
සෑම මිනිසකුට ම කවර හෝ අනාගත පැතුමක් ඇත. ඉන් සමහරක් අතිශය පෞද්ගලික ය. ඉතා දුලබ වශයෙන් යම් අයකුගේ පැතුම දෑ හිතකාමී පොදු මහත් අභිලාෂයකි. ලක් වැසියන් හා මෙදෙස විෂයයෙහි ටිබෙට් එස්. මහින්ද හිමියන් සතු වූ අනාගත පැතුම තුළ පෞද්ගලිකත්වයක් නොපෙනෙන මානයකද නොවීය. අප දේශය වෙනුවෙන්, අපගේ දරු කැල වෙනුවෙන්, ගුණ සම්පන්න ජන සමාජයක් වෙනුවෙන්, උන්වහන්සේගේ දැක්ම පුළුල් ය. පරාර්ථකාමී ය. ආධ්‍යාත්මික වශයෙන් ගැඹුරු ය. එහෙත් දැය යා යුතු මඟ පෙන්වා දෙනුයේ ඉතා සරල වහරකිනි. ඒ ජනමන වසඟ කළ කවියෙනි. විටෙක එය අවියකි. නිදහස පතා ලෙළවු විටෙක එය ළමා මනසෙහි ඇඳි චමත්කාර සිත්තමකි. වැඩිහිටියන් ළමා කාලයට කැඳවාගෙන යන ප්‍රතිජීවක ඔසුවකි. 2015 නව විෂයමාලා ප්‍රතිසංස්කරණයට අනුව ද්විතියික පන්ති අභිනව නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇරඹෙන්නේ 6 හා 10 ශ්‍රේණි වලිනි. 6 ශ්‍රේණියේ දී අභිනවයෙන් සංගීතය ඉගෙනුමට පිළිපන් දරුවාට මහත් අභිරුචියෙන් විෂය ඉගෙනීමට සැලසීමත්, ඒ තුළ අපගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමත් උදෙසා ප්‍රථම සංගීත පාඩම වන්නේ ටිබෙට් එස්. මහින්ද හිමියන් අතින් විරචිත ප්‍රාර්ථනාව හෙවත් පැතුම ස්වර ස්ථාපන ගීයක් ලෙස ගැයුමට සැලසීමයි. මෙය උන්වහන්සේ විසින් අවම වශයෙන් මීට වසර 75කට 80කට පමණ පෙර විරචිත, ඉගෙනුමට පිවිසි සිඟිති දරුවාගේ පැතුම විය යුත්තේ කවරක් දැයි පවසන ගීයයි.
හොඳ දේ හිතමී - හිතු දේ කියමී
කියු දේ කරමී - කරමින් හැදෙමී
“පැතුම” පාසලට පැමිණි දරුවාගේ සිත ගත ඉගෙනුමෙහි මෙන්ම චරිතායනයෙහි කුළු ගන්වන, අනාගත පැතුම් පවසන නවමු ගීයක් සේම, සංගීත අධ්‍යාපනයට ස්වර 2ක් පමණක් භාවිතයෙන් නිර්මාණය වූ ම විසින් හඳුන්වා දෙන නවමු හා ප්‍රථම ස්වර ස්ථාපන ගීයද වේ. (සංගීත අධ්‍යාපනය තුළ මෙතෙක් මෙවැනි ගීයක් භාවිත නොවීය)
මහින්ද හිමියන්ගේ කවි සාහිත කෙතෙන් ම විසින් අසුලාගත් මේ ක්‍ෂුද්‍ර බිජුවටය හැඟුමෙන් හා දැක්මෙන් සුවිශාල ය. එය සමස්ත අධ්‍යාපනය තුළ ව්‍යාප්ත කරනු වස් අපගේ යෝජනාව වනුයේ සංගීත පන්තිය තුළ පමණක් නොව පාසලේ සමස්ත දරු කැලට මෙය දිනපතා සිද්ධි මන්ත්‍රයක් ලෙස, ගැයීමට සැලැස්විය යුතු බවය.
