කෙසෙල් කැන්ව­ලට දුම් ගහන රාජ­කා­රිය අපට පැව­රුණා | සිළුමිණ

කෙසෙල් කැන්ව­ලට දුම් ගහන රාජ­කා­රිය අපට පැව­රුණා

 ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ

සිංහල අවුරුදු කාලෙ මතක් වෙනකොටත් අපේ හිතට කොච්චර සතුටක් දැනෙනවද..? හරිම විසිතුරුයි. විවිධ ප්‍රසංග, අවුරුදු ක්‍රිඩා අඩුවක් නෑ. කලා ලෝකෙත් අවුරුදු කාලෙට මේ අපූරුවම දකින්න ලැබෙනවා. අවුරුදු කියපු ගමන්ම කලාකරුවන් කිහිප දෙනෙක්ම අපේ මතකයට එනවා. ඒ අතරින් විජේරත්න වරකාගොඩ අපි කාටත් සිහිවන අපේ රටේ සිටින ප්‍රවීණ කලාකරුවෙක්. මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වෙමින් වරකාගොඩ අවුරුදු සමය ගෙවු හැටි පැවසුයේ මෙසේයි.

මගේ තාත්තා පොලිස් සේවයේ යෙදී සිටි සැරයන්වරයෙක්. ඔහුට වරින් වර මාරුවීම් ලැබෙන නිසා අපිට ඒ තරම්ම සරුවට අවුරුදු ගන්න අවස්ථාව ලැබුණේ නෑ. මට මතකයි එක අවුරුද්දක් අපි හරි ජයටම අවුරුදු ගත්තා. ඒ තාත්තා පට්ටිපොළ පොලිසියේ සේවයකළ කාලයේ. පට්ටිපොළ පාසලක් නැතිනිසා අපිව පියාගේ මහගෙදර වන වරකාගොඩ දුල්දෙණිය වලව්වට ගිහින් දැම්මා. එහේ හැම ගෙයක්ම වගේ අපේ ඥාති නිවාස. අවුරුදු කාලෙට රාත්‍රියට වැඩිහිටියන් කැවිලි, පෙවිළි හදන වෙලාවට අපි කට්ටිය එකතුවෙලා ගුත්තිල කාව්‍ය, ජයමංගල ගාථා, ආදි කවි ශබ්ද නගා ගායනා කරනවා. ඒක අපිට හරිම විනෝදයි. එයට වැඩිහිටියනුත් එකතු වෙනවා. වැඩිහිටියන් කෙසෙල් කැන් හත, අට වළදාලා ඉදවනවා. ඒවට කැප්පෙට්ටිකොළ දාලා පොල්ලෙලි දමා දුම්ගහන්නෙ අපි. ඒ වැඩවලට කුඩා අපි හරිම කැමතියි. එක එක වර්ගයේ ඔන්චිල්ලා බැඳලා හරි හරියට පදිනවා. අයියලා කරන්නේ උණ බට අරගෙන උණ වෙඩිල්ල හදනවා. ඒකට ලාම්පුතෙල් දාලා පත්තුකරනකොට පුංචි අපි බලන් ඉන්නෙ හරිම ආසාවෙන්. අවුරුදුදාට අලුත් ඇඳුම් ඇඳගෙන අනුභව නැකැත් වෙලාව එනකම් බලන් ඉන්න හැටි මට අද වගේ මතකයි. ගෙදරින් දෙන කෑම පිඟන් අහළ පහළ ගෙවල්වලට බෙදන්න ගෙනියන්නෙ පොරකකා.ඒ ගෙවල්වලින් ලැබෙන තෑගි ගන්න තියෙන ආසාවට.ඒ අතීතය මතක් වෙනකොටත් ආපහු ඒ කාලෙට යන්න හිතෙනවා.

• පරිප්පු හොද්ද නැතුවම බැරිවෙලා

තාත්තා මාරවිල පොලිසියේ සේවය කරන කාලයේ තමයි මුලින්ම පාසල් ගියේ. ඒකත් කතෝලික පාසලක්. ඒ 1938 වසර. එතකොට අවුරුදු පහයි. අයියට තමයි මාව ඉස්කෝලෙ ගෙනියන ගේන රාජකාරිය පවරලා තිබුණේ. මට මතකයි අයියගේ බයිසිකලේ ඉස්සරහ වාඩිවෙලා ඉස්කෝලෙ යන හැටි. ඒ කාලෙ ඉතින්... අද වගේ පෑන් පැන්සල් නෑනෙ. ගල්ලෑල්ලෙ ගල් කූරෙන් තමයි අකුරු ලියන්නෙ. පාසලේදි ගල්කූරු කොටවන්න හැමදාම ගල්කූරු කඩන එක මගේ පුරුද්දක්. අයිය ගෙදර ආපු ගමන්ම අහන්නෙ උඹ අදත් ගල්කූරු කඩාගෙන ආවද කියල. එච්චරයි මට දෙන වේවැල් පාර අදවගේ මතකයි. දවස ගානෙම ගුටිකෑවත් ගල්කූරු කඩන එකනම් නැවැත්වුයේ නෑ. ඒ පාසලේ අපිට බතුයි පරිප්පුයි කන්න දෙනවා. වැඩි පුරම පාසල් ගියේ බතුයි පරිප්පුයි කන්න. ගෙදර ඇවිත් ඉල්ලන්නෙත් පරිප්පුමයි. අන්තිමට පරිප්පුවා කියල නමකුත් වැටුණා.

