
සිංහලයන්ගේ ජීවිත අලුත් කරන අලුත් අවුරුද්ද
උදාවන්නට තව ඇත්තේ දින කීපයයි. අපේ ගෘහණියන් නිවෙස් අස්පස් කර, උදාවන අලුත් අවුරුද්දට සැරසෙන්නේ මාස ගණනකට පෙර සිටයි. මේ අතර අවුරුදු කෑම මේසය කැවිලි පෙවිලි විවිධ රසවත් ආහාරවලින්
සරසන්නටත් ඔවුන් දක්වන්නෙ හරිම උනන්දුවක්. ඒ නිසාම මෙවර රසඳුනෙන් අවුරුද්දට එන ඥාතින්ට පිළිගන්වන්න රසවත් ආහාර වට්ටෝරු කිහිපයක් ගෙන එනවා.
එම ආහාර නිවෙසට එන ඥාතින්ට පිළියෙල කර සංග්‍රහ කිරීමෙන් ඔවුන්ගේ ප්‍රීතිය තවත් වැඩි වේවි.
දුන්තෙල් බත්
අවශ්‍ය ද්‍රව්‍ය
සම්බා හාල් - 500 g
ලූනු - 30 g
කරදමුංගු - 2
කරාබු නැටි - 2
රම්පෙ කැබලි දෙකක් - අඟල් 1/2
කුරුඳු පොතු - අඟල් 1/2
කරපිංචා මේස හැඳි - 1
ගම්මිරිස් ඇට - 5
(කරදමුංගු, කරාබුනැටි, කරපිංචා, රම්පෙ, ගම්මිරිස් ඇට, පිරිසුදු රෙදි කැබැල්ලක පොට්ටනියක් සේ බැදගන්න.)
කජු - 15 g
සුල්තානා - 10 g
අර්තාපල් - 10 g
කරපිංචා කොළ - ඉති 2 - 1
වතුර - 750 ml
දුන්තෙල් මේස හැඳි - 2
ලුණු රස අනුව
පිළියෙල කරන ආකාරය -
පළමුව හාල් ගරා සෝදා දිය බේරෙන්නට හරින්න. පසුව තරමක තාච්චියක් ළිප තබා එයට දුන්තෙල් දමා රත්වන විට රම්පෙ සහ ලූනු සිහින්ව ලියා දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න. දැන් සෝදාගත් හාල් ටික දමා කළවම් කරමින් තරමක් බැදෙන්නට හරින්න. ඉන්පසු වතුර, ලුණු සහ මුලින් සාදාගත් පොට්ටනිය ද හාල් බැදුනම දමා වසා තබා බෙරි නොවන ලෙස බත පිසගන්න.
ඉන් පසුව තම්බා ගත් බත් වෙනත් බඳුනක දමා කැට පොඩිකර පොට්ටනිය සහ රම්පෙ කැබැලි ඉවත් කරගන්න.
දැන් අර්තාපල් අල පොතුහැර ගිනිකූරු හැඩයට කපාගන්න. කරපිංචා කොළ සූරා ගැඹුරු තෙලේ බැදගන්න. මෙලෙසම කජු මද සහ සුල්තානා ද බැදගන්න. ඉන්පසු පිසගත් බත් බන්දේසියකට දමා අල, සුල්තානා, බැදගත් කජු උඩින් දමා බැදගත් කරපිංචා කොළ එකතු කර බන්දේසිය අලංකාර කර පිළිගන්වන්න.
මාළු මිරිස් උම්බලකඩ කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
මාළු මිරිස් - 200 g
තක්කාලි - 100 g
උම්බලකඩ මේස හැඳි - 1
රතු ලූනු - 40 g
කරපිංචා (ලියාගත්) මේස හැඳි - 1
රම්පෙ අඟල් - 1/2
කුරුඳු පොතු අඟල් - 1/2
බැදගත් උළුහාල් - තේ හැඳි 1/2
කහකුඩු - තේ හැඳි 1/2
කෑලි මිරිස් මේස හැඳි - 1/2
තෙල් මේස හැඳි - 1
මිටිකිරි අඬු කෝප්ප - 1/2
ලුණු රස අනුව
පිළියෙල කරන ආකාරය
මුලින්ම මාළුමිරිස් හතරට පළා එය නැවත දෙකට කපා ගන්න. පසුව තක්කාලි තීරු කපාගන්න. දැන් භාජනයක් ළිප තබා එයට තෙල් දමා ලුනු, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු එකතු කර එය රන්වන් පැහැයට බැද උම්බලකඩ, කෑලි මිරිස්, උළුහාල් ලුණු හා කිරි ද එකතු කරන්න.
