ඇතත් තව නව අවුරුදු - නැත මෙවන් අවුරුද්දක් සිංහල බක් මහ උලෙළ වගේ | Page 2 | සිළුමිණ

ඇතත් තව නව අවුරුදු - නැත මෙවන් අවුරුද්දක් සිංහල බක් මහ උලෙළ වගේ

බක් මහේ දී උදා වන අලුත් අවුරුද්ද කාගේ අවුරුද්දක් ද? ඊට ‘සිංහල අලුත් අවුරුද්ද’ යැයි කීවත් සියලු ම සිංහලයෝ ඊට සහභාගි නොවෙති. ඊට සහභාගි වන්නේ සිංහල බෞද්ධයන් පමණකි. එය ‘දෙමළ අලුත් අවුැරුද්ද’ යැයි කීවත් සියලුම දෙමළ ජාතිකයෝ ද ඊට සහභාගි නොවෙති. ඊට සහභාගි වන්නේ දෙමළ හින්දු භක්තිකයන් පමණකි. එසේ නම් එය වඩාත් නිවැරදිව නමි කළ යුත්තේ ‘සිංහල බෞද්ධ දෙමළ හින්දු අලුත් අවුරුද්ද’ යනුවෙන් නොවෙි ද?

මෙය ‘සිංහල දෙමළ අවුරුද්ද’ යැයි කලක සිට කියා ගෙන ආවත් මේ දෙපිරිස මේ අවුරුද්ද පවත්වන්නේ එක ම ආකාරයෙන් නො‍ෙව්. අනුගමනය කරන්නේ එක ම නැකත් ද නො‍ෙව්. එබැවින් සිංහල බෞද්ධයන් පවත්වන මෙි උලෙළ හැඳින්වීමට හොඳ ම නම ‘බක් මහ උලෙළ’ හෝ ‘සූර්ය මංගල්‍යය’ හෝ යැයි මට සිතේ.

සිංහල බෞද්ධයන් මීට සහභාගි වුණත් මෙය ‘බෞද්ධ’ උත්සවයක් ද නොවෙි. බෞද්ධ උත්සව පැවැත්වෙන්නේ පුර පසළොස්වක් පෝය මුල් කොට ගෙන ය. බෞද්ධ උත්සවයක අරමුණ බුද්ධ චරිතයෙහි හෝ බෞද්ධ ශාසන ඉතිහාසයෙහි හෝ යමිකිසි සිද්ධියක් අනුස්මරණය කිරීම යි. එහෙත් එවැනි සිද්ධියක් බක් මහ උලෙළට මුල් නොවෙි.

එසේ නමි මෙය හින්දු සසුන හා සමිබන්ධ වූවක් ද? එවැනි සමිබන්ධයක් ඇති බවක් ද නොපෙනේ. එසේ නමි අප මෙි පවත්වන්නේ කවර අවුරුදු උත්සවයක් ද?

අප මේ පවත්වන්නේ ‘ශක වර්ෂය’ යනුවෙන් නම් කොට ඇති අවුරුද්දක උදාව යි. මෙවර උදා වන්නේ ශක වර්ෂ 1939 වැන්න යි. ‘ශක වර්ෂය’ යනු කාගේ වර්ෂ ක්‍රමයක් ද? ක්‍රිස්තු වහන්සේගේ උපතින් 78 වසරකට පසුව ඉන්දියාවෙහි පහළ වුණු ‘ශක’ නමි රාජ වංශය විසින් මෙි වර්ෂ ක්‍රමයේ ආරමිභ කරන ලද බව කියවෙයි. ශක රාජ වංශය බෞද්ධ රාජ වංශයක් විය.

මෙි රජවරු ස්වකීය වර්ෂ ක්‍රමයේ පදනම වශයෙන් යොදා ගත්තේ නක්ෂත්‍රයෙහි එන සිද්ධියකි. එනමි සූර්ය දිව්‍ය රාජයා රාශි චක්‍රයෙහි කරන ගමන යි. චක්‍රයක ආරමිභයක් හෝ අවසානයක් නැත. එහි කවර ස්ථානයක් හෝ ආරම්භයක් වශයෙන් සැලකිය හැකි ය. අවශ්‍ය වන්නේ දොළොස් රාශියකින් යුක්ත රාශි චක්‍රයෙහි එක් රාශියක් ආරම්භය සේ සමිමත කොට ගැනීම පමණකි. ජ්‍යෝතිශ් ශාස්ත්‍රයට අදාළ යම් යම් හේතු සාධක අනුව ‘මෙිෂ’ රාශිය එහි ආරම්භය වශයෙන් ද ‘මීන’ රාශිය එහි අවසානය වශයෙන් ද සම්මත කොට ගැනිණ.

