තාවකාලික නායකයන්ට සදාකාලික පුටුවල ඇලෙන්න පුළුවන් ද? | Page 5 | සිළුමිණ

තාවකාලික නායකයන්ට සදාකාලික පුටුවල ඇලෙන්න පුළුවන් ද?

ජනයාට අපෙන් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවනි. පාර්ලිමේන්තුවේ වාද වෙන්න පුළුවනි. පත්තර මාර්ගයෙන් විවේචනය කරන්න පුළුවනි. අන්න ඒ විදිහට තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ආණ්ඩු ක්‍රමයෙන් ජීවත් වෙන්නෙ. අන්න එහෙම ආණ්ඩු ක්‍රමයක තමයි මම නායකයා වී සිටින්නෙ. අපි මේ ඇමැතිවරුන් තමයි දැනට නායකයො : හැබැයි තාවකාලික නායකයෝ. මම හිතන්නෙ නැහැ අපි හැමදාම මේ පුටුවල ඇලිල ඉඳියි කියල. අපි දන්නව කාලයක් ආවාම යන්න වෙන බව.

ජේම්ස් බොන්ඩ් මොන බොන්ඩ්ද කියල කින්ඩි දාන මල්ටිබොන්ඩ් වර්ගයේ දේශපාලකයන් මැරෙන තුරු තම පුටුවට ඇලිලා ඉන්න කුරුමානම් අල්ලන ලෝකයක JRJ 9 වැනි සූත්‍රය සමුනිට ලැබෙන්නෙ 1979 මාර්තු 25 දා හොරණදී ජනාධිපති ජයවර්ධන කරපු ප්‍රසිද්ධ කතාවකින්.

1983 කළු ජූලිය ඇරැඹෙන්නෙ JRJ 77 වන වියට පත්වෙද්දී මේ කෝලාහලය අස්සෙම තමන්ගෙ වියපත් නායකයා දේශපාලන වේදිකාවෙන් බස්සවන්න, ඔහුගේම තරුණ දේශපාලන සගයන් උත්සාහ කරනව. මේ ගැන ඇමැති සෞම්‍ය මූර්ති තොණ්ඩමන් කලබල වුණත් JRJ ට නම් හිත කලබල කරගන්න කිසිම හේතුවක් නෑ.

1986 සැප්තැම්බර් මාසෙ 17 දා JRJ 80 වැනි වියට එළඹෙන්නේ කතිරයෙන් පත්වී තවමත් බලයෙ ඉන්න වෘද්ධතම රාජ්‍ය නායකයා විදිහට. සානුකම්පිත බව, මහත්මා ගති විතරක් නෙවෙයි කපටිකම හා මවා රඟ දැක්වීමේ චරිතාංගවලට ද තවමත් කිසිම වෙනසක් වෙලා නෑ. JRJ ගේ වෛද්‍ය උපදේශකයන්ට අනුව ඉඳ හිට හෙම්බිරිස්සාවක් ඇරෙන්නට මෙලෝ රෝගාබාධයක් නෑ. මතක ශක්තීන් අතිනුත් තමන්ට වඩා අවුරුදු 20කට බාල කැබිනට් සගයින්ට වඩා ගොඩක් ඉස්සරහින් හිටියෙ.

තියුණු මනසත්, සැණින් දෙන පිළිතුරුවල සියුම් හාස්‍යයත්, අරුත්බර අදහස් ඍජුව ප්‍රකාශ කිරීමක් වගේම අවශ්‍ය විටදී ගල් ආ‍ඳෙකු මෙන් මඟහැර යාමේ දක්ෂකමුත්, පුදුමාකාර අවංක බවත්, වයස එක්ක ගෙවි ගියේ නැහැ. JRJට පුදුමාකාර අවංක බවක් තිබුණා ය කියනකොට ඇතැමුන්ට පස්ස පැත්තෙන් හිනහ යන්න පුළුවන් බව සමුනි හොඳටම දන්නවා. ඒත්, රජිව් - JRJ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පස්සෙ පැවති මාධ්‍ය සාකච්ඡාව මේ පුදුමාකාර අවංක බවට හොඳ උදාහරණයක්. දෙස් - විදෙස් මාධ්‍යවේදීන්ගෙන් පිරී තිබුණු ඒ මාධ්‍ය හමුවේදි, එක් මාධ්‍යවේදියෙක් JRJට තියුණු ප්‍රශ්නයක් මෙහෙම යොමු කරනවා : දෙමළ නායකත්වය එක්ක මීට කලින් සම්මුතියකට එළඹීමට ඔබතුමා ඉක්මන් නොවුණේ ඇයි?

JRJ මෙහෙම උත්තර දෙනවා : ඒ මගේ ධෛර්යය හීනවීම නිසා, බුද්ධිමත් නොවීම හා දුර දක්නා නුවණක් නොතිබීම නිසා! සභාව විමතියට පත් කරන්න JRJගෙ මේ පිළිතුරට පුළුවන් වෙනව. මොකද, මීට පෙර කිසිදාක JRJ තමන්ගෙ වැරැද්දක් ප්‍රසිද්ධියෙ පිළිගෙන තිබිල නෑ!