මහින්ද හිමියන් විසින් අපට දුන් මේ ඉතා කුඩා එහෙත් මහඟු දායාදය ඊළඟ පියවරේදී අප විසින් තව දුරටත් සංවර්ධනය කළෙමු. ඒ අනුව සෞන්දර්ය අධ්‍යාපනයේ ජාතික දැක්ම පොදු යථාර්ථයක් බවට පත් කිරීම අප සතු වගකීම බැවින් මෙය දෙමළ බසට ද පරිවර්තනය කරවූවෙමු. ඒ මේ දේශයේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දරුවන් හොඳ දේ හිතන, කියන, කරන චරිතායනයක් ගොඩනඟා ගන්නා අයුරු දකිනු රිසියෙනි.
ඒ අනුව බෙල්වුඩ් සංගීත නිකේතනයේ සංගීත කථිකාචාර්ය මා හිතවත් දමිළ ජාතික විශ්වනාදන් සදානන්දන් විසින් මෙය දෙමළ බසට පරිවර්තනය කර දීම තුළ මහින්ද හිමි මෙහෙවර තවත් පියවරක් ඉදිරියට ගෙන යෑමට හැකි විය.
නල්ලදෙයි නීනෛප්පේන් - තිනෛත්තදේයි සොල්වේන්
සොන්න දේයි සෙයිවේන් - නල්ල වරායි වාල්වේන්
මේ ඒ දමිළ භාෂා පරිවර්තනයයි. මෙයද සිංහල ගීය පරිදි ම ගැයුමේදී ඇති විචිත්‍රවත් ය. කන්කලුය.
මේ ව්‍යායාමය තුළ සංගීත ස්වරයෙන් කන සුසර කරන්නා සේම, මහින්ද හිමියන්ගේ පද රචනයෙන් හද තත් සුසර කිරීම ද එකවර කර ගැනීමට අපට උපකාරි වන්නේ උන්වහන්සේගේ දාර්ශනික වූ, සරල, කවි පද හතරයි.
සැබැවින් ම මහින්ද හිමියන්ගේ මෙම පැතුම දරුවන්ගේ හදවත් තුළ රෝපණය කළ යුතු වන්නේ ප්‍රාථමික අධ්‍යාපන අවධියේ ම ය.
දේශයේ නිදහස පතා අප වෙනුවෙන් කවි අවිය ලෙළවූ ටිබෙට් මහින්ද හිමියන්, මෙම කාව්‍යාවේශය ලැබුයේ හෙළ හවුලේ මහා ප්‍රාඥ කුමරතුඟු මුනිදසුන්ගෙන් බිහි වූ ළමා ගී කවි සාහිත්‍ය පෙර මඟ ලකුණු සැපයීමෙන් ද යනුවෙන් මා පැණසරය. මක් නිසාද යත්, අප කුඩා කල කුමරතුංග මුනිදාසයන්ගේ “සිරිමත්” කවි පන්තිය තුළ හැදෙන වැඩෙන අපගේ සිරිත මේ යැයි කියමින් කවි බසින් හඬ නැඟුයෙමු.
“සිරිමත්” කවි පන්තියේ තෙවන කවිය වූ
“හොඳ දේ සිතුමත් - සිතු දේ කීමත්
කී දේ කැරුමත් - නොහරී සිරිමත්” යන්න
ටිබෙට් එස්. මහින්ද හිමියන් පැතුම හෙවත් ප්‍රාර්ථනය යන සිරැසින් ඊට මඳක් වෙනස් ව එක් කවක් පමණකින් ලියා තබයි. ඒ අප ඉහත දක්වන ලද හොඳ දේ හිතමී .. යන අයුරිනි.
කිවිවරු දෙදෙන ම තෝරා ගෙන ඇති ළමා කවි තේමාවන්හි සමපාත බව, වැනුම්වල සමපාත බව, මේ ඈ විවිධ කෝණයන්ගෙන් බලන කල කුමරතුඟු මුනිදසුන් මහින්ද හිමියන්ට යම් පූර්වාදර්ශයක්, දැක්මක්, මාවතක් විවර කර ගැනීමට පෙර මඟ ලකුණු සැපයූ බවක් ගම්‍ය වේ.
