ජීවත් ව සිටි නෙරූඩාට වඩා මියගිය නෙරූඩාට බියවූ පාලකයෝ | සිළුමිණ

ජීවත් ව සිටි නෙරූඩාට වඩා මියගිය නෙරූඩාට බියවූ පාලකයෝ

විශ්වාන්තරය

“මගේ රට රුධිරයෙන් නැහැවී යනු මට බලා සිටිය නොහැකිය. එවැන්නක් යම් දිනෙක සිදුවේද එදිනම මා මියයනු ඇත” චිලී රටේ හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මකවීමට මාස කීපයකට පෙර පැබ්ලෝ නෙරූඩා පැවසුවේය.

හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මක වී හරියටම දින දොළහකට පසු ඔහු මිය ගියේය. පැබ්ලෝ නෙරූඩා සුව කළ නොහැකි රෝගයකින් පීඩා වින්දේය. එහෙත් ඔහුගේ මරණය ඉක්මන්වීමට හේතුවූයේ ඒ රෝගය පමණක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ රජය පෙරළා චිලී රාජ්‍යයේ බලය අල්ලා ගැනීමට ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණය ඔහුව මරණය කරා ළඟාකරවීය.

ලතින් ඇමෙරිකාවට සහ එහි ජනතාවට ඔහු ආදරය කළේය. විවෘත හදවතකින් සහ දෑසකින් ලෝකය දෙස බැලූ ඔහුට හමුදා කුමන්ත්‍රණය නිසා ජනතාවගේ රුධිරය ගලා යනු දැකීමෙන් දැරිය නොහැකි වේදනාවක් ඇතිවිය.

කුමන්ත්‍රණකාරීන් කවීන්ට දක්වන්නේ අප්‍රමාණ බියකි. ඔවුන් බියවන්නේ ජීවමාන කවීන්ට පමණක් නොවේ. මියගිය කවියාට ජීවත්වන කවියාට වඩා ඔවුහු බියවෙති.

පැබ්ලෝ නෙරූඩා තම ජීවිතයේ අවසාන දිනවල අවිවේකයෙන් වැඩ කරමින් පොතක් ලිවීම අවසන් කරමින් සිටියේය. ඔහුගේ අදහස් ලෝකය හමුවේ පළවීම වළකනු වස් හමුදා කුමන්ත්‍රණකරුවෝ කැරිබියන් හමුදා ඔහුගේ නිවසේ දොරටුව මුර කිරීමට යෙදවූහ.

රෝගීව සිටි නෙරූඩා නිවාස අඩස්සිය යටතට පත් කරනු ලැබිණ. ඔහුගේ පවුලේ ඥාතියකුට හෝ වෙනත් කිසිවෙකුට ඔහුව හමුවීමට අවස්ථාවක් නොලැබිණ. පැබ්ලෝ නෙරූඩා පිළිබඳ පරස්පර විරෝධි පුවත් පළවූයේ මේ අතරදීය. ඔහු මරා දමා ඇති බව සමහර ප්‍රවෘත්තිවලින් කියැවුණ අතර ඔහු අත්අඩංගුවේ පසුවන බව තවත් ප්‍රවෘත්තිවලින් කියැවිණි. නෙරූඩාගේ ජීවිතය වූ ලෝකය සමඟ පැවති ඔහුගේ සියලු සම්බන්ධතා අවහිර කෙරිණ.

එහෙත් කවියාට වෙඩිහඬ, මිනිසුන්ගේ දුක් අ‍ඳෝනා සහ සුසුම් හඬ ඇසිණ, වෙඩි බෙහෙත් ගඳ, ලේ ගඳ, පොත්පත් ගිනි තැබීමෙන් නගින දුමෙහි ගඳ, මරා දමනු ලැබූවන්ගෙන් නික්මෙන ගඳ සුළඟට මුසුව ඔහුගේ කවුළුවෙන් නිවසට ඇතුළු විය.

1973 සැප්තැම්බර් 19 වන දින ඔහුගේ රෝග තත්ත්වය අවදානම් අතට හැරිණ. සන්තියාගෝවේ පිහිටි ශාන්ත මරියා රෝහලට රැගෙන යනු ලැබූ කවියා ඒ වනවිටත් සිර මැදිරියක් බවට පත්ව තිබූ 402 වාට්ටුවට ඇතුළු කරනු ලැබීය. එහෙත් ඔහුව හමුවීමට ඥාතීන්ට හෝ හිතවතුන්ට අවසරයක් නොවීය.

1973 සැප්තැම්බර් 23 වන දින පෙරවරු 11.30 ට කවියාගේ හදවතේ ගැස්ම නතරවිය.

එදින රාත්‍රියේම හමුදා නිලධාරීහු ඔහුගේ නිවසට කඩා වැදුණහ. නිවසේ දොරටු සුනුවිසුනු කරනු ලැබූ අතර අතට අසුවූ සෑම පොතක් ම, අත්පිටපතක් ම ඔවුන්ගේ භාරයට ගනු ලැබිණ. ඔවුන්ට බිය ගෙන දුන් කවි අඩංගු ලේඛන ඉරා දමනු ලැබීය. නිවසේ තිබූ පැබ්ලෝ පිකාසෝගේ චිත්‍ර, පැරණි ඉන්දීය පිඟන් භාණ්ඩ විනාශ කර දමනු ලැබීය. අනතුරුව ඔවුහු නිවසින් පිටව යාමට පෙර නිවසේ සියලු ජල කරාම විවෘත කළහ.

