
චන්ද්‍රන් රත්නම්
ලංකාවේ රස්පුටින් මැතිව් පීරිස් ගේ කතාව අනුරාගිනී නමින් සිනමාවට නැගෙයි
ඇමරිකානු පොප් ගායක ඇල්ස්ටන්කොක් මැතිව් පීරිස් ලෙස
According to Mathiew නම් ලෝක සිනමා වෘත්තාන්තය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරන්නේ ලාංකීය මෙන්ම හොලිවුඩයේ සිනමාව අතික්‍රමණය කළ ශ්‍රී ලාංකික සිනමාවේදී චන්ද්‍රන් රත්නම් විසිනි. ලෝක සිනමාව තුළ A Comman Man/The Road From Elephant Pass වැනි සිනමා කෘතීන් හා ලාංකීය සිනමාව තුළ ජනේලය සිනමා කෘතිය අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන්. රචනයෙන් යන ත්‍රිවිධ කාර්යයන්ගෙන් දායක වීමත් සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියට සහාය අධ්‍යක්ෂණයට දායක වීම හා මේ වගේ ආදරයක් වැනි සිනමා කෘති නිර්මාණකරණයන් ඔහු සිදු කරනු ලැබීය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ වෑකන්ද වලව්ව චිත්‍රපටිය සඳහා තම නිෂ්පාදන දායකත්වය සපයන අතර එය කෑන් ජාත්‍යන්තර සිනමා උලෙළ නියෝජනය කිරීමට තරම් වරම් ලබන්නේය. Jungle Book, Mother Theresa වැනි හොලිවුඩ් චිත්‍රපට ලංකාව තුළ සිදුකරන නිමැවුම් කාර්යයෙහි ලා සම්බන්ධිකාරවරයකු ලෙසත්, ඔහු සම්බන්ධ වන්නේය.
දැවැන්ත ලෙස ලාංකීය හා ලෝක සිනමා කලාවට තම දායකත්වය සපයන චන්ද්‍රන් රත්නම් තම සේවයේ අගය සහ කැප කිරීම සිහිපත් කරනුයේ තම නිහතමානීත්වය පෙරදැරි කරගෙනය. According to Mathiew සිනමා වෘත්තාන්තය ලාංකීය ප්‍රේක්ෂක ඔබට ගෙන එන්න් ‘අනුරාගිනි’ ලෙසිනි. ‘අනුරාගිනි’ චිත්‍රපටිය ලබන 7 වැනිදා සිට ලාංකීය සිනමා ප්‍රේක්ෂක ඔබට තිළිණ කිරීමට නියමිතය.
ඒ කතාව සැකෙවින් මෙසේය. පූජක මැතිව් පීරිස් ක්‍රිස්තියානු පල්ලියේ තම අදෘශ්‍යමාන බලය විශ්මිත කරමින් බල ගැන්වුමක නිරත වන්නට විය. ඔහුට ඒ තුළින් තම පෞරුෂය හා පූජනීයත්වය ගොඩ නඟන්නට හැකි වුණි. කිසිවක් නොදත් බැතිමතුන් තම දේවගැතිවරයා දෙවියන් වහන්සේගේ නියෝජිතයකු ලෙස විශ්වාස තබන්නට විය.
පල්ලියේ බැතිමතුන් සියල්ලන්ගේම පාහේ ආදරය, විශ්වාසය, තමාට නතු කරගැනීමට පූජක මැතිව් පීරිස්ට හැකි වනුයේ තම අදෘශ්‍යමාන බලගැන්වුම ක්‍රියාකරවමිනි. පූජක මැතිව් තම අභිමතය පරිදි ක්‍රියාකරන්නට විය. කාන්තා පක්ෂයට විශේෂ ඇල්මක් දැක්වූ ඔහු පූජක ලෝගුවට මුවා වී කාන්තාවන් රැසකගේ ස්ත්‍රීත්වය කෙළෙසන්නට වූයේ හොර රහසේමය.
මොවුන් අතර ඔහුගේ සිත්ගත් එක් අනුරාගිනියක් තමා සතු කරගැනීමේ දැඩි ලෝභ සිත් ඇතව ඔහු හැසිරෙන්නට වූයේ උන්මත්තකයකු ලෙසිනි. පූජක මැතිව් පීරිස් මෙන්ම තමන් අනුරාගයෙන් බැඳුණු ඒ කාන්තාවද ඔවුනොවුන්ගේ සහකරුවන්ගේ අවසන් ගමන් තීරණය කරන්නට වූයේ මේ උන්මාදනීය රති වේශයේ ඛේදාන්තය රැගෙනය. ඇය නමින් ඩැල්රියන්.
