අප අත­රින් සමු­ගත් උදාර සිනමා අධ්‍ය­ක්ෂ­ක­ව­රයා | Page 3 | සිළුමිණ

අප අත­රින් සමු­ගත් උදාර සිනමා අධ්‍ය­ක්ෂ­ක­ව­රයා

මෙරට සිනමා වංශකතාවේ එක් පරිච්ජේදයක් ඔහු හා ඔහුගේ සිනමා නිර්මාණ උදෙසා වෙන් වී තිබිණි. ඔහු ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයකු මෙන්ම තිරපිටපත් රචකයකු වූ කලාකීර්ති වසන්ත ඔබේසේකරය. එතුමා පසුගිය දා අප අතරින් වියෝ වූයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මිය යන විට 79 වන වියේ පසු වූ ඔබේසේකරයන් මෙරට සිනමාව වෙනුවෙන් චිත්‍රපට රැසක් නිර්මාණය කළ සම්මානනීය අධ්‍යක්ෂවරයෙකි. 1927 දී බම්බලපිටියේ උපත ලැබූ වසන්ත ඔබේසේකරයන් ගේ ගම වූයේ මීගමයි. වැඩිමහල් සහෝදරයකු (මහාචාර්ය ගනනාථ ඔබේසේකර) හා සහෝදරියක සිටි වසන්ත ඔබේසේකරයන් මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබ 1958 දී ලංකා විශ්ව විද්‍යාලයට (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) ඇතුළත් වී 1962 වසරේ දී උපාධිය හිමිකර ගත් අතර 1964 සිට 1970 දක්වා ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළේය.

ඒ කාලසීමාවේදී ඔහු රචනා කළ ලිපි හා කෙටි කතා බොහෝ විචාරකයන්ගේ හා පාඨකයන්ගේ පැසැසුමට ලක්විය. කුඩාකළ සිටම කලාවට පෙම් බැදි ඔබේසේකරයන් 1967 දී මහාචාර්ය සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ සත්සමුදුර චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිනමාවට පිවිසි අතර පසුව වසන්ත ඔබේසේකරයන් 1970 දී ‘වෙස්ගත්තෝ‘ චිත්‍රපටය රචනා කරමින් අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමාවට පිවිස ඉන්පසුව වල්මත් වූවෝ, දියමන්ති, පළගැටියෝ, දඩයම, කැඩපතක ජායා, මාරුතය, දොරකඩමාරාව, තීර්ථයාත්‍රා, සළෙළුවරම, අසෙනි වර්ෂා, සෙව්වන්දි, වැනි දෙස් විදෙස් කීර්තියට පත් සරසවිය හා ජනාධිපති සම්මාන රැසක් ලැබූ චිත්‍රපට නිර්මාණය කළේය.

2007 වසරේ දී ආගන්තුකයා ඔහුගේ අවසන් සිනමා අධ්‍යක්ෂණය විය. මෙම චිත්‍රපට බෙහොමයක් ප්‍රබ්‍රද්ධ ප්‍රේක්ෂක ජනතාවගේ ප්‍රසාදයට බඳුන් විය. එම සිනමා නිර්මාණ අතර ‘දඩයම‘ සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක් වූ චිත්‍රපටය විය. මේ චිත්‍රපටය නිසාම පසුක­‍ෙලක වසන්ත ඔබේසේකර ලෝකයේ සංවර්ධනය වන රටවල චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතරට තේරීපත් වන්නට ද වාසනාවන්ත විය.

බොහෝ විට ඔහු තම සිනමා නිර්මාණ සඳහා කේන්ද්‍ර කරගන්නා වස්තු බීජයන් සමාජයේ සත්‍ය මත පදනම් වූ කතා පුවත් විය. ඒ පිළිබඳව ඔහු වරක් මෙසේ පවසා තිබුණි. ‘මගේ නිර්මාණ ගොඩනඟන්නේ සත්‍ය වස්තුබීජ පාදක කරගෙන. ප්‍රේක්ෂකයාගේ හැඟීම්වලට බද්ධ විය හැකි කතා තේමාවකින් ප්‍රබල සිනමා නිර්මාණයක් එවිට ඉදිරිපත් කරන්න පුළුවන්‘ යන්නයි.

හෙළ සිනමාවේ වැදගත් පරිච්ජේදයක් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආ වසන්ත ඔබේසේකරයන් ස්වකීය ජීවිතයෙන් අඩකටත් වඩා කාලයක් කලාව වෙනුවෙන් කැපකළ උදාර සිනමා අධ්‍යක්ෂකවරයෙකු ලෙස ලංකාවේ ඉතිහාසගත වෙනු ඇත. එවන් වූ සොඳුරු අධ්‍යක්ෂවරයෙක් අප අතරින් සමුගෙන ගියද ඔහුගේ සිනමා මතක සටහන් , අනන්‍යතාව පිළිබඳව අදත් හෙටත්, මතුවටත් ප්‍රේක්ෂකයා තකාබහට ලක්කරනු ඇත. වසන්ත ඔබේසේකරයාණෙනි ඔබට නිවන් සුව!

Comments