*තුත්තිරි දහයට නාරං බිකයි

තාත්තා පුත්තලම පොලිසියෙ සේවය කරන කාලෙ අපි ඉස්කෝලෙ ගියේ පුත්තලම කොන්මන්ට් එකට. ඒ ඉස්කෝලෙ ලොකු පිට්ටනියක් තියෙනවා. ඒකෙ හරිwයට තුත්තිරි. කන්‍යාසොයුරියක් ඇවිත් කියනවා තුත්තිරි දහයට නාරං බිකයි. වැඩිපුර තුත්තිරි ගැලෙව්වොත් වැඩිපුර නාරං බික් ලැබෙනව කියල. අපි ඉතින් පටන් ගන්න කියනකොටම තුත්තිරි ගලවන්න පටන් ගන්නවා තර­‍ෙගට. වෙලාව අවසන් කියනකොට නතර කරන්නත් ඕනෑ. ආ..එහෙනම් තුත්තිරි ගලවපුගාන ගණන්කරල කියන්න කියනවා. ඔන්න ඉතින් තරගෙට කියනවා. අන්තිමට පිට්ටනියෙ තුත්තිරි ටිකත් ගැලවෙනවා. අපිට ගණන් කරන්නත් ඉබේටම හුරුවෙනවා. නාරං බික් කන්නත් ලැබෙනවා. ඔය වගේ ගුරුවරු අද කොයින්ද? ඒ මතකයන් මොනතරම් සුන්දරද..

• චිත්‍රපට බලන්න ඇඳුම් නැතිවම ගිහින්

තාත්තගෙ මාරුවීමත් එක්ක මගේ පාසල් ගමනත් හැමදාමත් වෙනස්වුණා. මට මතකෙ හැටියට තාත්ත පුත්තලමෙ පොලිසියෙ ඉන්නකාලෙ අපි හිටපු පොලිස් නිවාස ළඟම තිබෙනවා පිට්ටනියක්. ඒකෙ කාලෙකට ටෙන්ට් එකක් ගහලා චිත්‍රපට පෙන්වනවා. එතකොට මට අවුරුදු 6ක් 7ක් විතර ඇති. අපි යාළුවො ටික හවස්වෙනකොට චිත්‍රපටිය බලන්න යන්න ලෑස්තිවෙනවා. හවස පහ වෙනකොට ගහන සීනුව ඇහිච්ච ගමන් දුවනවා. පොලිස් ළමයි කියල අපෙන් සල්ලි ගන්නෙත් නෑ. හවසට බෙර සද්දෙ ඇහෙනකොටම අපි රේස් එකේ දුවනවා ‍ඉස්සරහෙන්ම වාඩිවෙන්න. දවසක් ඉන්ටවල් එකේදි අයිය එනව කෝටුවක් අරගෙන. මාව එළියට අරගෙන ගිහින් හොඳටම ගහල උඹ ඇදුමක් නැතුවද යකෝ මෙච්චර සෙනඟක් අතරට ආවෙ කියල ගහනකොට තමයි තේරුණේ මම ගිහින් තියෙන්නෙ ඇදුම් නැතිව කියල. ඒ චිත්‍රපට පිස්සුව තමයි පස්සෙ කාලෙක රඟපෑමට යොමුකළේ.

• කම්මුල ඉදිමෙන්න ගුටි

ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලයේ. 1941 වසර වගේ මතකයි. එතකොට අවුරුදු අටක් විතර ඇති. අපේ පාසලේ සිටියා තිසේරා කියල ගුරුවරයෙක්. ඔහු මට කීවා අතුරු කවි කතාවාරයට කතාවක් පවත්වන්න කියලා. මමත් ඉතින් හා කියලා සිටියා. අතුරු කවි කතාවාරය ආවා කතාව කරන්න ගියේ නෑ. සමිතියේ වැඩ ඉවරයි කියලා කියපු ගමන්ම සර් ඈත ඉඳන් බලාගෙනම ඇවිත් ගහපු කනේ පාර අද වගේ මතකයි. ගෙදර යනකොට කම්මුල ඉදිමිලා. අම්මා ඇහුවා මොකද බොට වෙලා තියෙන්නෙ කියලා. මම කිව්වෙ නෑ. කිව්වනම් තාත්ත හවසට ඇවිත් මට තව කනේ පාරක් ගහනවා කියලා දන්නවා.

