කවි රත්න­යක් වූ ධර්ම­රත්න මිතුරා | Page 2 | සිළුමිණ

කවි රත්න­යක් වූ ධර්ම­රත්න මිතුරා

1978 දී විතර ජාතික කතෝලික සිනමා පර්ෂදය (OCIC) සතිපතා විදේශීය චිත්‍රපටයක් නොමිලේ ප්‍රදර්ශනය කළා වගේම හැම පෝයදාකම මාසික සිනමා හමුවක් ද සංවිධානය කළා. එකල ඕ. සී. අයි. සී. ආයතනය පිහිටා තිබුණේ කොටුව මල්වත්ත පාරේ හයවැනි පාවුලු මධ්‍යස්ථානයේ හයවැනි මහලේ.

ඒ කාලයේ අපිට තිබුණේ පික්චර් පිස්සුව. එදා ඕ. සී. අයි. සී. වැඩියෙන්ම පෙන්නුවෙ ප්‍රංශ නවරැල්ලෙ චිත්‍රපට. ඉඳහිට වෙනත් චිත්‍රපටත් තිරගත කළා. උස්මාන් සෙම්ඛනේගේ ‘ද මනි ඕඩර්’ චෙක් චිත්‍රපටයක් වන ‘රෝමියෝ ජුලියට් ඇන්ඩ් ද ඩාක්නස්’ කොස්තා ග්‍රවුරාස්ගේ ‘ඉසෙඩ්’ වගේ සිනමා කෘති අපි මුලින්ම දැක්කේ එහිදී.

මේ චිත්‍රපට බලන්න, මාසික සිනමා හමුවට සහභාගි වන්ට විශාල තරුණ පිරිසක් ලංකාවේ හැම තැනින්ම වගේ එකල එනවා. චන්දන සිල්වා, ප්‍රසන්න විතානගේ, ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, උදයකාන්ත වර්ණසූරිය, නිලේන්ද්‍ර දේශප්‍රිය, සිසිර සුරවීර, තුසිත ද අල්විස්, සමන් වික්‍රමආරච්චි, ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා චන්ද්‍රසිරි බෝගමුව, ගාමිණි ගුණතිලක, සිරි අබේසේකර, එම්. ආර්. සී. ඩයස්, මට මතක ඇති නම් කීපයක්. ධර්මරත්න පෙරේරා ආවේ ඔහුගේ මිතුරු මියුලන් සපරමාදු එක්ක. (මියුලන් ඔබ දැන් කොහිද?) එදා මේ අපි ඔක්කොම හොඳ යාළුවෝ. පික්චර් එක බලලා අම්බාල් කැෆේ එකෙන් තෝසයක් කාලා බලපු චිත්‍රපටය ගැන වාද විවාද කරලා අපි සතුටින් විසිර ගියා. එකල ජාත්‍යන්තර චිත්‍රපට‍ ප්‍රදර්ශනවල, සිනමා සම්මන්ත්‍රණවල හිටියේ අපි ටික තමයි. ප්‍රශ්න ඇහැව්වෙත් අපි.

අපි කාටත් අඩුවැඩි වශයෙන් වුවමනා වුණේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වෙන්න. ඒත් ඒක සාක්ෂාත් කරගන්න ලැබුණේ ස්වල්ප දෙනකුට පමණයි. ධර්මෙත් මමත් ඒ වෙනුවට වෙන පාරකට වැටුණා. ඒ පත්තර කලා ජීවිතය. එකම පත්තර ආයතනයේ (මල්ටිපැක්ස්) දෙතැනකට අපි යොමු වුණා. ධර්මෙ ‘කුමරි’ පුවත්පතටත් මම ‘සත්දින’ පුවත්පතටත් එක්වුණා. දකුණු පැත්තෙන් පටන්ගත් කාමර පේළියේ මුලින්ම තිබුණේ ‘කුමරි’ කාර්යාලය. මට මතකයි උපුල් ශාන්ත සන්නස්ගල, ප්‍රණීත් අභයසුන්දර, රන්ජිත් අමරකීර්ති පලිහපිටිය, කුමාර සිරිවර්ධන, ප්‍රදීප් කුමාර බාලසූරිය වගේ මගේ වයසේ හෝ මට බාල අය එදා ‘කුමරි’ කාර්යාලයේ එහි ප්‍රධාන කර්තෘවර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා සමඟ කතා කර කර ඉන්නවා.