1988 ජනවාරි 26 දාට යෙදී තිබුණු ඉන්දීය සමූහාණ්ඩු දින ජාතික උත්සවයේ ගෞරවනීය අමුත්තා විදිහට ආරාධනා ලැබෙන්නෙ JRJට. ඒත් ඒ වන විට ලංකාව තුළ ඉන්දියාව රඟ දක්වමින් සිටි භූමිකාව නිසා JRJගේ සිතුවිලි කෙසේදැයි අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැහැ. ඔහු ගමනට සූදානම් වෙද්දීම තමන් ඇලිල ඉන්න පුටුවෙන් ගැලවෙන්න අදිටන් කරගත්ත. ඒ කියන්නෙ තමුන්ගෙ ජනාධිපති ධුර කාලය අවසාන වන 1989 ජනවාරි 13 ගෙවීමත් සමඟම හෝ ඊට පෙර තමා විශ්‍රාම ගත යුතුයි කියල තීන්දුවක් ගත්තා. හැබැයි රජිව්ගෙන් එය රහසක් විදිහට තියාගන්නත් ඔහු කල්පනා කළා.

අදහස් හා දේශපාලන මති මතාන්තරවලින් වෙනස්කම් තිබුණත්, JRJ රජිව් කෙරෙහි කිසියම් විශේෂ ඇල්මක් තිබුණා. රජිව් හා සෝනියා කෙරෙහි JRJ උණුසුම් සුහදතාවට පෙරළා ආචාරශීලී බවක් ඔවුන්ගෙන් JRJට ලැබුණා. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන් ඔහුගේ අත්දැකීම් පිළිබඳ දැවැන්ත ගෞරවයකුත් ඔවුන් තුළ තිබුණා. ඔවුන් තමා කෙරෙහි දැක්වූ ගැඹුරු ආකල්පය JRJගෙ හිතට හොඳට දැනුණා.

නමුත් JRJ සඟවාගෙන සිටින රහස පිළිබඳ රජිව්ට ඉව වැටීමත් සමඟින් ඔහු කිසියම් කම්පනයකට පත්වුණා. ඒත් රජිව් පසුබට වුණේ නෑ. ඉන්දු - ලංකා සාම සම්මුතියේ න්‍යාය පත්‍රය සාර්ථක කර ගැනීම සඳහා JRJගේ විශ්‍රාම අදහස වෙනස් කරගැනීමට රජිව් උත්සාහ ගත්තා. ගිවිසුමට ප්‍රකාරව පැවැත්වෙන පළාත් සභා රැකගැනීම හා දියුණු කරගැනීම පිණිස 1989 වසරෙන් ඉදිරියට JRJ බලයේ සිටිය යුතු බවට රජිව් තර්ක කළා.

රජිව්ගේ තර්කයෙන් හිත හදාගත් JRJ ලංකාවට පැමිණියේ තෙවැනි වරටත් ජනාධිපති ධුරය බාර ගැනීමේ බලාපොරොත්තුව සමඟයි.

තුන්වැනි වතාවටත් ජනාධිපති ධූරය බාර ගැනීමට තීරණය කිරීමත් සමඟින් කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳ යට ගොස් තිබූ අදහස ද නැවත මතු වුණා. එමඟින් JRJ බලාපොරොත්තු වූයේ; වඩාත් කුඩා වූද, ඒකාබද්ධව කටයුතු කිරීමට හැකියාව ඇත්තා වූද, අමාත්‍යාංශ ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වන්නා වූද අමාත්‍ය ධුර කිහිපයක් සහිත කාර්යක්ෂම යාන්ත්‍රණයක් ගොඩනඟා ගැනීමයි.

මේ සැලසුම් ගැන වඩාත් පරෙස්සම් වීමට JRJට සිදු වූයේ එල් ටී ටී ඊ ‍ය හා ජේ වී පීය මෙන්ම ඊළඟට අනුප්‍රාප්තිකයා වීමට නොඉවසිල්ලෙන් පසුවන ප්‍රේමදාස මෙන්ම ජනාධිපතිවරණයේදී තමාගේ ප්‍රතිවාදී සිරිමාවෝ බණ්ඩාරනායක යන කවර පාර්ශ්වයකින් හෝ එල්ල විය හැකි ප්‍රහාරවලට මුහුණදීමේ ශක්තිය වර්ධනය කරගැනීමටයි. අනුප්‍රාප්තික ලැයිස්තුවේ සිටින ලලිත් ඇතුලත්මුදලි හෝ ගාමිණි දිසානායක සමඟ පවා මෙය රහසක් ලෙසට තබා ගැනීමට JRJට සිදු වුණා. ඒත් තුන්වැනි වටයේ කතාන්තරයේ රහස රහසක් ලෙසම තව දුරටත් තබා ගැනීමට බැරි තත්ත්වයක් ඇති වුණා. එනම් තෙවැනි වරටත් ජනාධිපතිවරණයට JRJ තරග කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක අවශ්‍යතාව පැන නැඟීමයි.