මේ අසම්මත ආදර කතාවේ නිදහස ඔවුන් සොයන්නට වූයේ තම සහකරුවන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය පහළ මට්ටමකට හෙළීමේ හැකියාව ඇති ඖෂධය භාවිතා කරමිනි. දවසෙන් දවස ඔවුන්ගේ ශරීර ශක්තීන් ටිකෙන් ටික අඩපණ වී අවසානය ගෙන ආවේය. 1978.08.10 වන දින ඩැල්රින් ඉන්ග්‍රම්ගේ ස්වාමි පුරුෂයා වන රසල් ඉන්ක්‍රම් මිය යන්නේ ඒ කූටප්‍රාප්තියට හසු වෙමිනි.
1979.03.19 වන දින පූජක මැතිව් පීරිස්ගේ බිරිය වන යුනිස් පීරිස් මැතිනියද මිය යන්නේ ඒ ඉරණමට ගොදුරු වෙමින් හා සැකයක් ඇයගේ මරණය ඔස්සේ ඉතිරි කරමිනි. පූජක මැතිව් පීරිස් වෙතත් ඔහුගේ ආරදවන්තිය වෙතත් පොලිසියේ උකුසු ඇස හඹා යන්නට විය. මේ සැකය ඔස්සේ විභාග කළ පැමිණිල්ල රටේ ආන්දෝලනයට ලක් වුණු නඩු විභාගයක විශ්මය ගැනිණි.
ලංකාවේ නීති ඉතිහාසයේ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි මත මිනිමැරුමක් සනාථ කළ ප්‍රථම අවස්ථාව වෙමින් නීති පොත් කණපිට පෙරළු ඉතිහාසගත නඩු තීන්දුව මෙය විය. 1984.02.15 වන දින පූජක මැතිව් හා ඔහුගේ පෙම්වතිය ඩැල්රින් වරදකරුවන් කරමින් මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබීය. ‘According to Mathiew’ නැතහොත් ‘අනුරාගිනි’ සිනමා වෘත්තාන්තයට මේ සත්‍ය කතාව පාදක කොටගත් එහි අයිතිකරු වන සිනමාවේදි චන්ද්‍රන් රත්නම්ගේ අදහසයි මේ.
ඇයි ඔබ මේ කතාන්තරය සිනමාවට ගෙන එන්නේ?
මම තමයි මේක කොරන්න ඉන්න එකම මිනිහා, ඒ මොකද කියනවා නම් මමත් ක්‍රිස්තියානු බැතිමතෙක්. පූජක මැතිව් හා මෙග් දෙමාපියන් හොඳ යාළුවෝ, මේ කතාව හරියටම දන්න කෙනෙක් මම. මගේ පවුලේ හැමෝම ගියේ පූජක මැතිව්ගේ පල්ලියට. එදාටත් වඩා අද මම මගේ ආගමට ගරු කරනවා සහ එහි අනුගාමිකයෙක්. ඉතින් මට කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්. මේ වගේ කතාවක්, මේ වගේ සිදුවීමක් නැවත සිද්ධ වෙන්න හොඳ නැහැ. සිදු වුණ එක ගැන කතා කළේ නැත්නම් සිද්ධ වෙන්න තියෙන එක කොහොමද වළක්ව ගන්නේ? අන්න ඒකයි මම මේ කතාව සිනමාව හරහා කතා කරන්නේ. ක්‍රිස්තියානු මගේ යාළුවන්ටත් ඩැල්රින් හා මැතිව්ගේ පවුලේ හැමෝටමත් මට කියන්න තියෙන උත්තරය තමයි ඒක.
මොනවද ඒ?
මම ඉස්සෙල්ලා කීවා පූජක මැතිව් එක්ක අපේ පවුල අතර තිබුණු කිට්ටු සබඳතාව. ක්‍රිස්තියානු බැතිමතුන් බොහොමයක් මම වගේම මැතිව් පීරිස්ව විශ්වාස කළේ තම දුක නැති කරන්න ආපු දේව නියෝජිතයකු ලෙසයි. නමුත් පූජක මැතිව්ව මම හරියටම හඳුන ගන්නේ මම ඇමෙරිකාවේ වෙසෙන කාල වකවානුවකයි. මගේ තාත්තා මට කියනවා පූජක මැතිව් ඇමෙරිකාවට එනවා එයාට උදව් කරන්න කියලා.
