
හැමදේම අලුත් වෙලා ඉන්ද්‍රචාපගෙ සමීප රූපයට එකතු වෙනවා. බක් මාසෙ, අප්‍රේල් මාසෙ තරම් අලුත් වචනෙ ඇහෙන වෙනත් මාසයක් නැති තරම්. අලුත් වචනෙට මේ තරම් වැදගත්කමක් ලැබෙන්නෙ අපේ රටට බලපාන සිංහල හින්දු අලුත් අවුරුද්ද අප්‍රේල් මාසෙට යෙදෙන නිසා. ඉන්ද්‍රචාපට අලුත් අලුත් දේවල් පේන්න පටන් ගන්නෙ මාර්තු මාසෙ අවසාන වෙන්නත් කලින්මයි. අලුත් අවුරුදු සේල්, අලුත් අවුරුදු වට්ටම්, මිල පහත දැමීම්, ණය සහන දීම්, විශේෂ පැකේජ හඳුන්වාදීම් වැනි පාරිභෝගික ජනතාවගේම හුදී ජන පහන් සවේගය සඳහා ව්‍යාපාරික ප්‍රජාව, වෙළෙඳ ආයතන දක්වන කරුණාව කෙතරම් විසාල ද යන්න පිළිබඳ ඉන්ද්‍රචාප හොඳින් දනී. අලුත් අවුරුද්ද සමඟ ඊට සැරසෙන ජනමාධ්‍ය ආයතන සූදානම් වන අන්දමත් ඉන්ද්‍රචාප දකිනවා.
මුද්‍රිත මාධ්‍යයේ නම් අලුත් අවුරුදු අතිරේක, අලුත් අවුරුදු කවි, කෙටිකතා, සිරිත් විරිත් පිළිබඳ ලියැවුණු විශේෂාංග, ජනාධිපති, අගමැති, ඇමැති, මන්ත්‍රී අවුරුදු පණිවිඩවලින් පිරී’තිරී යන බවත් ඉන්ද්‍රචාප දකිනවා. අලුත් අවුරුදු අලුත් වැඩසටහන් සමඟ විද්‍යුත් මාධ්‍ය අලුත් අවුරුදු සංදර්ශන පිළිබඳ සමීප රූප රාශියක් ඇඳී යනවා. ගුවන්විදුලි නාළිකා, රූපවාහිනි නාළිකා අලුත් අවුරුද්දට අලුත් අලුත් නිෂ්පාදන, නිර්මාණ, සංගීතාංග, සජීවී ආවරණ වැහි වහිනවා, ඉන්ද්‍රචාප දකිනවා. අලුත් අවුරුදු නැකැත් සිරිත් විරිත්, නැකතට ළිප ගිනි දැල්වීම් ආහාර අනුභවය, හිසතෙල් ගෑම, නොනගත කාලයේදී කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳ විශේෂඥ සාකච්ඡා, විචිත්‍රාංග, සංගීතාංග ප්‍රචාරය වෙනවා. විකාශය වෙනවා ඉන්ද්‍රචාපගේ සමීප රූපයට හසුවෙනවා, ඇතැම් අලුත් නිර්මාණ ශබ්ද පටත් සමඟ.
අලුත් අවුරුද්ද උදාවෙන සංඥාව නිකුත් කරන්නෙ ගුවන්විදුලියෙන්, ඇහෙන, රූපවාහිනියෙන් විකාශය කරන ගීතාවලී සමඟ. හැබැයි ඉන්ද්‍රචාපගෙ අලුත් අවුරුදු අත්දැකීම තමයි, හැම අවුරුද්දකදීම වගේ ඇහෙන්න ලැබෙන පට්ට ගහපු පරණ වුණු පට්ට ගහන ගීතවලින් අඩුවක් නොවීම. එහෙම වෙන්නෙ මොකද කියලා ඉන්ද්‍රචාප නම් දන්නෙ නෑ, ඒත් සිද්ධ වෙන්නෙ නම් ඒක තමයි. අමිතා වැදිසිංහ තමයි සිංහල අවුරුද්ද පිළිබඳ පළමුවැනි පණිවිඩය දෙන්නෙ. කන්ද උඩින් හඳ පායන ලීලා, බැද්ද වෙලේ රුක්අත්තන පිපීලා, මන්ද කොහෝ හඬලනු හැංගීලා එන්න තමා බක්මහ ළංවීලා ගීතය අපි අහන්නෙ දයානන්ද ගුණවර්ධනගෙ බක්මහ දීගෙ චිත්‍රපටය තිරගත වුණාට පසුව. කොහා ගැන, එරබදු මල්, ගැන ඇහෙන චිත්‍රපට ගීතයත් සමඟම ඉන්ද්‍රචාපට අලුත් අවුරුද්දෙ ඇහෙන්නෙ තවත් චිත්‍රපට ගීතයක්. හැබැයි අලුත් ගීතයක් නම් නෙවි. ජනප්‍රියම චිත්‍රපටයක, ජනප්‍රියම ගීතයක්. ධීවරයෝ චිත්‍රපටය තිරගත නොවන්න සිංහල අවුරුද්ද ආවා කියන චිත්‍රපට ගීතයක් නැතිවෙන්න තිබුණා.
ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ගීතය මොහිදින් බෙග්ගෙ හඬින් මුල් වරට ඇහිලා, ධීවරයෝ චිත්‍රපටය නරඹලා, අපේ නිල අවුරුදු ගීතයක් බවට පත්වෙලා දැන් දශක ගණනාවක් ගතවෙලා. දෙවැනි පරණ අවුරුදු ගීතයත් සමඟම ඉන්ද්‍රචාපගෙ සමීප රූපයට එකතු වෙන්න තවත් පරණ අලුත් අවුරුදු ගීතයක්. සුජාතා අත්තනායක සමඟ සනත් නන්දසිරි ගායක ගායිකා යුවළත් අලුත් අවුරුදු ප්‍රශ්න ගීතයෙන් අහනවා ඉන්ද්‍රචාපට ඇහෙනවා. කොහෝ, කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ, බක් මාසේ මඟුල් නැකැත් අපට කියනවදෝ, කොහෝ කොහෝ. මේවා අලුත් අවුරුද්ද පිළිබඳ ලියැවුණු පරණ ගීත මිසක් අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුතින් ලියවුණ ගීත නොවීමයි, ඉන්ද්‍රචාපගෙ ප්‍රශ්නෙ. දයානන්ද ගුණවර්ධන, කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ වගේ ප්‍රවීණ ගීත රචකයන්ගෙ දායකත්වය සෑම අලුත් අවුරුද්දකම අපට සිහිපත් කරවනවා වුණත්, අලුත් රචකයන් අතින් ලියැවුණු අලුත් අවුරුදු ගීතවල හිඟයක් ඇති බවයි ඉන්ද්‍රචාපට දැනෙන්නෙ.
අලුත් අවුරුදු ගීත වගේම අලුත් අවුරුදු කවිත් ඉන්ද්‍රචාපට මතක් වෙනවා. 72 විතර ඉඳලා අලුත් අවුරුදු කවියට අලුත් විෂයන් එකතු වෙලා ඇති බව ඉන්ද්‍රචාප දන්නවා. 71 තරුණ පිබිදීම වාර්ෂික සිහිපත් කෙරෙන කවි, අලුත් අවුරුදු කවි පිටු සරසන්නෙ 72 ඉඳලා. හැමදාම ඇහෙන අලුත් අවුරුදු පරණ ගීත සමඟ තවත් අලුත් අවුරුද්දක පණිවිඩය දැන් දැන් අපිට ඇහෙන්න පටන් ගන්නවා.