
ගිගුරුම් නඟන අහසේ සක්මන් කරනා
වැහි ලිහිණියේ අදවත් මට වැහි ඕනා
සැළමුතු කඳුළු නෙතු අග පිණි
මෙන් දකිනා
නුඹ දන්නවා මම මේ කටු අග පිපුනා
සඳ සක්මනේ යහමින් යහමින්
සිසිලස යදිනා
විස තුඩු දැවෙනා රොන්සුනු
සුව සොයනා
රෑ තුන් යාමේ දිය වූ නෙත් විල කලතා
උල ලේණියේ නොගයන් ගී හිත රිදෙනා
ඉර අවරකත් ඉර ගිරවුන් ඇත රුවිනා
සඳ අවරකත් සඳ සාවුන් ඇත රඟනා
ඉරු සඳු නිවී පරවූ තරු කැට බෝමා
පෙම් සඳ බොහෝ කොතැනද
නුඹ නෑ තවමා
ගායනය - නිලක්ෂි ගුණතිලක
සමන් ලෙනින්
සංගීතය - අමිත් ලියනගේ
පද රචනය - බණ්ඩාර බෙලිකැටිමුල්ල
විවිධාකාර වූ සංගීත ක්‍රම වර්තමානය වන විට ශ්‍රී ලාංකේය ජන සමාජයේ විවිධ ස්ථිර ස්පර්ශ කළත් ජන සංගීතය ඇසුරෙන් කෙරෙන නිර්මාණ තවමත් ඔවුන්ගේ සිත් ඇද බැඳ තබාගන්නට සමත්වීම සැබැවින් ම පුදුම සහගතයි.
මීට බොහෝ දුරට හේතු විය හැක්කේ ජන කලාවන් හි රස පහස තවමත් ඔවුන්ගේ ඇට, මස්, නහර සමඟ ඒකාත්මිකව පැවතීම විය යුතුයි.
ජන කවි හා ජන සංගීතය ඇසුරෙන් නිර්මිත නමුත් සයිබර් අවකාශය තුළ ප්‍රචාරය වී ඉතා කෙටි කාලයක් තුළ ඉහළ රසකාමීත්වයක් දිනා ගත් අපූර්වතම ගීතයක් පිළිබඳ හඳුන්වා දීමට ඉහත දක්වා ඇති පූර්විකාව මනා ප්‍රවේශයක් වනවා පමණක් නොව නැවතත් මින් ඉදිරියටත් තව තවත් එවන් නිර්මාණ බිහි කර වීමට ශක්තියක් බව ද විශේෂයෙන් පැවසිය යුතුයි.
නිලක්ෂි ගුණතිලක හා සමන් ලෙනින් ගයන බණ්ඩාර බෙලිකැටිමුල්ල විසින් රචනා කරන ලද මේ ගීතයේ සංගීතය අමිත් ලියනගේ ගෙනි.
සිංහලයාගේ හදවත ගැහෙන රිද්මය මනා ලෙස කැටිකර ගනිමින් සිව් පද ආරකින් බණ්ඩාර බෙලිකැටිමුල්ල අතින් ලියැවුණු පද මාලාව ඊටම උචිත රසවත් තනුවකට අනුගත කරන්නට හැකි හොඳම පියවර අමිත් ලියනගේ විසින් අනුගමනය කර තිබේ.
මෙහි ගේය පද රචකයා තම ගී පද අතර සිර කර ඇත්තේ විවාහයක් පතා සුසුම්ලන ගැමි යුවතියකගේ සිතුම් පැතුම් ය. තවද ඒ තුළ අන්තර්ගත යෙදුම් හරහා විවාහ අපේක්ෂිත යෞවනියගේ සිත මැනෙවින් අර්ථ නිරූපණය වන අතර මෙහි පළමු පැදි පෙළේ ගිගුරුම් නඟන අහස ලෙස සංකේතවත් වන්නේ නිසි කලට විවාහ වීමට නොහැකිව දුකට, කනගාටුවට මෙන් ම පසු තැවිල්ලට පත් තරුණියකගේ අඳුරු වූ සිතයි.
මෙම ගීතයේ අර්ථ රසය සංගීතය හරහා යළි යළිත් ධ්වනිතාර්ථ නැංවීමට අමිත් ලියනගේ සංගීතවේදියා ගෙන ඇති උත්සාහය ඉතාමත් සිත් ගන්නා සුලුයි.
තවද මෙම ගීතයේ ආරම්භය සිදුවන්නේ අඳුරත් සමඟ අසන්නට ලැබෙන පළගැටි නාදයකිනි. ගීතය සඳහා මුල් වූ තරුණියගේ හුදකලා අඳුරු සිතුවිලි මසු ජීවිතය සමඟ මේ ප්‍රවේශය ඉතා හොඳින් සුසංයෝගවේ. ඉන් පසුව යෙදෙන ආලප් භාවිතයෙන් ගීතයේ රසවත් භාවය තව තවත් ඉස්මතු කෙරෙන අතර ඊට හඬ මුසු කරන්නේ ජන සංගීතයේ ස්වර්ණමය සංකේතයක් බඳු ‘සමන් ලෙනින්’ විසිනි.
එසේම ජන ගීයට ආවේණික ස්වර පරාසයක් හිමි නව පරපුරේ ගායිකාවක් වූ නිලක්ෂි ගුණතිලක මේ සඳහා තම හඬින් දායකත්වය ලබා දෙනු ලැබේ. ඇගේ සුමියුරු හඬින් ගීතයේ අර්ථ රසය ආලෝකමත් කරවීමට අමිත් ලියනගේ සංගීත වේදියාගේ සංගීතය සමත් වී ඇති ආකාරය ඉතාමත් අපූරුයි.
කෙසේ වෙතත් මෙවැනි නිර්මාණ හරහා ශ්‍රී ලාංකේය අනන්‍යතාව රැකගනිමින් ඉදිරියටත් සුභාවිත ගී කෙත අස්වැද්දීමට අවශ්‍ය ශක්තියත් යහපත් වූ නිර්මාණාත්මක කුසලතාවත් ලැබේවා යැයි ජන සංගීතයට ළබැඳි ශ්‍රී ලාංකිකයන්ගේ එකම පැතුමයි.