
පොර පොල් එපා
“පුරාණේ හිටිය අපේ මුතුන්මිත්තො සිංහල අවුරුද්ද වෙනුවෙන් කරපු ජාතික ක්‍රීඩා අපේ දරුවන්ට හඳුන්වලා දෙන එක අපේ ලොකු යුතුකමක්. ඒ හින්දා පොරපොල් ගහන එක මේ සැරේ සිංහල අලුත් අවුරුදු උත්සවයේ ක්‍රීඩාවක් විදියට යෙදුවොත් හොඳයි නේද?” අවුරුදු උලෙළ සංවිධානය කිරීම නිමිතිකොට පැවැති සාකච්ඡාවේදී තිස්ස සභාව අමතා යෝජනා කළේය.
“තමුෙස මේ බණ කතා කරනවද? පොරපොල් ගහන්ඩ තියා සම්බෝලයක් හදාගන්ඩවත් පොල් ගෙඩියක් ගන්න එක මේ දවස්වල ලේසිපහසු වැඩක්ද කියල තමුසෙ දන්නවද?” සාකච්ඡාවේ මුල් පුටුවේ සිටි රවීන්ද්‍ර ඇසුවේ තම කෝපය මැඬගනිමිනි.
අවුරුදු කුමාරි මම
“ඔයාගෙ මහත්තයා ඉස්සර ඔය අලුත් අවුරුදු උත්සව වගෙ දේවල් හරියට සංවිධානය කරපු කෙනෙක් නේද? දැන් එයා ඒ වගෙ දේවල් ගැන කතා කරන තැනකවත් ඉන්නෙ නැත්තෙ මොකද?” චමරි, ඉන්දිකා සමඟ අල්ලාප සල්ලාපයක යෙදී සිටියදී ඇසුවා ය.
“එක අවුරුද්දක එයා මූලික වෙලා සංවිධානය කරපු අවුරුදු උත්සවයක, අවුරුදු කුමාරි තේරීමේ තරගයකට මමත් ඉදිරිපත් වුණා. ඒ වෙලාවේ කතාබහ කරලා යාළුවෙලා තමයි අපි දෙන්නා වෙසක් පෝය පහුවුණු ගමන් කසාද බැන්දේ. ඊට පස්සේ අවුරුදු උත්සව මතක් කරන කොටත් එයා මූණ කළුකර ගන්නවා.” ඉන්දිකා කීවා ය.
අවුරුදු නැකැත් එපා
“නැකතට කිරිබත් උයලා අනුභව කරන වෙලාවට කිරිබත්, කැවුම් කොකිස් වගෙ දේවල් අනුභව කරලා, ඊළගට ඒ කැවිලි පෙවිලි තමන්ගෙ අසල්වැසියොත් එක්ක බෙදාහදා ගන්න එක අවුරුදු චාරිත්‍රයක් නෙ. ඉතින් එහෙව් එකේ උඹ මොකද ඒ චාරිත්‍ර වලට ඔය හැටි ගරහන්නෙ?” සරත් තමා සමඟ කතාබහක යෙදී සිටින සුනිල් දෙස බලා සිනාසී ඇසී ය.
“ඕවා මතක් කරන කොටත් මෙග ඇඟේ මාළු නටනවා. පහුගිය අවුරුදු දවසෙ කැවුම් කිරිබත් උයලා, ඒවා නැකතට අනුභව කරලා, කෑම බෙදන්ඩ අල්ලපු ගෙදරට ගිය වෙලේ තමයි අපේ ගෙදර ගෑනි, අල්ලපු ගෙදර එකත් එක්ක පැනලා ගියේ.” සුනිල් කීවේ දත්මිටි කමිනි.
දැන් බය වෙන්ඩ ඕනෙ නැහැ
එඬේරමුල්ලේ දුම්රියපොළේ දී දුම්රියෙන් බැස වගුරු බිමක් මැදින් වැටුණු පාරක මද දුරක් ගොස් මුණ ගැහෙන අතුරු පාරක් ඔස්සේ ගොස් එහි කෙළවර කඳුගැටයක පිහිටි නිවස අසලට ගිය උපාලි දැක එම නිවසේ මිදුලේ සිටි කැහැටු බල්ලකු බුරා හැළෙන්නට විය. එක දිගට බුරන්නට ගත් බල්ලාගේ හඬට එම නිවසේ ඉදිරිපස දොරටුව වෙතට පැමිණි ප්‍රේමදාස හඳුනාගත් උපාලි බල්ලා දෙසට ඇඟිල්ලක් දිගු කරමින් මෙසේ ඇසී ය.
“ප්‍රේමදාස. මේ බල්ලා හපයි ද?”
“නෑ උපාලි අයියෙ ඌ හැපුවට බය වෙන්නෙ නැතුව ඔයා එන්ඩ. දැන් බල්ලෙක් කෑවට ඉස්සර වගෙ බුරිය වටේ ඉන්ජෙක්ෂන් 21ක් ගහන්නෙ නැහැනෙ. දැන් අතට ගහන්නෙ ඉන්ජෙක්ෂන් හතරක් විතරයි.” ප්‍රේමදාස කට පළල් කොට සිනාසෙමින් කීවේ ය.
ඕක මොකක්ද?
“එළවළු, පලතුරු ගෝනි උඩ ඉඳගන්න එක වෙළෙන්දන්ට තහනම් කරලා ආණ්ඩුව තද නීතියක් පනවලාලු නේද?” රූපවාහිනියේ ප්රවෘත්ති විකාශනය නරඹමින් සිටි ශාන්ති තම සැමියා දෙස බලා කීවා ය.
“ඕක මොකක්ද හාමිනේ. ඔය හුඟාක් දේශපාලනඥයෝ ඉඳගන්නෙ ම තමන්ගෙ මොළේ උඩනෙ.” චන්ද්‍රසිරි සාවඥ සිනාවක් නඟමින් කීවේ ය.
අමුතුවෙන් එකක් මොකටද?
‘රෑට කොයිතරම් සීතල වුණත් උඹ නිදාගන්ඩ යනකොට පොරවා ගන්ඩ බ්ලැන්කර්ට් එකක් පාවිච්චි කරන්නෙ නැත්තෙ මොකද?’ නාඔටුන්න සෙනෙවිගෙන් ඇසුවේ සීතල තදින් දැනී උරහිස් හකුළා ගනිමිනි.
“මට කියලා ආයෙ වෙනම ම එකක් මොකටද බං. අපෙ තුෂාරි නිදාගන්ඩ ඇඳට එන්නෙ බ්ලැන්කර්ට් එකක් ඇඟ වටේ ඔතාගෙන. නින්දට වැටිලා ටික වෙලාවක් යනකොට එයා එක පැත්තක. පෙරවා ගත්ත බ්ලැන්කර්ට් එක තව පැත්තක. මට ඔළුවේ ඉඳලා පොරවාගෙන නිදාගන්නේ තුෂාරිගෙ ඒ බ්ලැන්කර්ට් එක තමයි.” සෙනෙවි සිනාසෙමින් කීවේ ය.