අවසානයේ උතුරන තුරු හැඳි ගා මාළුමිරිස් හා තක්කාලි එකතු කර තරමක් හැඳි ගා ළිප නිවා භාජනය වසන්න.
කුකුළු මස් කළු ගම්මිරිස් කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
කුකුළු මස් - 250
ලූනු - 30
කරපිංචා මේස හැඳි - 1
අමුමිරිස් කරල් - 2
කුරුඳු පොතු - අඟල් 1
රම්පෙ - අඟල් 1
සුදුලුනු තේ හැඳි - 1
අමු ඉඟුරු තේ හැඳි - 1
තක්කාලි - 30
කරදමුංගු - 2
කරාබු නැටි - 2
කරි කුඩු තේ හැඳි - 2
ලුණු රස අනුව
සාදන ආකාරය
පළමුව භාජනයක් ළිප තබා තෙල් දමන්න. පසුව ලුනු, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, කරදමුංගු හා කරාබුනැටි දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න.
කුකුළුමස් හම ඉවත්කර කටු සමඟ කෑලි කපා හොඳින් සෝදාගන්න.
ලූනු, අමුමිරිස්, සුදුලූනු, අමු ඉඟුරු, තක්කාලි සහ කරපිංචා සිහින්ව කපාගන්න.
දැන් මස් පිස ගැනීමට සුදුසු භාජනයක් ගෙන ළිප තබා ඊට තෙල් ස්වල්පයක් දමන්න. තෙල් රත්වුණු පසු ලූනු, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, කරඳමුංගු හා කරාබුනැටි දමා රන්වන් පැහැ වන තුරු බැදගන්න.
දැන් මෙයටම සුදු ලූනු, අමු ඉඟුරු, කරි කුඩු, ලුණු සහ තක්කාලි දමා එයට කුකුළු මස් ටික එකතු කර වතුර ස්වල්පයක් දමා මඳ ගින්දරේ තැම්බෙන්නට හරින්න.
තරමක් උකු වූ විට ළිප නිවා කැබැලි මිරිස් සහ ගම්මිරිස් දමා හොඳින් කළවම් කරගන්න.
කිරි කජු ව්‍යාංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි කජු - 500 g
ලූනු - 50 g
අමුමිරිස් - 10 g
සුදුලූනු - 10 g
රම්පෙ කෑලි - 2 - 3
කරපිංචා ඉති - 1
තුනපහ කුඩු තේ හැඳි - 1
කහකුඩු තේ හැඳි - 1/2
ගම්මිරිස් කුඩු තේ හැඳි - 1/2
තක්කාලි ගෙඩි - 1
අබ ඇට තේ හැඳි - 1/2
පදමට ලුණු
පොල් කිරි (මිටිකිරි) අඬු කෝප්ප - 2
දියකිරි අඬු කෝප්ප - 2
සාදන ආකාරය
මැටි ඇතිළියක් ගෙන එයට කජු දමා හොඳින් සෝදා පැය 1/2ක් පමණ තබන්න.
ලූනු, අමුමිරිස්, සුදුලූනු, සහ තක්කාලි ගෙඩිත් සිහින්ව කපාගන්න.
දැන් කජු ඇතිළියට එලෙස කපාගත් ලුනු, අමුමිරිස් සහ තක්කාලි දමා තුනපහ වර්ග, රම්පෙ, කරපිංචා, ගම්මිරිස්, අබ දමා එයට දියකිරි එකතු කර ළිප තබා පිසගන්න.
කජු හොඳින් තැම්බුණාට පසුව මිටිකිරි එකතු කර හැඳිගාමින් පිසගෙන පදමට ලුණු දමා ළිපෙන් බා ගන්න.