• හැඩකාර ෆින්සිට හිත ගියා

අපි පට්ටිපොළ ඉන්නකාලෙ තාත්තගෙ යාළුවෙක් හිටියා ඕ. අයි. සී දිසානායක කියලා . එයාගෙ දුව ෆින්සි, නිවාඩුවට අපේ ගෙදර එනවා. ඒ කාලෙ දැන්වගේ වාහන නැහැ. නිවාඩුවට අපි යනවා පඬුවස්නුවර වඳින්න. ෆින්සිලා බක්කි කරත්තෙන් යනවා. අපි කොල්ලො කට්ටිය කරත්තෙ පස්සෙන් පයින් යනවා. ඒ යන ගමනෙදි ෆින්සි මගේ හිතගත්තා. හරිම හැඩකාර පොඩි කෙල්ලක්. මම හිතන්නෙ අද එයාටත් මට වගේම ලොකු ළමයි ඇති. ඒක මතකයක් විතරයි. බොහෝ කාලෙකින් අපි හමුවෙලා නෑ.

• බැංකුවෙන් පොලිසියට

රැකියාවල් පහකට එකවර ඉල්ලුම්පත් දැම්මා. ඒ අතර ලංකා බැංකුවට දාපු ඉල්ලුම්පතට සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබුණා. 1955 ජනවාරි කොළඹ යෝක් වීදියේ මූලස්ථානයට එන්න කිව්වා. ඒ බෑන්ක් ඒජන්ට් තනතුරට. අද කියන්නෙ බැංකු කළමනාකරු. පඩිය රුපියල් 70යි. බැංකුවේ වැඩකරමින් සිටින අතරෙ ආණ්ඩුවේ ලිපිකරු විභාගයට පෙනී සිටියා. ලංකාවෙන්ම දෙවෙනියා වෙලා බැංකු රස්සාවෙන් කච්චේරියේ රැකියාව භාරගත්තා. ඒකෙත් ගොඩ කලක් වැඩ කළේ නෑ. එතනින් පොලිස් පරීක්ෂක වරයෙක් ලෙස සේවයට බැඳුණා. ඒ 1956 ජුනි එදා සිට 1964 ඔක්තොම්බර් වෙනකම් පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවය කළා.

• ආරච්චිල ඇත්තන්ට අවුරුදු 53යි

පොලිසියෙ සේවය කරන කා‍ලෙ 1960 ගුවන්විදුලි ගායන පරීක්ෂණයට පෙනී සිට ඒ ශ්‍රේණියේ සරළ ගී ගායකයෙක් වන්න වාසනාව ලැබුණා. ඒ වසරෙම නාට්‍ය ශිල්පියකු ලෙස රඟපාන්න අවස්ථාව ලැබුණා. 1964 මාර්තු 12 මුවන් පැලැස්ස ගුවන් විදුලි නාට්‍යයට සම්බන්ධ වී ආරච්චිල කෝරළේ මහත්තයාගේ චරිතය අද දක්වාම රඟ දක්වනවා. දැන් අවුරුදු 53ක්. මුල්ම නාට්‍යයේ සිට අද දක්වාම එකම නාට්‍යයේ එකම චරිතය රඟ දක්මින් ගිනස් වාර්තා පොතට යන්න තරම් වාසනාවන්ත රංගන ශිල්පියෙක් මම.

• දිසාලාට පෙම් බැන්දා

මට මතකයේ හැටියට 1963 වර්ෂය. රජයේ කලා මණ්ඩලයෙන් පැවැත්වු නාට්‍ය තරඟයක නාට්‍ය දෙකක අජාසත්ත චරිතයට හා හෙන්රි ජයසේන මහතාගේ කුවේණි නාට්‍යයේ පූරකගේ චරිතයට රඟපෑවා. එදා කුවේණි නාට්‍යයේ දිසාලාගේ චරිතය රඟ දැක්වුයේ චිත්‍රා. අද මගේ බිරිඳ. මම ඇය දැකපු දිනේම මගේ හිත බැඳුණා. අපි කලක් ආශ්‍රය කළා. දෙපාර්ශවයේම ආශිර්වාදය මැද 1970 ජනවාරි 28දා ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලයේදී අපි එක් වුණා. එදා මෙදා තුර රඟපාපු චරිත අපමණයි. 

Comments