‘සත්දින’ ඊළඟ කාමරය. ප්‍රධාන කර්තෘ ලියනගේ මහත්තයා (ගුණදාස ලියනගේ) දෙවැන්නා මගේ ගුරුවරයකු වන (මා ගෞරවයෙන් සිහිපත් කරන චන්ද්‍රසේන කිරිවත්තුඩුව), නන්දනි කුමාරි ගාල්ලගේ එහි නිත්‍ය සාමාජිකයෝ. අනුර සොලමන්ස්, මට ෆ්‍රීලාන්ස් ජර්නලිස්ට්ලා.

ඊටත් එහා කාමරය අමරසේන මහත්තයාගේ (ආතර් යූ. අමරසේන) ‘සිත්සර’ සිනමා පත්තරේ. ඩබ්ලිව්. ඩී. කේ. නවරත්න, ඩී. කීරගලආරච්චි, දයාරත්න රටගෙදර, රොඩ්නි විදානපතිරණ, තිලක් රත්නායක (ඡායාරූප ශිල්පි) එහි සේවය කළා. මම දවසක් පියල් සෝමරත්නගේ සිනමා දෙසුමක සටහනක් ‘සිත්සර’ පත්‍රයට දුන්නා. ඒත් අමරසේන මහත්තයා ඒක පළ කළේ නැහැ. ඒක ටිකක් සීරියස් වැඩි වෙන්නැති. ඉන් පස්සේ මම ඒ කාමරයට ගියේ නැහැ.

ධර්මෙත් මමත් එකම ගොඩනැඟිල්ලේ දෙතැනක හිටියත් අප අතර තිබූ දැඩි මිත්‍රත්වය තවදුරටත් පවත්වාගෙන ගියා. ධර්මෙට රමණීය බස් වහරක් තිබුණා. ඔහු සුන්දර පෙම් කවි ලිව්වා. හරිම අපූර්ව සංකල්පනා. ඒවයේ කිසියම් ගීතාත්මක බවක් තිබෙන බව මුලින්ම වටහාගත්තේ ප්‍රණීත් මිතුරා. ඔහු ධර්මෙට සින්දු ලියන්නැයි කිව්වා. ධර්මෙ ලියපු සින්දු තරුණ පරපුර ආදරයෙන් වැලඳගත්තා. ඇයි ප්‍රණීත්? එයත් සින්දු ලියන්න පටන්ගත්තා.

ධර්මෙ පස්සේ ‘යුවති’ කියලා යොවුන් පුවත්පතක් ස්වර්ණමාලි ප්‍රකාශනයක් යටතේ පටන්ගත්තා. එවක ස්ථිර රැකියාවක් නොතිබුණ මට ධර්මෙ ලිපියක් දෙකක් ලියා දෙන්නැයි කියා එක ලිපියකට රුපියල් සීයයක ගෙවීමක් කළා. ඒක ඒ වෙලාවෙ මට ලොකු මුදලක්. ධර්මෙ තමන්ට පුළුවන් විදියට එදා මාව පෝෂණය කළා. ආදරණීය ධර්මෙ ඔබට ස්තුතියි)

ධර්මෙ ගැන මට මෙසේ සටහනක් ලියන්න අනුබල දුන්නේ ඔහුගේ අලුත්ම කවි පොත මට එවලා තිබුණු නිසාවෙන්. ඒකේ නම ‘සුන්දරිය සන්ධ්‍යාව’ ධර්මෙගේ අපූර්ව පරිකල්පනය ඒ පොතෙනුත් උද්ධරණය වෙනවා. 

Comments