මේ අනුව පැහැදිලි වන්නේ බක් මහේ දී උදා වන අලුත් අවුරුද්ද ජ්‍යෝතිශ් ශාස්ත්‍රය හා සම්බන්ධ වර්ෂ ක්‍රමයක් විනා බෞද්ධ හෝ හින්දු හෝ ආගම හා සම්බන්ධ වූවක් නොවන බව යි. මෙය බෞද්ධ පදනමක් ඇති උත්සවයක් නුවුවත් සිංහල බෞද්ධයෝ ජ්‍යෝතිෂය කෙරේ විශ්වාසයක් ඇත්තෝ වෙති. එබැවින් මෙවැනි අවුරුදු උත්සවයක් පැවැත්වීම ඔවුන්ට ගැටලුවක් මතු නොකරයි.

ජ්‍යෝතිශ්ශාස්ත්‍රය කෙරේ විශ්වාසයක් නැති ක්‍රිස්තු භක්තිකයන් හා ඉස්ලාම් භක්තිකයන් මේ වර්ෂ ක්‍රමය බැහැර කොට ඇත්තේ සහේතුකව ය. සියල්ල සිද්ධ වන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ හෝ අල්ලාහ් නම් දෙවියන්ගේ කැමැත්ත පරිදි නිසා ජ්‍යෝතිෂය පදනමි කොට ගත් මේ වර්ෂ ක්‍රමයත් අවුරුදු උලෙළත් මෙරට සිංහල බෞද්ධයන්ට හා දෙමළ හින්දු භක්තිකයන්ට පමණක් සීමා වීම පුදුමයට හේතුවක් නොවෙි.

ශ්‍රී ලංකාවට ක්‍රිස්තු වර්ෂ ක්‍රමය හඳුන්වා දීමට පෙරාතුව මෙහි භාවිත වුණේ ශක වර්ෂ ක්‍රමය බව සිංහල සාහිත්‍ය කෘතිවලින් පැහැදිලි වෙයි.

ලෝකයේ වෙනත් අවුරුදු උත්සව සමඟ සසඳන කල්හි සිංහල බක් මහ උ‍ෙලළේ ඇති විශේෂතා රාශියකි. එවැනි විශේෂතා අටක් කෙරෙහි මේ ලිපියෙහි අවධානය යොමු කෙරේ.

පළමුවැන්න මේ අලුත් අවුරුද්ද ආරමිභ වන ආකාරය යි. සාමාන්‍යයෙක් අලුත් අවුරුද්දක් ආරමිභ වන්නේ පරණ අවුරුද්ද ගෙවී යන මොහොතේ දී ම යි. 2018 අවුරුද්ද ආරම්භ වන්නේ 2017 වැන්න අවසන් වන මොහොතේ දී හෙවත් දෙසැම්බර් 31 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි දොළහට ය. එහෙත් ශක වර්ෂය එසේ නොවෙි. ඒ අනුව අලුත් අවුරුද්ද එළඹෙන්නේ පරණ අවුරුද්ද අවසන් වී පැය කීපයකට පසුව ය. ඒ පැය කීපය තුළ දී අපි අලුත් අවුරුද්ද ‘ලබන තෙක්’ මහත් අපේක්ෂාවන් බලා සිටිමු.

සාමාන්‍ය පිළිගැනීම අනුව කාලයේ කවර මොහොතක් වුව කිසියම් අවුරුද්දකට අයත් විය යුතු ම ය. කිසිදු මොහොතක් අවුරුද්දෙන් පිට තිබිය නොහැක්කේ ම ය. එහෙත් ශක වර්ෂ ක්‍රමය මේ සම්මතය බැහැර කරයි. සූර්යයා මීන රාශියෙහි ගත කරන අවසාන දිනය ‘පරණ අවුරුද්ද’ යන නමින් හැඳින්වෙයි. සූර්යයා මේෂ රාශියෙහි ගත කරන පළමු දිනය ‘අලුත් අවුරුද්ද’ යන නමින් හැඳින්වෙයි.

