
දුව ලැබූ පසුව මංගල උත්සවය හෙළි වෙලා
අමන්දා සෙෆයර්ඩ් සහ තෝමස් සැඩොස්කි, හොලිවුඩ්පුරය බබළවන නළු නිළි යුවළක්. මේ සුපිරි තරු යුවළ මුලින්ම මුණ ගැසුණේ එක්තරා ප්රසංගයකදියි. ඒ, මීට වසර කිහිපයකට පෙර. ඉන් පසුව වරින් වර මුණ ගැසුණු ඔවුන් දෙදෙනාගේ පෙම් කතාව දලු දමා වැඩුණා. පසු කාලයකදී රූගත වූ ‘ද ලාස්ට් වර්ඩ්’ නම්වූ චිත්‍රපටයේ රඟපාද්දී දෙදෙනාගේ පෙම්දම තව තවත් සවිමත් වුණා.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී තෝමස් සහ අමන්දා විවාහ ගිවිස ගත්තා. ඒ බව තහවුරු කෙරෙන ඡායාරූප කිහිපයක් ද අන්තර්ජාලයට මුසු වී තිබුණා. පසුගියදා හොලිවුඩ් මාධ්‍ය වාර්තා කළේ තෝමස් - අමන්දා යුවළ මවුපිය පදවි ලබා ඇති බවයි. ඔවුන් දෙදෙනාට ඒ උතුම් පදවි ලබා දෙමින් මෙලොවට බිහිවුණේ දියණියක්. මේ ආරංචිය ලොවට හෙළි කළේ තෝමස් සැඩොස්කියි.
මවු පදවිය ලැබීමේ සතුට ගැන ඔස්ට්‍රේලියාවේ ‘වෝග්’ සඟරාව විමසූ විට අමන්දා කියා සිටියේ මෙවැන්නක්... “මගේ ජීවිතයේ මම කවදාවත්ම මේ වගේ සතුටක්, සංවේදී හැඟීමක් ලැබුවේ නැහැ.” තෝමස් - අමන්දා විවාහ ගිවිස ගත් පසුව කාටත් රහසේ විවාහ මංගල උත්සවය පැවැත්වූ බවත් පැවසෙනවා.
පුංචි බොරුවක් ගිය දුරක්
නිකොලි කිඩ්මාන් සහ රිසී විදර්ස්පූන් දැන් පසුවන්නේ අතිශය ජනප්‍රිය තලයක. මෑතකදී මේ දෙදෙනා ටෙලි නාට්‍ය මාලාවක් නිෂ්පාදනය කළා. එය නම් කෙරුණේ ‘බිග් ලිට්ල් ලයිස්’ යනුවෙන්. ඔස්ට්‍රේලියානු ජාතිකයකු වන ලියැන් මොරියැටි විසින් ලියන ලද කතා මාලාවක් අනුව නිර්මාණය වන මේ ටෙලි නාටක මාලාව දැන් ඉතාම ජනප්‍රියයි.
මෙවැනි සාර්ථකත්වයක් මත ඉදිරියට ඇදුණු ‘බිග් ලිට්ල් ලයිස්’ අසාර්ථක කරන්නටදෝ කවුරුන් හෝ විසින් ඊට එරෙහිව ‘ලොකු - කුඩා බොරු’ රැසක්ම පතුරුවා තිබෙනවා. ඒ එක මුසාවකට අනුව නිකොලි සහ රිසී දැඩි ලෙස අමනාප වී ‘බිග් ලිට්ල් ලයිස්’ ඉදිරි කටයුතු නතර වෙලාලු. මේ ආරංචිය දැනගත් හැටියේම ඊට ප්‍රතිචාර දැක්වූ නිකොලි පැවසුවේ එවැනි අමනාපයක් සිදුවී නැති බවයි.
“ඒ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන්නෙ අපි දෙන්නාමයි. අපි අතරෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා. තිර රචක ලියැන්ගේ සහයෝගයත් හොඳින්ම ලැබෙනවා. ඇත්තටම මේ ටෙලි නාට්‍යය කාන්තාවන් අතර ජනප්‍රියයි.” නිකොලි පැවසුවා.