එයා අවම නවාතැන් ගන්නේ මගේ නවාතැනේ. එහිදී ඔහුගේ සමහර ක්‍රියා කලාපයන් තුළ මට ඔහු කෙරේ තිබුණ භක්තිය අඩු වෙනවා. මම ඔහුගෙන් දකිනවා දේවත්වයට මුවා වී සිටින සාතන්ව. එයා හොඳ දේවලුත් කරලා තියෙනවා. ඒත් පසුකාලයක මේ මිනිමැරුම් සිදුවීම් හා නඩු විභාගයන් ගැන මගේ පවුලේ අයගෙන් මම දැනගන්නවා. මා තුළ ඔහුට ඉතිරිව තිබුණු පුංචි ගෞරවයත් නැත්තටම නැති වී යනවා.
ඊට වසර කීපයකට පසුව Main Aur Charles නම් හින්දි චිත්‍රපටිය රූපගත කිරීම් සඳහා වැලිකඩ බන්ධනාගාරයට එහි නිෂ්පාදන කණ්ඩායමත් සමඟ මමත් යනවා. එහිදී මගේ උරහිසට කෙනෙක් තට්ටු කරනවා. මම බලනකොට Father Mathew. මම ඔහුව වැලඳ ගන්නවා. කතා කරනවා. එයා කියනවා එයාගේ කතාව ලියන්න කියලා. දවසක ඔහුව මුණගැසී ඒ කතාවේ සැලැස්ම පෙන්වනවා. එයාට තරහා යනවා.
මේකේ අවසානය මම අහිංසකයා කියලා පෙන්වන්න කියනවා. මම කියනවා එහෙම වුණොත් මෙතන කතාවක් නෑනේ ඔබ අහිංසක නම් ඇයි සිරගෙදර කියලා අහනවා. එයාට නැවතත් තරහා යනවා. එයා මගෙන් අහනවා කවුද නළුවා කියලා. මම කියනවා ගාමිණී ෆොන්සේකා මහත්මයා කියලා. ඔහු කියනවා නෑ මමයි මේක රඟපාන්නේ කියලා. කොහොමද ඇහුවම ඔහු කියන්නේ මම ඇපිල් එකෙන් නිදහස් වෙනවා.
පස්සේ ෆිල්ම් එක කරමු. එයා මට සැර කරනවා රඟපාන්නේ මම කියලා. ඒකට මම බය වුණා. මොකද එයා ජනප්‍රිය කට්ටඬියෙක්. එහෙම කෙනෙක් එක්ක වැඩ කරන්න අපහසුයි. මම ෆිල්ම් එක නතර කරනවා. ඒ කාලේ පූජක මැතිව් තමයි ළමයෙක් ලෙඩ වුණාමත් බලන්නේ. ඔහු ආශ්‍රය කළේ ගනුදෙනු කළේ ලංකාවේ ඉහළ පැළැන්තියේ මිනිස්සු එක්ක. මේ හේතු කාරණා සියල්ල නිවැරැදිව දන්නේ මමයි.
මේ කතාන්තරය සිනමාවට ගන්නේ. හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කරන්නේ හාමුදුරුනමක්. පූජ්‍ය සෝමාරාම හිමි කසාවත ඒ ඝාතනයට පාවිච්චි වෙනවා. ඒක වැරැදියි. මම ඒකත් මගේ Film එකට ආරම්භය ගන්නවා. මොකද පූජක මැතිව් ඒ කතාව තුළින් තම හැකියාව, බලය පෙන්නුම් කරනවා.
ඒ කෙසේද පූජ්‍ය සෝමාරාම හිමි වරදකරු වී මරණ දණ්ඩනයට යටත්ව එය ක්‍රියාත්මක වන අවස්ථාවේ තමන් අදහන ආගම සිහි ගන්වන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වෙලාවේ එතැනට එන්නේ පූජක මැතිව් පීරිස්. ඔහු තමන්ගේ බලයෙන් සෝමාරාම හිමි ක්‍රිස්තියානු බැතිමතකු ලෙස පරිවර්තනය කරලා. එයයි මැතිව්ගේ හැකියාව. පුදුම දෙයක්. මෙහෙම හේතු කාරණ රැසක් තිබිලත් ඇයි මම මේ සමාජ කාරණා ටික කතා නොකරන්නේ. ඒකයි මම මේ කතාව සිනමාවට ගත්තේ. මම හිතන්නේ නෑ මම වැරැදියි කියලා.