මහින්ද හිමියන්ගේ ළමා කවි ගී සාහිත්‍යයට අමතරව උන්වහන්සේ අතින් ලියැවුණු ජාතික කාව්‍යයන් හා දේශාභිමානී, ජාතිකාභිමානී කාව්‍ය සංග්‍රහ සෞන්දර්ය අධ්‍යාපනයේ ජාතික දැක්ම මල්පල ගන්වන්නට උපරිම වශයෙන් අප දායක කොට ගෙන ඇත.
ඒ අතුරින් උන්වහන්සේගේ සුවිශේෂ ජාතික කාව්‍යයක් ලෙස “දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල” ඉමහත් ඇගයීමට පාත්‍ර විය යුතු නිර්මාණයකි.
දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ලේ අඩංගු කවි 97 තුළින් අහඹු ලෙස තෝරා ගත් කවි 8ක් පමණක් ගීයක් බවට පත් කොට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැයූ “මුණි සිරිපා සිඹිමින්නේ” ගීය ද, සුනිල් එදිරිසිංහයන් විසින් ගයන ලද “ලක් වැසියන් කෙරෙහි නැමී” යන්නෙන් ජාතික තොටිල්ලේ දසවැනි කවියෙන් ඇරඹෙන ගීයකට ගැළපෙන ලෙස තෝරා ගත් කවි 10ක් පමණ අන්තර්ගත වූ ඒ ගීය ද, අප විෂය නිර්දේශ තුළ ගී රසවින්දනයෙහි නිසි තැන තබා ඇත.
මීට අමතරව මහින්ද හිමියන්ගේ දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ලෙන් තෝරා ගත් කවි 70ක් පමණ උචිත පරිදි පෙළ ගස්වමින් ගීත 10ක් නිර්මාණය කොට ම විසින් නිර්මාණය කරන ලද ජාතික තොටිල්ල සංගත තැටියෙන් ද, තෝරා ගත් ගී අප සංගීත හා නර්තන විෂය නිර්දේශ ඔස්සේ දැයේ දරු කැලට දායාද කොට ඇත්තෙමු. “වීරත්වය” යන සිරැසින් යුතුව තෝරා ගත් කවි 8කින් යුක්තව
“තිස්ස රජුන් හට රුහුණේ - එඩිතර කුමරෙක් ලැබුණේ
ඉන්පසු සිරිලක් දෙරණේ - ජාතික බැති මල් පිපුණේ” කවියෙන් ඇරඹෙන ගීයක්ද
“ඓතිහාසික සුලමුල” සිරැසින් යුතුව දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ලෙන් අහඹු ලෙස තෝරා පෙළ ගස්වන ලද කවි 7 කින් යුත්
“විජය තුමා තම්මැන්නේ - පිරිවර සෙන් සමඟින්නේ
සිටි සැටි දැන් සිහිවෙන්නේ - මගේ පුතා නැළවෙන්නේ” යන කවියෙන් ඇරඹෙන ගීයක් ද
අප අපේ දරුවන්ට නිර්දේශ කොට ඇත්තේ ජාතිකාභිමානය, දේශානුරාගය වඩවා ලක් මවට සැබෑ ආදරණීය පුරවැසියන් ගුණ ගරුකව හදා වඩා දෙන්නට ය.
එලෙසම උන්වහන්සේ විසින් රචිත “නිදහසේ මන්ත්‍රය” ජාතික කාව්‍යයේ කවි අතුරින් තෝරා අරුත් ප්‍රසම්බන්ධව පෙළගස්වා
“උපන්නේ පුතෙක් වී උඹ ලක් බිමට
කරන්නට නොවෙද සේවය ඇගෙ නමට
ඉතින් එ ගැන නොතකා කිසිවක් නොකොට
මැරෙන්නට හිතෙන උඹ පවිටෙකි නිවට”
යන කවියෙන් ඇරඹී එහි අන්තර්ගත කවි 3 කින් සුසැදි ම විසින් සංගීතවත් කොට ගයන ලද ගීයක් ද එසේම
“බලව් පොෙලාන්නරු අනුරා පුර පෙදෙස
සිතව් පැවති නිදහස මෙහි පෙර දවස
නඟව් තව තවත් තරසර තරුණ ගොස
වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ ඇස”
කවියෙන් ඇරඹි මා ගැයූ ගීයක් ද අප දරුවන්ගේ රසවින්දනයට යොමු කර ඇත.
