සුපිපිවිල නර්තන ප්‍රසංගය අදයි | Page 5 | සිළුමිණ

සුපිපිවිල නර්තන ප්‍රසංගය අදයි

අලුත්ගම ගනේගම පූර්වාරාම විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් පුරා වසර 07කට වැඩි කාලයක් ප්‍රදේශයේ දූ දරුවන්ට නර්තනය හදාරන්නට මගපෙන්වීම ලබා දුන් බෝසර කලානිකේතනයේ 2017 වාර්ෂික නර්තන ප්‍රසංගය සුපිපිවිලඅද (02) දින ප.ව 6.30ට අහුන්ගල්ල මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදි පැවැත්වේ.

බෝසර කලානිකේතනයේ අධිපතිනිය වන ලලිතකලාවේදි නිල්මිණි නාකන්දල මහත්මිය යටතේ උඩරට, පහතරට හා සබරගමු යන සම්ප්‍රදායන් ත්‍රිත්වයෙන්ම දක්ෂ නර්තන ශිල්පීන් රාශියක් දැයට තිළිණකර ඇත.

බෝසර කලානිකේතනයේ නර්තනය හැදෑරූ දෙරණ ලිට්ල්ස්ටාර් ප්‍රාසාංගික වැඩසටහනේ 2015 අවුරුදු 08න් පහළ දක්ෂතම තරුව වු ටාෂියා මිනිදුලී හා 2016 වසරේ දෙරණ ලිට්ල්ස්ටාර් අවුරුදු 12න් පහළ දක්ෂතම තරුව වු දෙව්මිනි සංජානා ඇතුළු බෝසර නිකේතනයේ දූ දරුවන් ඉදිරරිපත් කරනු ලබන සම්ප්‍රදායික හා නව නිර්මාණ රාශියකින් කරනු ලබන සාම්ප්‍රදායික හා නව නිර්මාණ රාශියකින් 2017 සුපිපි විල හැඩ ගැන්වී ඇත.


ශ්‍රි වික්‍රම සිනමාවට

සිංහලේ අවසන් මහරජුවන ශ්‍රි වික්‍රම රාජසිංහ චරිතය අලලා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මොහාන් නියාස් අධ්‍යක්ෂණය කරන ශ්‍රි වික්‍රම රාජසිංහ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්විණි. වෙන්ඩෝල් ලංකා ආයතනයේ අධිපති ගිහාන් ගොඩකන්ද මහතා මෙම සිනමා නිර්මාණයට නිෂ්පාදනයෙන් එක්වෙයි. බුද්දදාස විතානාරච්චි, බුද්ධික දමයන්ත, ඇතුළු නළු නිළියෝ රැසක් මීට රංගනයෙන් දායක වෙති.

මෙම ‍ඓතිහාසික සිනමා නිර්මාණයේ මුහුරත් උළෙලට එක්වු බුද්ධශාසන හා අධිකරණ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී. ‍අබේකෝන් මහතා චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වු අයුරු. ගිහාන් ගොඩකන්ද, මොහාන් නියාස් මහත්වරු ඇතුළු සිනමා රංගන ශිල්පීහු රැසක් ද මෙහි වෙති.


ජාත්‍යන්තර නාට්‍ය උලෙළට සමගාමීව නාට්‍ය වැඩමුළු මාලාවක්

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ හෙට (03 වැනිදා) සිට 09 වැනිදා තෙක් කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ වේදිකා ගතවෙයි. ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානී එම්. සෆීර්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ දේශීය විදේශීය නාට්‍යකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත ය.

06 වැනි වරටත් පැවැත්වෙන මෙය කොටස් 5 කින් සමන්විත වන අතර ආරම්භක දිනයේ සිදුවන අභිනන්දන උලෙළ මෙවර නම් කර තිබෙන්නේ ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලගේ නමිනි.ජපන් ජාතික කෙන්ජිරෝ ඔටානි ආරාධිත විදේශීය නාට්‍යකරුවා ලෙස මෙයට සහභාගි වෙයි.

