අහෝ කොහෝ! | Page 4 | සිළුමිණ

අහෝ කොහෝ!

 ලොව කැරැකෙයි. දිගට ම කැරැකෙයි. තෙමේ තමා වටා ම කැරැකෙයි. යළි හිරු වටා ද කැරැකෙයි. නො කැරැකුණ හොත් ලොව නො පවතී. නොපවතින ලොවෙක අපට පැවැතිය හැකි ද? නැත. එහි අපට දු පැවැත්මක් නැත. එහෙයින් අපි මේ කැරැකීම, අපට පැවැත්ම සලසාලන කැරැකීම සමරමු; ලොව හිරු වට‍ා වරක් ගිය කල්හි සමරමු: අවුරුදු යැයි නමකුදු එයට කියමු. පෙර මෙය අලුත් අවුරුද්ද නොහොත් සිංහල අවුරුද්ද වුව ද සංහිඳියාවට දු ඉඩක් දිය යුතුයෙන් දැන් මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද යි. සංහිඳියාව වඩාත් තර කැරගනු වස් අවුරුදු කෑම පිණිස (අර ලංසි කොකිස ඉවත් කොට හෝ) ව‍ෙඩ් වැන්නකුදු එක් කැරගැන්ම වඩා මැනවි.

කාට කෙසේ වතුදු අපේ මාධ්‍යකාර පින්වතුනට ‍නම් සිංහල වේවා, දෙමළ වේවා අවුරුද්දක් නැත. ඔවුනට ඇත්තේ සූර්ය මංගල්‍යය යි.

හිරු ගමන නිසා ම අවුරුද්ද ඇති වනුයෙන් මේ නම ද නොහොබනේ ම නොවේ. මෙ මඟුල් සක්වළෙහි සියල්ල මඟුල් කොට ගන්නා මාධ්‍ය පින්වතුන් මෙ ද මඟුලක් කොටගැන්ම පුදුමයක් නො වේ මැ යි. සැබැවින් කිව හොත් අද අවුරුද්ද පවත්නේ ද මාධ්‍යයෙහි ම ය. මාධ්‍ය නැතහොත් අවුරුද්දකුදු නැත.

පෙ‍ර කල්හි අවුරුදු එන බව මතක් කොට දුන්නේ කොහා හෙවත් කොවුලා යි. කොහා ගේ හඬින් අවුරුදු ළඟට එන වග අපි දැන ගතුමු. දැන් නම් කොහාට ද අවුරුද්ද අමතක වැ ගිය සැටියෙකි.

අපේ පැරැණි වමේ සහෝදරවරුන් ඉඳහිට හීන් හඬක් නඟන්නා සේ කොහා ද සිතුණු විටෙක මඳක් කෑ ගසන බව සැබැවි. එහෙත් නියම ලෙසින් ම අපට අවුරුද්ද මතක් කර දෙන්නේ නම් මාධ්‍යයෝ ම ය. අනෙකක් කිම? අවුරුදු නැකැත් ටික වත් අප දැනැගන්නේ මේ මාධ්‍යයෙන් ම ය. එරබදු පිපෙන්නේ ද කොවුලන් හඬන්නේ ද රෙදි හැට්ට ඇඳගත් යුවතීන් රබන් ගසන්නේ ද ඔංචිලි පදින්නේ ද පංච දමන්නේ ද මාධ්‍යයෙහි ම ය; පැහැදිලි වැ කිවහොත් විද්යුත් මාධ්‍යයෙහි ම ය. අවුරුදු කන්නට මෙ තරම් ම උදවු කරන මාධ්‍ය අවුරුද්දෙහි නම මඳක් වෙනස් කරගත්තාට කවර වරදක් ද?

අවුරුද්ද ගැන මතක් කැරදීමේ ගෞරවය මාධ්‍යයට මතු ම හිමි කැර දිය හැක්කේ ද නො වේ. තව ද පිරිස් එ ගෞරවයට හිමි කම් කියත් ම ය. ගෙදර යන ගමන් ගන්නට කොරටුවෙන් ම නැවුම් එළවළු පලතුරු ගෙනැවිත් දෙන සමස්ත පාරිභෝගිකයන් කෙරෙහි අනුකම්පා පරවශ චිත්තයෙන් දින පතා අඩුම මිලටත් වඩා අඩුවෙන් බඩු දෙන සුපිරි වෙළෙඳ සල් ද යටත් පිරිසෙයින් මසකට වත් පමණ පෙර සිට අපට අවුරුද්ද මතක් කැර දෙයි. රෙදි හැට්ට ඇඳි වෙළෙඳ සහකරු ලියෝ එති.

ඉදිරියේ පොල් අතු පැලක් ද ඉදි වේ. අවුරුද්ද ළං වත් වත්ම කැවුම් කොකිසුදු හැදේ. අවුරුද්ද පුරා කිරි උතුරන්නට එ මඳ ද? මේ උදාර මෙහෙවර සඳහා සුපිරි වෙළෙඳ සල්වලට ද අපි ණය ගැති වෙමු.

අවුරුද්ද මතක් කැර දෙන තවද පින්වත් පිරිසක් වෙති‍‍. ඒ නම් පිරී ඉතිරි යන්නට තරම් අවුරුදු වාසි සලසාලන බැංකුවල පින්වත් පිරිස සමඟ අවුරුදු වාසි පොදි පිටින් ගෙනැවිත් දෙන සීමාවක් නැති සුපිරි රෙදි කඩ ආදියෙහි පින්වත්තු ය. මෙසේ අවුරුදු වාසි සලසා ලීමෙන් තමන් ගේ ව්‍යාපාරවලට සිදු වන මහත් පාඩුව ද නො සලකා මොවුන් මෙසේ දුක් ගන්නේ අවුරුද්ද පුරා අපට වාසනාව උදා කැරදීමේ පරම අභිලාෂයෙනි.

ඔවුනට පින් සිදු වන්නට අපි ද අවුරුදු කමු.

හිතමිතුරා 

Comments