
බොනිෆස් ජයශාන්ත කියන නම එතරම් හුරු නැති වුවත් මේ රුව දුටුවම ඔබ ඔහුව නොදැන ඉන්න විදිහක් නැහැ. කෝපි කඩේ පූට්ටුවා ලෙස ඉමහත් ජනාදරයට පත්වූ හෙතෙම නාට්‍ය ගණනාවක් ඔස්සේ විවිධ චරිත මවමින් ප්‍රේක්ෂක ඔබ හමුවට ආවා. ශරීරයේ ප්‍රමාණය සහ මුහුණේ ස්වරූපයත් එක්ක බොනිෆස්ට ලැබෙන චරිත හරිම අපූරුයි. ඒ තුළින් ඔහු ප්‍රේක්ෂක ග්‍රහණය මනාව රඳවා පවත්වා ගන්නවා. අප බොනිෆස්ට මේ ඉඩ මෙවර වෙන් කරන්නෙ ඔහුගේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නයි.
• බොනිෆස්, ඔබට කෝපිකඩේ පූට්ටුවාගේ චරිතය ලැබිලා කොපමණ කල්ද?
“මේ වනවිට වසර නවයක් පමණ වෙනවා. සුදම් දයාරත්න තමයි මට ඒ අවස්ථාව දුන්නෙ. තිලක් කුමාර රත්නායක මහතා තමයි ඔහු ලියූ පිටපතකින් පූට්ටුවා චරිතය කෝපි කඩේට ගෙනාවේ.”
• ඒ වනවිට ඔබ කෝපි කඩේ රසිකයෙක් කියලා මං අහලා තියෙනවා.
“ඔව්. ඒ කාලේ මං ආසාවෙන් නරඹපු නාට්‍ය අතර කෝපි කඩෙත් තිබුණා ලැබෙන සෑම අවස්ථාවකදීම එය නැරැඹුවා. ඒ වගේ ම මං කෝපි කඩේ චරිතවලට හරිම ආදරෙයි. හීනෙකින්වත් හිතුණෙ නැහැ කෝපි කඩේ රඟපාන්න අවස්ථාව උදාවේවි කියලා.”
• මොකද හිතුණෙ එවන් වූ නාට්‍යයකට ඇරැයුම් ලැබිලා එහි දර්ශන තලයට ගියාම?
“මං හරිම සතුටින් එදා ලොකේෂන් එකට ගියේ. මං ආදරය කළ චරිතත් එක්ක ගැවසෙන්න පටන් ගත්තම මට පුදුමත් හිතුණා. මේ වනවිට මං කෝපි කඩේ නිත්‍ය චරිතයක් බවට පත් වෙලා.”
• කෝපි කඩේ රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන සිදුවීම් මොනවද තියෙන්නෙ?
“මේ දර්ශනයෙ හිටියෙ බණ්ඩයි, අප්පුවයි මමයි. වැවක් අසල තමයි රූගත කිරීම තිබුණෙ. මම නිකම්ම වගේ මං ගාව තිබුණු ෆෝන් එක ළඟ තිබුණු කෙනකුට දුන්නා. එදා එම දර්ශනයේදී මාව වැරදිලා වැවට වැටුණා. වෙලාවට ෆෝන් එක මගෙ ගාව තිබුණේ නැත්තෙ.
මේ සිද්ධිය වුණේ රූගත කිරීමකදි නෙවෙයි. කෝපි කඩේ අය සහභාගිවූ ෂෝ එකකදි. මමයි අබිලිං මාමයි සිරිසේනයි එයට සහභාගි වුණා. එදා ස්ටේජ් එකට නගිද්දී අබිලිං මාමට කරන්ට් එක වැදුණනෙ. මම හොඳටම බය වුණා. වාසනාවට ඔහුට මුකුත් වුණේ නැහැ.”
• බොනිෆස්ගෙ රංගන ගමන් ආරම්භ වෙන්නෙ කොහොමද?
“අනූ අටේදි විතර මං ගමේ පල්ලියේ නාට්‍යවල රඟපෑවා. මගේ ගම මීගමුව. එහේ ඉන්න කලාකරුවකු වන රිචඩ් මානමුදලි තමයි මාව වේදිකාවට ගත්තෙ. ඒ සකුන්තලා වේදිකා නාට්‍යයෙන් මගේ රූපවාහිනී ආගමනය සිදුවන්නෙ හෝල්ට් මාලා නාටකය හරහා. ඊට පසුව සඳගලතැන්න, කොළඹ අහස වගේ නාට්‍යවලට එකතු වුණා.”
• ඔබේ ඇඟේ හැඩය වෙනමම එකක්. ඔබට වැඩිපුර චරිත ලැබෙන්නේ මේ නිසා කියලා ඔබ විශ්වාස කරනවා?
“ඔව්. මගේ ස්වරූපය නිසයි මෙච්චරකල් මා රඟපෑ චරිත මට ලැබුණේ. ඇත්තෙන් ම කිව්වොත් මං මේ ස්වරූපයට හරිම ආසයි. වෙනසක්නෙ. අනික මගේ කතාබහ කරන ස්ටයිල් එක මිනිස්සුන්ට දැනෙනවා. කොට මහත වුණාම වෙනමම හැඩයකුත් තියෙනවා. ඒ හින්දා මං මේ ස්වරූපය කවදාවත් වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ.”
• ඔබ මේ වනවිට රැකියාවක නියැළෙන ගමන් තමයි රංගනයේ යෙදෙන්නෙ. වෙහෙස කර නැති ද එහෙම රංගනයේ යෙදෙන්න?
“වෙහෙසකර අවස්ථාවත් තියනවා. ඇතැම් වෙලාවලදී රැකියාව අතහරින්නට පවා හිතෙනවා. නමුත් කලාවෙන්ම පමණක් හම්බ කරන්න බැහැනෙ. ඒක නිසා කලා ලොවේ ඉන්න ගමන් රැකියාවත් කොහොම හරි කරනවා.”
• ඔෙබ් පෞද්ගලික ජීවිතයේ තොරතුරු සඳහන් කළොත්.
“මම විවාහකයි. බිරිය අකිලා අපේ කැදැල්ල අවුරුදු එක හමාරක දරුවකුගෙන් හැඩවෙලා තියෙන්නෙ. බිරිය දරුවා එක්ක බොහොම සතුටින් කාලය ගත කරනවා.”