කෙසේ වෙතත් වෙනත් ආරංචි මාර්ග පවසන්නේ නිකොලි, තමන් රඟපෑ ‘ලයන්’ නම්වූ චිත්‍රපටයට ප්‍රමුඛත්වය දීම නිසා ‘බිග් ලිට්ල් ලයිස්’ වෙත දක්වන අවධානය අඩුවීම රිසීගේ කනස්සල්ලට හේතු වී ඇති බවයි.
දඬුවම් දුන්නත් සිත නොසන්සුන්
2011 දී සිදුවූ අප්‍රසන්න සිද්ධියක් නිසා තවමත් එයින් පීඩා විඳිමින් සිටින සුරූපී නිළියක් තමයි, ස්කැලට් ජොහැන්සන්. එදා ඇගේ පෞද්ගලික ඡායාරූප කිහිපයක්ම කිසිවකු විසින් අන්තර්ජාලයට මුදාහරිනු ලැබ තිබුණා. එම ඡායාරූපවල නොඅඩුව මතුවී තිබුණේ ස්කාලට්ගේ නිරුවතයි. මෙයින් දැඩි කම්පනයට පත්වූ මේ සුපිරි නිළිය, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන්ට යොමු වුණා. එහි ප්‍රතිඵලය වූයේ එදා ඇගේ පෞද්ගලිකත්වය විනාශ කළ පුද්ගලයාට වසර 10ක සිර දඬුවමක් නියම වීමයි. සිරගත වූ ඔහුගේ නම ක්‍රිස්ටෝපර් චැනේ.
2016 වසරේ සාර්ථකත්වයට පත්වූ හොලිවුඩ් නිළි පරපුරට ස්කාලට්ගේ නමත් එකතු වී තිබුණා. එම සතුට විඳ ගනිමින් ඇය පැවසුවේ කාන්තාවකගේ පෞද්ගලිකත්වය විනාශ කිරීම ඉහිලුම් නොදෙන කාරණයක් බවයි. “මගේ ඊමේල් එකයි ෆෝන් එකයි හැක් කරලා තමයි ඒ පින්තූර අරගෙන තිබුණේ. ඒක හරිම අප්‍රසන්න සිදුවීමක්. ඒක එක්තරා විදිහක ආක්‍රමණයක්.” දැනට 32 වැනි වියෙහි පසුවන ස්කාලට් එලෙස පැවසුවා.
මංකොල්ලය මැද වෙඩි වරුසාවක්
ජනප්‍රිය රැප් ගායකයකු වන ෆෙටි වැප් පසුගියදා මංකොල්ලකරුවන් තිදෙනකුට හසුවී තිබෙනවා. ඔහු පදිංචිව සිටින නිව් ජර්සි ප්‍රාන්තයේ පැටර්සන් ප්‍රදේශයේ පිහිටි නිවසේදීයි මෙය සිදුවී ඇත්තේ. දැනගන්න ලැබෙන හැටියට නම් කොල්ලකරුවන්, ෆැටිගේ මුදල් සහ රන් ආභරණ පැහැරගෙන ගොස් තිබෙනවා. මෙහිදී වෙඩි හුවමාරුවක්ද සිදුවෙලා. එයින් එක් කොල්ලකරුවකුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවත්, අනෙකාගේ උරහිසට තුවාල වී ඇති බවත් පැවසෙනවා. තුන්වැන්නාට ද වෙඩි වදින්නට ඇති බවයි පොලිස් නිලධාරීන් පවසන්නේ. ඒ අසල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොඩවැදුණු කිසියම් අයකු බරපතළ තුවාලයකට ප්‍රතිකාර ගෙන ඇතැයි ද මංකොල්ලයට එක්වූ තුන්වැන්නා ඔහු විය හැකියැයි ද පොලීසිය විශ්වාස කරනවා. වෙඩි තැබීමක් සිදුවී ඇතත්, ගායක ෆෙටීට කිසිදු අනතුරක් සිදුවී නැහැ. මේ සිද්ධිය පිළිබඳ වැඩි විස්තර තවම අනාවරණය වී නැති බවයි පොලිස් නිලධාරීන් පවසන්නේ.
මේ වසරේ මුල් භාගයේදී ෆෙටී, මාධ්‍යවල අවධානය දිනා ගත්තේ ඔහු සහ ඔහුගේ හිටපු පෙම්වතිය වූ ඇලෙක්සිස් ස්කිගේ අනඟ රැඟුම් ඇතුළත් දර්ශන කිහිපයක් අන්තර්ජාලයට මුසු වූ මොහොතේදියි.