මෙි අනුව සූර්යයා මීන රාශියෙන් පිටත් ව සම්පූර්ණයෙන් මේෂ රාශියට එන තෙක් වන කාල පරිච්ඡෙදය ‘සූර්ය සංක්‍රාන්තිය’ වශයෙන් සැලකේ. එය කාලයෙන් පිට පවතින්නක් සේ ද සැලකේ. එය ‘කාලයෙන් පිට’ පවතින්නක් නමි එහි සුබ නැකත් හෝ අසුබ නැකත් හෝ තිබිය නොහැකි ය. නැකත් නැති හෙයින් මේ අවස්ථාව හැඳින්වීමට උචිතතම පදය ‘නො-නකත’ යන්න යි. එය සිංහල කටට හුරු වූයේ ‘නොනගතය’ හෝ ‘නොනගතේ’ යනුවෙනි. අපි මෙය ‘අසම්මත කාලයක්’ ලෙසින් හඳුන්වමු.

දෙවැන්න මෙි අසමිමත කාලය තුළ දී අප හැසිරිය යුතු ආකාරය යි. මේ කාලය තුළ දී නොකළ යුතු කරුණු හෙවත් විරිත් කීපයක් ඇත. එනමි අපේ ජීවිතයට සෞභාග්‍යය උදා කරන කිසි ම වස්තුවක් මේ කාලය තුළ දී ස්පර්ශ නොකළ යුතු වීම යි.

මනුෂ්‍ය ජීවිතයට සෞභාග්‍යය උදා කරන වස්තූන් අතුරෙහි ගින්නත් ජලයත් මූලික වෙයි. එබැවින් මේ අසම්මත කාලය තුළ දී ගින්දරත් වතුරත් ස්පර්ශ කිරීමෙන් අපි වලකිමු.

පරණ අවුරුද්ද අවසන් වනවාත් සමඟ ම ළිපේ ගිනි නිවා දැමෙි. අලුත් අවුරුද්ද උදා වනවාත් සමඟ ම යළි ළිප ගිනි දැල්වෙි. එබැවින් අසමිමත කාලය තුළ දී ගෙදර ගින්දර නැත.

ගෙදරට අවශ්‍ය වතුර නොනගතය ආරමිභ වීමට කලින් ගෙදරට ගෙන ඒම සිරිතකි. නොනගතය තුළ දී කිසිවෙක් ළිඳට නොයයි. අලුත් අවුරුද්ද උදා වනවාත් සමඟ ම ළිඳට ගොස් ළිඳ සමඟ ගනුදෙනුවක් කිරීම අපේ සිරිත යි. මෙය හැඳින්වෙන්නේ ‘ළිඳ අලෙයි කිරිම’ යනුවෙනි.

තෙවැන්න මෙි අසමිමත මොහොතේ දී වැඩ නොකිරීම යි. සෞභාග්‍යවත් ජීවිතයක ලක්ෂණය වැඩ කිරීමට ඇති හැකියාව යි. “මට දැන් වැඩ කරන්න බැ” යැයි කිසිවෙකු කිව හොත් එයින් ගම්‍ය වන්නේ ඔහු ‘මළා හා සමාන’ බව යි. එබැවින් නොනගතයෙහි දී වැඩ කිරිමෙන් වැළකී සිටිය යුතු ය. නොනගතය ආරමිභ වීමට පෙර ‘වැඩ නැවැත්වීම’ අවශ්‍ය වන්නේ මේ නිසා ය. අලුත් අවුරුදු උදාවත් සමඟ යළිත් ‘වැඩ ඇල්ලීම’ අවශ්‍ය වෙි.

