අන්ද­මන් දූපත් වල හුදෙ­ක­ලාවේ ජීව­ත්වන නිරු­වත් මිනිස්සු | Page 2 | සිළුමිණ

අන්ද­මන් දූපත් වල හුදෙ­ක­ලාවේ ජීව­ත්වන නිරු­වත් මිනිස්සු

තාක්ෂණික දියුණුවත් සමඟ අප ජීවත් වන ලෝකය කොතරම් ඉදිරියට ගොස් තිබෙනවාද? සංවර්ධනයේ සෙවනැල්ල නොවැටුණු පෙදෙසක් මේ ලෝකයේ නොමැති තරම්. ඒ වාගේම සෑම රටකම පාහේ ජීවත් වන පුද්ගලයින් දැන් ශිෂ්ට සමාජයේ කොටස්කරුවන් වී හමාරයි.

එහෙත් කිසිදු අයුරකින් නූතන ලෝකය දැක නොමැති බාහිර ලෝකයෙන් වෙන් වී ජීවත්වන මිනිසුන් කොට්ඨාසයක් මෙළොව ජීවත් වන බව ඔබ දැන සිටියාද? නමින් සෙන්ටිනල්වරුන් එසේත් නැතිනම් සෙන්ටිනල් ගෝත්‍රයේ (Sentinelese tribe) මිනිසුන් තමයි මෙළොව ජීවත්වන හුදකලාම මිනිසුන් ලෙස හඳුන්වනු ලබන්නේ. ශ්‍රී ලංකාව ආසන්නයේ තිබෙන ඉන්දියානු රජයට අයත් අන්දමන් දූපත් හි උතුරු සෙන්ටිනල් දූපතේ තමයි මේ අරුම පුදුම මිනිසුන් ජීවත් වන්නේ.

දූපත හා ඒ අවට කලාපය සාමාන්‍ය මිනිසුන්ට තහනම් කලාපයක් බවට ඉන්දියානු රජය විසින් නම් කර තිබෙන්නේ මෙම මිනිසුන් ආගන්තුක පුද්ගලයින්ට දක්වන බිය හා බිහිසුණු ප්‍රතිචාරයන් නිසායි. 2006 වසරේ දී මේ දූපත අසළට ගිය ධීවරයින් දෙදෙනකුව මොවුන් විසින් මරා දමා තිබෙන්නේ බාහිර ලෝකය සමඟ සම්බන්ධ වීමට තිබෙන ඔවුන්ගේ දැඩි අකැමැත්ත ප්‍රදර්ශනය කරමිනි.

මෙම මිනිසුන් පිළිබඳව වසර ගණනකට ඉහතදී සිදු කරන ලද කෙටි වාර්තා චිත්‍රපටයක් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ වීම නිසා මොවුන් පිළිබඳව ලෝකයේ සිටින බොහෝ දෙනාගේ අවධානය ලැබී තිබෙනවා. ඒ හැරෙන්නට 2006 සිදුවීමෙන් පසුව මොවුන් පිළිබඳව කිසිදු පුවතක් වාර්තා නොවන්නේ ඉන්දියානු රජය විසින් දූපත අවට කිලෝමීටර් 3ක සීමාව වන තෙක් මෙම ප්‍රදේශයේ තහනම් කලාපයක් බවට පත් කර තිබෙන නිසායි.

එයට හේතුව වන්නේ වර්ෂ 1967 දී ඉන්දියානු රජය විසින් සෙන්ටිනල්වරුන් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ගත් උත්සාහයන් සියල්ල බිඳවැටීමයි. මානව විද්‍යාඥ T. N. පාන්ඩිත් ඇතුළු පිරිසට වෙරළේ සිට සෙන්ටිනල් වැසියන් පශ්චාත් ප්‍රදේශය පෙන්වා තිබෙන්නේ ඔවුන්ගේ අප්‍රසාදය පළ කිරීමටයි.

1970 දී නැවතත් උත්සාහ කළද එයත් අසාර්ථක වී තිබේ. ඉන්පසුව නැවතත් වර්ෂ 1991 ජනවාරි 4 වැනි දින ගැහැනු, පිරිමි හා දරුවන් ඇතුළු 28 දෙනකුගෙන් සැදුම්ලත් පිරිසක් ප්‍රචණ්ඩත්වයෙන් තොරව පාන්ඩිත් ඇතුළු පිරිස අසළට පැමිණියත් ඔවුන් නැවතත් වෙරළේ සිට කැළය වෙත පසු බැස තිබෙන්නේ කිසිදු සබඳතාවයක් ඇති කර ගැනීමට අකැමැත්ත ප්‍රකාශ කරමිනි.

අප්‍රිකාවේ විසූ මුල්ම මානවයාට නෑකම් දක්වන සෙන්ටිනල් වැසියන් මීට වසර 60000 කට පමණ පෙර සිට මෙම දිවයිනේ වාසය කරන්නට ඇති බව අනුමාන කරන අතර බාහිර ලෝකයේ තිබෙන ලෙඩ රෝග එනම් වයිරස් උණ වැනි ඒවා සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොමැති නිසා බාහිර පුද්ගලයින්ට එම දූපත තහනම් කර තිබීමෙන් සෙන්ටිනල් වැසියන්ටද ලැබෙන්නේ ආරක්ෂාවක්.

තවමත් ඉතාමත් ප්‍රාථමික ලෙසින් ජීවත් වන මොවුන් ඇඳුම් පැළැඳුම් ගැන පවා කිසිදු තැකීමක් නොකර නිරුවතින් ජීවත් වේ. 2004 සුනාමි උවදුරෙන් පසුව ගළවා ගැනීමේ මෙහෙයුම් වලට සම්බන්ධ හෙල්කොප්ටරයක් දූපත දෙසට පහත් වී ආහාර හා ඇඳුම් ලබා දීමට උත්සාහ කරන විට එම හෙලිකොප්ටරය වෙත ඊතලයකින් පහර දෙන අයුරු කැමරා කාචයක සටහන් වී තිබේ.

දියුණුවත් සමඟ පිරිහීමට පත්වන වර්තමාන මිනිසාට වඩා සරළව තමන්ගේ පාඩුවේ ජීවත් වන මොවුන්හට අනාගතයේදීත් මේ ලෙසින්ම ජීවත් වීමට ශිෂ්ට සමාජය විසින් ඉඩ ලබා දී මොවුන්ව රැකබලා ගැනීම සියලු දෙනා සිත්හි තබාගත යුතු අත්‍යවශ්‍ය කරුණක්. සෙන්ටිනල් වැසියන්ගේ තවත් විස්තර, ඡායාරූප හා විශේෂයෙන්ම ඔවුන්ගේ වීඩියෝවක් මෙම QR කේතය ඔස්සේ ඔබට නැරඹීමට හැකියාව තිබේ.

[email protected]  

Comments