04 වැනිදා – 09 දක්වා කොළඹ බ්‍රිතාන්‍ය පාසල් රංග ශාලාවේදී රාත්‍රි 7.00ට ආරම්භ වන වේදිකා නාට්‍ය දර්ශන මේ මස 04 වැනිදා - ලූෂන් බුලත්සිංහලගේ - තාරාවෝ ඉගිලෙති - ශ්‍රී ලංකාව 05 වැනිදා - ජූලියා ඩිනාගේ - ඕපිකාසෝ - ජර්මනිය - , ටිනව් මෙරිගොට්ගේ - ට්‍රොල් - ස්වීඩන් - ප්‍රංශය - විනාඩි 45, 06 වැනිදා - අදිති වේනකටේෂ්වරන්ගේ - ඉන් ට්‍රාන්ස්සිට් - ඉන්දියාව - පූනේ - විනාඩි 50, හර්ෂිකා රත්නායකගේ - 1,2,3,4 - ශ්‍රී ලංකාව - විනාඩි 30, 07 වැනිදා - අයිරිනා ට්සිපිනා - වෙන් අයිල් බිකම් අ ක්ලව්ඩ් - බෙලරූස් - විනාඩි 50, සචිත්‍ර රාහුබද්ධගේ - පියුබර්ටි - ශ්‍රී ලංකාව - විනාඩි 25, 08 වැනිදා - ආචාර්ය ම්‍රිනාල් ජොයිටි ගොස්වාමිගේ - ඉමාම් ඉමාම් පානි - ඉන්දියාව - ඇසැම් - විනාඩි 60, ක්‍රිෂාන්ත ජයබාහුගේ - ඇයි අවුල් ද? - ශ්‍රී ලංකාව - විනාඩි 25, 09 වැනිදා - දිදුල ඉඳුවර / සුනෙත් කෞෂිකගේ - වැට අද්දර වේදිකාව - ශ්‍රී ලංකාව විනාඩි 25, සුභාෂන කුරුගලගේ - ඇහැල මලයි පිට්ටනියයි - ශ්‍රී ලංකාව - විනාඩි 25, නිලංක නාමල් උඩුමුල්ලගේ - පෙන්ගුයින් - ශ්‍රී ලංකාව - විනාඩි 25 යනාදි ලෙස වේදිකා ගතවීමට නියමිතයි.

 


Crescendo night 08 දා දෙහිවල ජයසිංහ ශාලාවේදී

සංගීත ක්ෂත්‍රය තුළ ගායන ශිල්පියෙක් ලෙසත් වාදකයෙක් ලෙසත් වසර ගණනක්ම න්‍යායිකව හා ප්‍රායෝගිකව තමන් ලත් දැනුම තවත් පරපුරක් වෙත ලබාදීමේ මෙහෙවරක යෙදි සිටින ප්‍රදීප් බෝගහවත්ත ගුරැවරයෙකි.

ඔහුගේ crescendo institute of music මගින් පවත්වන Crescendo night 2017 ප්‍රසංගය අප්‍රේල් මස අට වනදා සවස 6.00ට එස් එස් ජයසිංහ ශාලාවේ දී පැවැත්වෙයි.


ධාරණ නිර්මාණ එකතුවට ආධුනික නළු නිළියන් බඳවා ගැනේ

ඇන්ටන් මිහිඳුකුල කුමුදුනි මිහිඳුකුල ප්‍රමුඛ ධාරණ නිර්මාණ එකතුවේ 35 වැනි සංවත්සරය සැමරීමේ නාට්‍ය වැඩසටහන වෙනුවෙන් වයස අවුරුදු 18-35 අතර ආධුනික නළු නිළියන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබේ. අයදුම් පත් නිර්මාණ අධ්‍යක්ෂ, අංක 4/2 විජය පාර, 3 කුරණ මීගමුව ලිපිනයට යොමුකළ යුතුය.මෙම නාට්‍ය වැඩසටහන ලබන ජූලි මස 22 දින මීගමුවෙන් ආරම්භ කිරීමට නියමිත අතර එය ගම්මාන 600 ක දී රඟ දැක්වීමට නියමිතය. 

Comments