1987 නොවැම්බර් මාසය වන විට ශ්‍රී ලනිපයේ අපේක්ෂිකාව බණ්ඩාරනායක මැතිනිය බව ප්‍රකාශ වී තිබුණා. ඒත් එජාපයේ අපේක්ෂකයා කවුරුන්දැයි විමසන සෑම විටකදීම JRJ කල් මරන්නට කල්පනා කළා. ජුලි මාසයේ මුල් කාර්තුව වන විට ඔහුගේ තුන්වැනි වටය ප්‍රසිද්ධ රහසක් බවට පත් කරමින් අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් තිබූ අතර කැබිනට් මණ්ඩලයේ සියලු සාමාජිකයන් පාහේ මෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හා පක්ෂයේ විවිධ ශාඛා සමිති සමාගම් විසින් ද JRJට සහාය ප්‍රකාශ කළා. රජිව් ගාන්ධි සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ ඇතුළු විදෙස් නායකයන් බොහෝ දෙනෙකුගේ උනන්දු කිරීම්ද JRJට නොඅඩුව ලැබුණා.

ඒත්, මේ හැම දෙනාම විස්මයට පත්කරමින් තමන් ඊළඟ ජනාධිපතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බව ප්‍රකාශ කළා. තම පක්ෂයේ අනාගතය ගැන ඇත්ත වශයෙන්ම යළිත් බලාපොරොත්තු දල්වාගත හැකි තත්ත්වයක් උදාවී තිබෙන බව තමාට පෙනෙන නමුත්, පෞද්ගලිකව තමන් ගැන එසේ නොසිතෙන බවත් හේතු පාඨය වශයෙන් JRJ ඉතා සරලව ඉදිරිපත් කළා.

තවද JRJගේ අනුප්‍රාප්තිකයා වීමට 80 දශකයේ සිට කිහිප දෙනෙක්ම තරග වැදුණා. එයින් එක් අයෙක් වූයේ JRJ ඉතා අසීරු දේශපාලන තත්ත්වයන්ගේම ගොදුරු කළ උපාලි විජේවර්ධන. එහෙත් ඔහු ගමන් කළ ජෙට් යානය මලක්කා සමුද්‍ර ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන්, JRJට ශෝකය සමඟ සහනයක් ද ඇතිවුණා. ඊළඟ පුද්ගලයා වූයේ JRJ රජයේ දක්ෂතම මුදල් ඇමැති රොනී ද මැල්. ඔහු ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කරමින්, තමන් පෙර සිටි ශ්‍රීලනිපයට එකතු වුණා.

විටෙක දේශපාලනයෙන් විශ්‍රාම යනවා යැයි තර්ජනය කරමින් පවා ආර්. ප්‍රේමදාස අනුප්‍රාප්තිකත්වය බලාපොරොත්තු වුණා. ජාතික ආරක්ෂක ඇමැති ධුරය ලැබීමත් වඩමාරච්චි මෙහෙයුමත් නිසා ඇතුලත්මුදලිට ද අනුප්‍රාප්තික බව උරගා බලන්න අවස්ථාව ලැබුණා. ඉන්දු - ලංකා ගිවිසුමට මඟ හෙළි කිරීමෙන් ගාමිණී දිසානායක ද අවශ්‍ය ලකුණු ලබාගත්තා.

ඒත් JRJ තම අනුප්‍රාප්තිකයා පිළිබඳ තීරණය කිසිදු වෙනසකට ලක් නොකරමින් තමා විසින්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස ආර්. ප්‍රේමදාස යෝජනා කළ අතර ලලිත් සහ ගාමිණි ලවා එය ස්ථිර කිරීමට පහසුකම් ලබාගත්තා. JRJට අවශ්‍ය වූයේ විදග්ධ දේශපාලන පැළැන්තියට පිටස්තරයකු වූ ප්‍රේමදාස අතින් බළංගොඩින් ආ කුමාරිහාමි පැරැද්දවීමටයි කියලත් කියවෙනවා.

නමුත් JRJ තම ජීවිතයට ඉතාමත් සමීප අයට පවසා ඇති බවට වාර්තා වී ඇත්තේ 82 වැනි වියෙහි සිටින තමාට වයසේ දුෂ්කරතා දැනෙමින් පවතින බවයි. වෙනත් විදිහකට කල්පනා කරන්නේ නම් සමුනිට හැ‍ඟෙන්නේ JRJ කිසියම් හෙම්බත් වීමකට ලක්වී සිටියත්, මීට අවුරුදු 9කට පෙර පුටුවල නොඇලී සිටීමේ අදහස පිළිබඳ ප්‍රකාශ කළ සූත්‍රය ප්‍රායෝගික කර ඇති බවයි.

සමුනි සමරකෝන් 

Comments