නොනගතයෙහි දී වැඩ කළ නොහැකි නිසා ඒ කාලය ගත කරන්නේ කෙසේ ද? ‘වැඩක්’ නොවන දෙයක් කිරීමෙනි. ‘වැඩක් නොවන දේ’ කුමක් ද? සෙල්ලම් කිරීම යි. නොනගතයෙහි දී පවුලේ හැම දෙනාත් ග‍ෙම් හැම දෙනාත් එක් වී සෙල්ලමි කරන්නේ එහෙයිනි. ලෝකයේ වෙනත් අවුරුදු උත්සවවල දී සෙල්ලම් කිරීම අනාවාර්ය අංගයක් නොවෙයි. එහෙත් අපේ අවුරුද්දෙදි නොයෙක් ජන ක්‍ර්‍රීඩාවල යෙදීම අනිවාර්යයෙන් ම සිදු විය යුත්තකි.

නොනගතය අවදානම් සහිත කාලයක් සේ සැලකෙන්නේ ඒ කාලය තුළ දී සූර්යයා ද පරණ අවුරුද්දටත් නැති අලුත් අවුරුද්දටත් නැති ව සංක්‍රාන්තියක යෙදෙන නිසා ය.එබැවින් මේ අවදානමි කාලය තුළ දී තමාගේ ආරක්ෂාව තමා ම සලසා ගත යුතු වෙයි. සිංහලයෙකුට ඇති හොඳ ම ආරක්ෂා ස්ථානය පන්සල යි. එබැවින් නොනගතයෙහි දී පන්සල් යෑම ද අනාවාර්ය අංගයක් වෙයි.

බෞද්ධයෙකුට කවර ම මොහොතක වුවත් පන්සල් ගොස් පින් දහම් කළ හැකි ය. ඒ අනුව අවුරුද්දේ හැම මොහොතක් ම ‘පුණ්‍ය කාලයක්’ වෙයි. එහෙත් සිංහල බෞද්ධයා ‘පුණ්‍ය කාලය’ යනුවෙන් වෙසෙසා හඳුන්වන්නේ නොනගත කාලය තුළ දී පන්සල් ගොස් පින් කිරීමෙි කාලය යි. එසේ කරන්නේ පින් ලබා ගැනී‍ෙම් අරමුණින් පමණක් නොවේ. තමාට පුණ්‍ය භූමියක ආරක්ෂාව ද සලසා ගන්නා අටියෙනි.

සතරවැන්න මුළු මහත් සිංහල බෞද්ධ සමාජය ම එකාවන් ව ක්‍රියා කිරීම යි. වෙනත් අවුරුදු උත්සවවල දී ඒ ඒ සිරිත් විරිත් ඉටු කෙරෙන්නේ පෞද්ගලික වශයෙනි. එහෙත් බක් මහ උලෙළහි දී හැම සිරිතක් ම ඉටු කරන්නේ එක ම මොහොතක දී ය. ඒ මොහොත තීරණය කෙරෙන්නේ ජ්‍යෝතිෂය අනුව ය. අලුත් අවුරුද්දට ළිප ගිනි මෙළවීම ද ආහාර අනුභව කිරීම ද වැඩ ඇල්ලීම ද මෙසේ නැකත් අනුව සාමූහිකව සිදු කෙරෙන චාරිත්‍ර වෙයි.

පස්වැන්න පරිසරය සමඟ පවත්වා ගන්නා සමිබන්ධතාව යි. අලුත් අවුරුද්දට නව සඳ බලීම මේ සමිබන්ධය ඉස්මතු කරන සිරිතකි. නව සඳ බලන විට හකුරු වැනි පැණි රස කෑමක් කෑම ද සිරිතකි. නව සඳ යනු දවසින් දවස වැඩෙන්නක් නිසා එවැන්නක් බැලීමෙන් අපේ ජීවිතය ද උදා වුණු අවුරුද්දෙහි දී සෞභාග්‍යයෙන් වැඩෙනු ඇතැයි විශ්වාස කෙරේ.

බක් මහේ නව සඳ බැලීම අද එතරම් වැදගත් කොට නොසැලකුණත් අතීතයෙහි එය ඉතා වටිනා සිරිතක් ව පැවති බව සීගිරි කැටපත් පවුරෙහි එන එක් ගීයකින් සනාථ වෙයි. එක් කවියෙක් එහි සිටින අඟනුන්ට මෙසේ කියයි.

