විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයකු වූ ගුණසිංහ පෙරේරා පදිංචිව සිටින නිවෙසේ සිට මීටර 300 ක පමණ දුරින් ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයක් පිහිටා තිබේ. එහි කුඩා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දෙසීයක් තුන්සීයක් පමණ ඉගෙනුම ලබති. මේ පාසලේ ගරු විදුහල්පතිතුමිය උදෑසන රැස්වීම පවත්වන්නේ ගම දෙදරන්නට ලවුඩ්ස්පීකර් දමාගෙනය.
' අනේ අම්මපා ඔක්කොමත් හරි ප්‍රින්සිපල් නෝනගේ කට තමා කට ... මේ පොඩි එවුන් සීයක් දෙසීයක් ඉන්න තැනක කන් අඩි පැළෙන්න ලවුඩ්ස්පීකර් ගහනවා මදිවට උන්දෑ අර පොඩි එවුන්ට දාන සත්තම මහ පාරේ යන බස්වලටත් ඇහෙනවා. අනේ ද කියන්නේ මරු ආදර්ශයක් නෙ දෙන්නේ ' යි උදෑසන කාලයේ ගුණසිංහ එළිමහනේ සිටිනු දුටුවොත් ඔහු හමුවට එන අසල්වැසි නිවෙසේ සුදසිංහ පුරුද්දට මෙන් කියයි. පාසලේ ලවුඩ්ස්පීකරය මෙන් ම සුදසිංහගේ චෝදනාත්මක අඳෝනාව යන දෙකම දැන් තමාට කන් කරච්චලයක් වී තිබෙන බව දන්නේ ගුණසිංහ පමණි.
' ඔන්න හෙට ඉඳන් ටික දවසක් යනකං කනක් ඇහිලා හිටියෑකි ... ඉස්කෝලේ නිවාඩු දෙනවනේ අලුත් අවුරුද්දට .. ' යි පසුගිය බදාදා ගුණසිංහ හමුවට ආ සුදසිංහ කීවේ සතුටු මුහුණක් මවාගෙන ය. පාසලේ ලවුඩ්ස්පීකරයට එරෙහිව දිගින් දිගටම ඔහු විසින් නගන ලද මැසිවිලි පිළිබඳව ගුණසිංහ එතරම් තැකීමක් නොකළ මුත් පාසල් නිවාඩුව සුදසිංහට කෙතරම් සතුට දනවන පුවතක් වී තිබේ ද යන්න දැකීමෙන් ගුණසිංහට ද සිනහ පහළ විය.
පසුගිය බ්‍රහස්පතින්දා උදේ පාන්දරින් ම සුපුරුදු ලෙස ම පාසලේ ලවුඩ්ස්පීකරය වෙනදාටත් වඩා සද්දෙන් මොර දෙන්නට ගත් අතර තම කාමරයේ ජනේලයෙන් හිස එළියට දමා ඒ අතට මේ අතට හිස කැරකැවූ ගුණසිංහ; එළිමහනේ කොතැනකවත් සුදසිංහ පෙනෙන්නට සිටීදැයි විපරම් කෙළේ ය. ඒ සමඟ ම ලවුඩ්ස්පීකරයෙන් නිවේදනය කෙරුණේ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පාසලේ විවිධ ප්‍රසංගයක් පැවැත්වෙන බවයි. ' එහෙනං ඉතිං අද දවසම සද්දෙ තමා ' යි තමාටම කියා ගත් ගුණසිංහ ඇදි පුටුවේ සිටම දෙනෙත් පියා ගත්තේ ය. නින්දත් නොනිදත් අතර තමා කොපමණ වේලාවක් හාන්සි වී සිටියේ දැයි නිනව්වක් නැතිව සිටි ගුණසිංහට දැන් ලවුඩ්ස්පීකරය ඔස්සේ ඇසෙන්නේ ළමා නාට්‍යයක ජවනිකාවකි.
' ... නැකැත් හොඳ නෑ .. නැකත් හොඳ නෑ මේ අලුත් අවුරුද්දේ ඔය නැකතට ගිනි මෙෙළව්වොත් රටම ගිනි ගනි .. '
' ඒ කතාව බොරු .. ඒ කතාව බොරු මේ නැකැත් හොඳටම හොඳයි .. තමුන්නාන්සේ බොරු කියලා රට ගිනි තියන්න හදන එක තමා මෙතන තියෙන ප්‍රශ්නේ .. '
' බොරු කියන්නේ මම නෙවෙයි .. තමුන්නැහැලා තමා මේ අවුරුද්දේ නපුරු නැකැත් හදලා රටම මුළා කරන්න හදන්නේ .. '
' හුහ් .. තමුන්නැහැ එහෙනං දැන ගන්නවා හොඳයි .. මගේ අත්තා මුත්තා පනත්තා කිරි කිත්තා .. ඔය සේරම රජ කාලේ ඉඳන්ම නැකැත් හැදුව පරම්පරාවක් ... කාට වැරදුණත් අපිට වරදින්නේ නෑ ... '
' අනේ ඕවා නිකං බොරු පම්පෝරී .. තමුන්නැහැලා ඔහොම නැකැත් හදලා දුන්නා නං ඉතිං අද මේ රට සුරපුරයක් වගේ දියුණු වෙලා තියෙන්න එපැයි '
මේ ළමා නාට්‍යයට ඉබේටම මෙන් සවන් දෙමින් සිටි ගුණසිංහට නැවත වරක් සිනහ පහළ වූයේ කුඩා ළමයින් කෙතරම් අපූරුවට වැඩිහිටියන් අනුකරණය කරමින් රඟපාන්නේ දැයි කල්පනා වීම නිසාය. ඒ අතරතුර ලවුඩ්ස්පීකරය ඔස්සේ මෙතෙක් නෑසුණු තුන්වැනි හඬක් ඉස්මතුව ආවේය.