‘අනුරාගිනි’ සිනමා කෘතියේ රංගන ශිල්පීන් ගැන කතා කළාත්?
මැතිව් පීරිස් ලෙස රඟන්නේ ඇමෙරිකානු ප්‍රසිද්ධ පොප් ගායකයකු වන ඇල්ස්ටන් කොක්. ඔහු තමයි මේ නිර්මාණයට මාව උනන්දු කරන්නේ. මේක ඔහුගේ ප්‍රථම රංගන අත්දැකීම. ඔහු සාර්ථකව එය සිදුකරනවා. රංගනයට නවකයකු ඒ චරිතයට සාධාරණයක් කිරීමට තරම් රංගනය සාර්ථකව ඔහුගෙන් ලබාගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. ඔහු සාර්ථක වීම මගේ සතුටට කාරණයක්. ඩැල්රින්ගේ භූමිකාව රඟන්නේ ජැක්ලින් ෆර්නෑන්ඩ්ස්. බිම්සරා ප්‍රේමචන්ද්‍ර යුනිස් පීරිස්ගේ චරිතයත්, කියන් ඕ. ග්රෑඩ් විසින් රසල් ඉන්ග්රම්ගේ චරිතයත් රඟ දක්වනවා. ඔවුන් සැවොම මේ චිත්‍රපටියට ඔවුන්ගේ රංගනයෙන් උපරිම දක්ෂතාවය පෙන්වා තිබෙනවා. ඒ ගැන සතුටුයි.
ඔබේ සිනමා ජීවිතය තුළ ඔබ ලබපු ජීවිත අත්දැකීම් සිනමා නිර්මාණයන් සඳහා ඔබට දායක වී තිබෙනවාද?
ඇයි නැත්තේ. ඇත්තෙන්ම ඔව්. මම මේ ආපු ගමනේ විශාල කැප කිරීමක් හා විවිධ අත්දැකීම් බොහොමයක් තියෙනවා. ඒ අත්දැකීම් සියල්ල මම භාවිතා කරනවා. මීට ටික කාලෙකට පෙර 2010 වර්ෂයේදි මම නොකළ වරදකට දවස් කිහිපයකට මාව සිරගත කරනවා. ඒ කවුද කළේ යන්න වග ක්ෂේත්‍රයේ කවුරුත් දන්නවා. ඒක කුහක පළිගැනීමක්. ඉතින් මට ඒක ගැන දුකක් නැහැ. මොකද මම සිනමාකරුවෙක්. මම නොකළ වරදකට දේශපාලන හිතවත්කම් මත දවස් කිහිපයකට සිරගත කළාම මම එහි හිටියේ බොහොම නිදහස් මනසකින්.
මොකද මම දන්නවා මම වරදක් කරලා නෑ කියලා. එදා මට කනගාටුවක් තිබුණත් මාව සිරගත කිරීමට සැලසුම් කළ ඒ කිහිපදෙනාට අද මම ස්තූතිවන්ත වෙනවා. මොකද එදා ඔවුන් එහෙම නොකළා නම් මේ සිනමා කෘතිය මා තුළින් බිහි වන්නේ නැහැ. ඒ දවස් කිහිපයේ සිරගත වුණ මට මතක් වෙනවා ෆාදර් මැතිව්ගේ මුණගැසීම. ඔහුගේ ඉල්ලීම එකවර මගේ මතකයට එනවා. ඉතින් ඒ මතකයත් සමඟ තමයි මේ අදහස නැවත වරක් මගේ ඔළුවට එන්නේ.
මට අවැඩක් කරන්න ගියපු හැමෝම කරලා තියෙන්නේ මට උදව්වක්. නැවතත් ඔවුන්ට මගේ ස්තූතිය. කවදටත් මම සිනමාකරුවෙක්. මාව කිසිම දේකට නවත්වන්න බැහැ. මොකද මම මේ ක්ෂේත්‍රයට කුහකත්වයෙන් තොරව අවංකව කැපකිරීම් හා සේවය මම කරනවා. කුමන බාධකය ආවත් මම හැමදාම ඉස්සරහට යනවා. ඒ වගේම සිනමාවේ නියැෙළනවා.