“අගනිනි අත් සලවි මෙ ගී පොහොන්නෙක් නැති ද

නවබග්ළසන්ද් දුටි මිනිසක්හු නො වජන්නෙයි” (64 ගීය)

මෙයින් කියවෙන්නේ කුමක් ද?

“අඟනනි අත් සලවි. මෙි ගීය අගය කරන්නෙකු නැති වුවත් මම බක් මහේ නව සඳ දුටු මිනිසෙක් වෙමි. එබැවින් මා නොතකා හැරිය යුතු නැත”

හයවැන්න කය පිරිසිදු කොට ගැනීම අරමුණු කොට ගත් සිරිත් ය. සුබ නැකතට හිස තෙල් ගෑම මෙි සිරිත් අතර මුල් තැන් ගනී. ඖෂධ මිශ්‍ර තෙල් හිසේ ගෑමෙන් හිසේ ඇති රෝග නිවාරණය යනු ඇත. හිස තෙල් ගෑමෙන් පසු ස්නානය කිරීමෙන් මුළු සිරුර ම පිරිසිදු වෙයි. අලුත් අවුරුද්දෙහි පළමුවරට ළිඳ අලෙවි කරන විට ළිඳට දමන වස්තූන් අතුරෙහි තඹ කාසියක් ද වෙි.

මිනිස් සිරුරට තඹ අවශ්‍ය බව වෛද්‍යවරු කියති. එහෙත් අප තඹ ලබා ගන්නේ කෙසේ ද? තඹ කාසියක් ළිඳට දැමීමෙනි. එය අවුරුද්දක් තිස්සේ ළිං වතුරෙහි දිය වෙයි. දිනපතා ළිං වතුර බොන විට අපට අවශ්‍ය තඹ අප නොදැනුවත්ව ම මෙන් අපේ සිරුරට ඇතුළු වෙයි. නීරෝගී ශරීරය නීරෝගී මනසකට හොඳ නිවහනක් වෙයි.

හත්වැන්න පවුල් සංස්ථාව තහවුරු කොට ගැනීම යි. බක් මහ අවුරුද්දට පවුලේ හැම දෙනාම මහ ගෙදරට එක් වෙති. ඒ හේතුවෙන් දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධකම අලුත් වෙයි. සහෝදරයන් හා සහෝදරියන් අතර සම්බන්ධය අලුත් වෙයි. සහෝදර සහෝදරියන්ගේ දරුවන් අතර සම්බන්ධය අලුත් වෙයි. පවුලේ එකිනෙකා අතර පවත්නා සුළු සුළු කෝන්තර අමතක කිරීමට මේ හමුවීම අනුබල දෙයි.

අටවැන්න පවුලත් පන්සලත් අතර පවත්නා සම්බන්ධය අලුත්වැඩියා කර ගැනීම යි. පුණ්‍ය කාලයට පවුලේ සියලු දෙනා ම එක් වී පන්සල් යෑම නිසා පන්සලත් ගමත් අතර සම්බන්ධය තහවුරු වෙයි. පන්සලේ වැඩ සිටින හාමුදුරුවරුන් දැන හඳුනා ගැනීමට අවස්ථාවක් ගිහියන්ට ද පවුලක සාමාජිකයන් දැන හඳුනා ගැනීමට අවස්ථාවක් පන්සලේ හාමුදුරුවරුන්ට ද සැලසේ.

වෙනත් රටවල අලුත් අවුරුදුවල දී මිනිස්සු කා බී නටා ගයා විනෝද වෙති. මෙරට නාගරික සිංහලයෝ ද දෙසැමිබර් 31 වෙනි දින මැදියම් රැයේ සිට හෝටල්වල කමින් බොමින් නටමින් ගයමින් විනෝද වෙති. අලුත් අවුරුද්දේ හිරු උදා වන විට ඔවුන් වැඩි දෙනෙකු සිටින්නේ බී මතින් හා නිඳි මතින් ය. එහෙත් සිංහල බෞද්ධයන්ට බක් මහේ දී අලුත් අවුරුදු උදා වන විට මුළු මහත් සිංහල බෞද්ධ සමාජය ම අවදියෙන් හිරු දෙවියන් පුදමින් සිටීම කොතරමි අපූරුවක් ද?

Comments