විතර පාසල් සතිය නිමිත්තෙන් හෙඳම පන්තිය තෝරන තරගයට අපි හැමෝටම එක එක වර්ගයේ ද්‍රව්‍ය ගේන්න පැවරුවා. මම පොරොන්දු වුණේ තිත් තිත් හබරල ගෙනියන්න. බත්තරමුල්ල වෙලේ මේ හබරල තියෙනවා. ගියා ගලවන්න. හබරල ගස් ඇද්දට එන්නෙ කොළ කැඩිල. මම ඉතින් කොළ ටිකත් බැඳගෙන පහුවදා ඉස්කෝලෙ ගියා. ටීචර් ඇහුව කෝ මේ හබරල ගස්වල අලේ කොළ කොහොමද පැළ කරන්නෙ කියල. මමත් ඉතින් ටීචර් එක්ක වාද කළා මේ ගස්වල හැටි ඔහොම තමයි. කොළ විතරයි අල නෑ කියල. එදා ඉඳන් අල නැති ගහල කියල පන්තියෙ ළමයි කියන්න ගත්ත. මට මතකයි පාසලේ ඕනෑම කෙනෙක් නයනා කියනවට වඩා අල නැති ගහල කිව්වම මාව දැනගෙන හිටිය.

 ලංකාවෙම පංචකල්‍යාණිය වෙන්න වරම්

මට මතකයි පොඩි කාලෙ ඉඳන්ම ඥාතින් එහෙමත් කියනව මම ලස්සනයි කියල. මටත් හිතුන අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත්වෙන්න ඕන කියල. එතකොට අවුරුදු 15ක් විතර ඇති. උදය අවුරුදු කුමරිය තරඟයට ඉදිරිපත් වුණා. ඒ තරඟයෙන් ප්‍රථම ස්ථානය ලැබුණා. කණ්ණාඩි මේසයක් තමයි තෑග්ගට ලැබුණේ. අදත් එය මගේ ළඟ තිබෙනවා. ඒ මතකය හැමදාමත් තියෙන්නෙ එය මගෙ ජීවිතයේ නව වෙනසකට මුල පිරූ අවස්ථාවක් නිසා. ඊට පස්සෙ 1996 කොළඹ දිස්ත්‍රික්කයේ පංච කල්‍යාණිය තේරීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත්තා. ඉන් පසුව 1997 ලංකාවෙම පංචකල්‍යාණිය තේරීමේ තරගයට ඉදිරිපත්ව ප්‍රථම ස්ථානය හිමිකරගත්තා. මෙවැනි තරඟවලට ඉදිරිපත්වීමත් සමඟම මට හතුනා රංගනයට සම්බන්ද වෙන්න ඕනෑ කියා.

අම්මත් කලාවට ප්‍රියකරන නිසාම මම කලාවට සම්බන්ධවෙනවට ඇයගේ අක­ැමැත්තක් තිබුණේ නෑ. පසුව රංගනය පිළිබඳව පාඨමාලාවක් හැදෑරුවා. එය අවසානයේදි ඔතෙලෝ වේදිකා නාට්‍යයේ ජෙස්ටිමෝනා චරිතය රඟපෑවා. එය තමයි මගේ පළමු වේදිකා නාට්‍ය. ඉන් පස්සෙ කොච්චර වේදිකා නාට්‍ය රඟපෑවත් මගේ පළමුවැනි වේදිකා නාට්‍ය කවදාවත් අමතකවෙන්නෙ නෑ.

 අධ්‍යක්ෂකට හිත ගියා

වේදිකා නාට්‍යවලට සම්බන්ධවෙමින් පොඩි පොඩි චරිතවලින් රංගනයේ යෙදෙමින් සිටියදී කස්තිරම නාට්‍යයට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණා. එය මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක්. පළමු ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන සුමිත් ගල්කන්දාරච්චි හමු වීම මගේ ජීවිතයම වෙනස් කළ සිදුවීමක් වුණා.

සුමිත් හදුනාගෙන වසර නමයකට පසු එනම් 2003 අපි පන්සලක සරළ උත්සවයක් ගෙන යුගදිවියට එළඹුණා. 2005 පුතා ලැබී මවු පදවිය ලැබීමත් මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම්.

 චාතුර්යා තවමත් ජනප්‍රියයි

වැලිකතරට අලුත් ඉරක් ටෙලිනාට්‍යයේ කළ රංගනයට පළමු කුසලතා සම්මානය හිමිවුවා එයත් මට සුවිශේෂයි. 2003දි චාතුර්යා ටෙලිනාට්‍යයේ කළ රංගනය මගේ ජීවිතයේ තවත් හැරවුමක්. එහි රංගනය අදටත් ප්‍රේක්ෂකයන් අතර හරිම ජනප්‍රියයි. වෙලාවකට මට අතීතය සිහිපත් වෙනකොට හිතෙනව මම ගිය ආත්මෙ ගොඩක් පින්කරල ඇති කියල. මට මතකෙ හැටියට 2003 අවුරුද්ද. අනගාරක ධර්මපාලතුමා ගැන වාර්තා වැඩසටහනකට අපිට යන්න ලැබුණා ඉන්දියාවට. බානගල උපතිස්ස හිමියන්කළ එම නාට්‍යයේ කොටස් 18යි. මගේ මහත්තයා සුමිත්ද මා සමග ගියා. අපිට මාස 11/2ක් විතර ඉන්දියාවේ හැම අස්සක් මුල්ලක් නෑරම යන්න වරම් ලැබුණා. ඒක කෙනෙකුට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. එවන් මතක ජීවිතේටම අමතකවෙන්නෙ නෑ. අමතක කරන්නත් බෑ.

 විවාහෙට අවුරුදු 24ක්

මගේ අම්ම පොඩිකාලෙ ඉඳන්ම මට කියන දෙයක් තමයි අක්කලගෙ සම්බන්ධකම් දැකල කලකිරිල දැක්ක නේද අක්කල හැදෙනහැටි ඔයානම් ඕව කරන්න එපා හොදට ඉන්න කියන එක. ගමේ කොල්ලො කොච්චර ආදරේ ඉල්ලන් ආවත් වැරැදිපාරක නොගියෙ ඒ නිසයි. සුමිත් සමග විවාහ වෙලා දැන් අවුරුදු 24ක්. රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසත් විවිධ අත්දැකීම් ලබමින් ගෙවී ගිය මතකයන් එක්ක තෘප්තිමත්ව ජීවිතේ ගෙවීම තමයි එකම අරමුණ. 

 

Comments