' මේ ඔය දෙන්න ම නවත්ත ගන්න ඔය බොරු වාදේ .. තමුන්නැහැලා ඔහොම දෙකට තුනට බෙදිලා අරෝ ඔරෝ ගාන්න තියාගත්තම රටේ මිනිස්සුන්ට මේ අලුත් අවුරුද්දේ සතුට නැතිවෙලා යනවා නේද .. නැකැත් චාරිත්තර ගැන තියෙන විශ්වාසේ අලුදු පලුදු වෙලා යනවා නේද .. මුළු රටක්ම එකට එකතු වෙලා එක හිතින් එකම වෙලාවකට සතුටු වෙන එක තරම් තවත් සුබ නැකැතක් තියෙනවද ... හිතේ සතුටයි විශ්වාසයයි තමා හොඳම නැකත ... එහෙම නැතුව මේ නැකැත් නිසා රට ගිනි ගන්නවයි කියලා තමුන්නැහැලා කෑ කෝ ගහන්න තියාගත්තම මේවට වඳුරොත් හිනාවෙනව නේ ... '
' ... තමුන්නැහැට කවුද බුලත් දුන්නේ අපේ කතාවට මැදිහත් වෙන්න .. '
' ආ මං තමා අලුත් අවුරුදු කුමාරයා ... ඔය කවුරු නැකැත් හැදුවත් මං ආවොත් තමා ඔය කාට කාටත් අලුත් අවුරුද්ද උදා වෙන්නෙ .. '
' මේං බලාපල්ලකෝ ... මේං මෙයා අලුත් අවුරුදු කුමාරයා ලූ ... කොහේ ඉඳන් ද මෙහෙට වැඩම කළේ ... පයින් ම ද ආවේ ඈ .. '
ඇඳි පුටුවේ දිගා වී ලවුඩ්ස්පීකරය ඔස්සේ පාසලේ ළමා නාට්‍යයට උනන්දුවෙන් සවන් දෙමින් සිටියදී ගුණසිංහගේ ජංගම දුරකතනය බෙරිහන් දෙන්නට ගත්තේ ය. ඒ ඇමතුම අසල්වැසි නිවෙසේ සුදසිංහ ගෙනි.
' කොහෙද ඉන්නේ ? ' යි සුදසිංහ කලබලයෙන් මෙන් අසයි.
' මං ඉතිං ගෙදර තමා ඉන්නේ ' ගුණසිංහ නොරිස්සුම් ස්වරයෙන් උත්තර දුන්නේ ය.
' ඇහෙනවා නේ ද උදේ පාන්දරම සද්දේ .. '
'ඔව් වොව් මාත් මේ අහගෙන ඉන්නේ .. ' යි ගුණසිංහ ඉක්මන් හඬින් උත්තර දුන්නේ වැඩිදුරටත් කතා කිරීමට නොකමැත්ත හඟවමිනි.
' පේනවා නේද පොඩි එවුන් ලව්වා වැඩිහිටියන්ට උපහාස කරන හැටි .. ' යි කියමින් සුදසිංහ සුපුරුදු අඳෝනාව නගන්නට සූදානම්වනු හැඟී යෑමත් සමඟ ම ගුණසිංහට ඉවසුම් නැතිව ගියේය.
' මොන උපහාසයක් ද ... වැඩිහිටියො .. වැඩිහිටියෝ විදිහට හැසිරෙන්න දන්නැත්තං ඉතිං පොඩි එවුංගෙන් හරි පාඩමක් ඉගෙන ගන්න එක හොඳයි ' යි කී ගුණසිංහ දුරකතනය විසන්ධි කෙළේය.
සුදසිංහගේ දුරකතන ඇමතුම නිසා පාසල් ළමා නාට්‍යයේ හොඳම හරිය අසා ගන්නට නො ලැබීම පිළිබඳව නොරිස්සුමක් මතු වී තිබුණ ද සුදසිංහ අමතා කාලයක් තිස්සේ කියා ගන්නට නොහැකිව සිටි දේ අලුත් අවුරුද්දට පෙර කියා දැමීමට අවස්ථාවක් ලැබීම ගැන ගුණසිංහ සතුටට පත්ව සිටියේ ය.