මහා කවි පැබ්ලෝ නෙරූඩාගේ මෘත දේහය බහාලූ පයින් ලීයෙන් නිමවුණ චාම් දෙන ක්‍රිස්ටෝපල් කන්දේ පිහිටි ඒ වනවිට වතුරෙන් යටව තිබූ ඔහුගේ නිවෙසේ තැන්පත් කරන ලදී. නිවෙසේ බිම වතුර පිරී තිබූ බැවින් කවියාගේ හිතවත්තු ලෑලි දමා ඒ මතට නැග මෘත දේහය වටා සිටගත්හ. නිවස වටා ජනතාව රැස්වීමට පටන් ගත්හ. කවියාට අවසාන ගෞරවය දැක්වීමට පැමිණි බව ඔවුහු පැවසූහ. නිවස මුර කළ කැරිබියන් හමුදාව පිරිස පලවා හැරීමට උත්සාහ කළහ. එහෙත් එම පිරිස මෘත දේහය පසුපසින් සොහොන් බිම දක්වා ගමන් කිරීමට උසස් හමුදා නිලධාරීන්ගේ අවසරය පැතූහ.

ඒ අවසරය ලැබීමෙන් පසු අවමංගල පෙරහැර පිටත් විය. මැෂින් තුවක්කු ගත් සොල්දාදුවන් සහ කැරිබියන් හමුදාව පිරිස වටා සිටිමින් රැකවල් කළහ. ජීවත් ව සිටි නෙරූඩාට වඩා මියගිය නෙරූඩාට ඔවුහු බියවූහ.

ශාන්ත ක්‍රිස්ටෝබල් කන්දේ පිහිටි කවියාගේ නිවසේ සිට සොහොන් බිමට දුර කිලෝ මීටර් තුනක් පමණ විය. මෘත දේහය රැගෙන ගිය මග දෙපස නි‍වෙස්වල දොර කවුළු වසා අඳුරු කොට තිබිණ. සැප්තැම්බර් 25 වැනිදා කවියාගේ අවමඟුල සිදුවන බව නගරවාසීන් නොදැන සිටියා නොවේ. කවියාගේ නිවසේ සිට සොහොන් බිම දක්වා මාර්ගයද ඔවුහු දැන සිටියහ. එහෙත් මාවත්වල කණ්ඩායම් වශයෙන් ගැවසීම තහනම් කර තිබිණ.

මෘත දේහය පසුපස ගමන් කළ පිරිස ක්‍රමයෙන් වැඩිවිය. කවියාගේ නිවසින් පෙරහැර පිටත්වන විට ඒ පිටුපස ගමන් කළේ ස්වල්ප දෙනෙකු නමුදු සොහොන් බිම දොරටුව වෙත ළඟාවන විට පිරිස දෙදහස ඉක්මවා ගියේය.

1973 සැප්තැම්බර් 11 දින සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු ඔහු මිය යාමෙන් අනතුරුව චිලී රාජ්‍යය තුළ සහෝදරයා යනුවෙන් ඇමතීම තහනම් විය.

එහෙත් මෘත දේහය පිටිපස ගමන් කළ පිරිසගෙන් කෙනෙක් පැබ්ලෝ නෙරූඩා සහෝදරයා අප සමඟයි කියමින් කෑගැසුවේය. ඒ සමඟ රැස්ව සිටි පිරිස පැබ්ලෝ නෙරූඩා සහෝදරයා අප සමඟයි කියමින් කෑගැසූහ. හදිසියේම ඒ පාඨය ලියවුණ රෙදිකඩක් පිරිස අතරින් එසවිණ.

සොල්දාදුවෝ පිරිස වට කොට මුර කළ නමුදු පිරිසට අවහිර කිරීමට බියවූහ. ‍

‍සොහොන් බිමට අවමංගල පෙරහර ඇතුළුවන විට සොල්දාදුවෝ සහ කැරිබියන්වරු දහස් ගණනක් ගේට්ටු මුර කළහ. සෑම මිනී වළක් අසලම යකඩ තොප්පියක් හිස ලා ගත් සෙබළෙක් විය. සෑම සිහිවටනයකම මුවා කොට රයිපලයත් හෝ මැෂින් තුවක්කුවක් පිරිස දෙසට එල්ල කොට තිබිණ.

“සාම්ප්‍රදායික දම්වැල්වලින් අපි බැඳී නොසිටිමු. වහලුනි නැගිටිවු. තවදුරටත් වහලුන් ලෙස නොසිටිව්” පිරිසගෙන් කෙනෙක් ඒ ගීතය ගැයීමට පටන් ගත්තේය. සියල්ලෝ ම ඊට එක්වූහ.

ඒ සමඟ ම හමුදා පොලිස් නිලධාරීන් පිරිවරා ගත් ට්‍රක් රථ සොහොන් බිමට පැමිණියේය. ඒ වනවිට කවියාට අවසාන ගෞරව දැක්වීමට පැමිණ සිටි පිරිසට වඩා සොල්දාදුවන් ගණනින් වැඩි විය. එහෙත් අවමංගල උත්සවයට බාධා කිරීමට ඔවුහු උත්සාහ නොකළහ.

අනතුරුව පැබ්ලෝ නෙරූඩාගේ පද්‍ය පන්ති කීපයක් ගායනා කිරීමෙන් පසු ඔහුගේ දේහය තැන්පත් කොට අවසන් ගෞරව දක්වනු ලැබීය.

කවියාගේ අවමඟුල සිදුවන අතර සන්තියාගෝවේ සන් බරෝඩා නේවාසිකාගාරයේදී හමුදා නිලධාරීහු කවියාගේ සියලු පොත් ගිනිබත් කළහ.

Comments