උන්වහන්සේගේ උපන් වර්ෂය 1901 ලෙස අනුමාන කළ ද, 1951 මාර්තු 16 දින අපවත් වී වදාළ බැව් සාක්‍ෂි සහිතය. ජිවමානව වැඩ විසු වසර 50න් 12ක් සිකිම් දේශයේ විසූ ගිහි දරුවෙකි. ඒ අනුව මේ සා විශාල කවි ගී සාහිත්‍යයක් ලියැවෙන්නේ ජිවත් වූ වසර 38ක් තුළ ය. ඉනිදු බස උගෙන කවි ප්‍රතිභාව මතුකර ගැනීමට තවත් වසර 10ක් වත් ගත වුයේ නම්, සියලු කවි ගී ලියැවී ඇත්තේ වසර 28ක් වැනි කෙටි කාලයක් තුළ නොවේ ද? අපදානය පරිශිලනය කිරීමේ දී හැඟෙන්නේ කාව්‍ය ප්‍රබන්ධ කලාව උන්වහන්සේ තුළ වැඩෙන්නේ දොඩන්දුවේ ශ්‍රී ජිනරතන නම් වූ හිමි නමකගේ ඇසුර නිසාවෙනි. උන්වහන්සේ 1934-36 කාලය තුළ කොළඹ මරදාන ආනන්ද විද්‍යාලයේ සිංහල පාලි හා බුද්ධ ධර්මය ආදී විෂයයන් ඉගැන්වූ ගුරුවරයා ය. පාණදුර මහබෙල්ලන ශ්‍රී සුධර්මාරාමය නිත්‍ය සංඝාවාසය කොට ගත්තේ ද 1936 දී ය. ඒ අනුව බලන කළ උන්වහන්සේගේ සාහිත්‍යමය මෙහෙවර විස්මිත වන්නේ 1936 සිට 1951 දක්වා ශ්‍රී සුධර්මාරාමයේ වැඩ විසු කාලය තුළ සමාජ සේවකයකු ලෙස හා ජනප්‍රිය ධර්ම දේශකයකු ලෙස සිටිමින් එම වසර 16 තුළ මේ කවි ගී ලීවේ නම් කවර ජීව බලයක් නිසාවෙන් දැයි සිතීම පවා දුෂ්කර නිසාවෙනි.
ඊට නිසි අගය දෙනු වස් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ දෑස්, මනස් විවර කරවීමට 2008 මාර්තු 16 දින ම විසින් දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල සංගත තැටියක් ලෙස ගීයට නැඟූවෙමි. ඒ සමඟ ම මා නිර්මාණ කළ ගී ඇතුළත් ව “ජාතික තොටිල්ල” නමින් ග්‍රන්ථයක් ද පළ කළ අතර, ඒ වන විට මහින්ද හිමියන් අපවත් වී වසර 57ක් ගත වී තිබුණ ද උන්වහන්සේගේ භස්්මාවශේෂ නිසි ලෙස තැන්පත් කර නොතිබූ අතර මංජුසාවක (මුට්ටියක) දමා වහලයක එල්ලා තිබුණු අයුරු ඇතුළත් සේයා රුවක් එම ග්‍රන්ථයේ මා පළ කර ඇත.
කෙසේ වුවද එදා රට තුළ අවදි කළ හැඟුම් පල දරමින් විවිධ සංවිධානවල මැදිහත් වීමෙන් අද වන විට බෙල්ලන ශ්‍රී සුධර්මාරාමයේ උන්වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කොට ස්මාරකයක්ද, උන්වහන්සේගේ උපභෝග පරිභෝග වස්තූන් තැන්පත් කළ කෞතුකාගාරයක්ද ඉදි වූ සැටි බලා මම නිරාමිස ප්‍රීතියක් ලබමි. අද අපගේ දරු කැලට තාක්ෂණයෙන් නැණත්, කලාව සාහිත්‍ය තුළින් ගුණත්, නිසි හා ප්‍රමාණවත් ලෙස බෙදා නොදුණහොත් අනාගතයේත් මෙවැනි ආකාරයේ වීර චරිත බිහිවිය හැකි ද?