
කොටි වලිගය
“මං දන්න විදියට නං තමන් අල්ලාගත්තෙ කොටි වලිගයක් කියල හොඳටෝ ම දැනුවත් වෙලා චිත්‍රපටියකට මුදල් වියදම් කරන්න ඉදිරිපත් වුණු එකම එක චිත්‍රපටි නිෂ්පාදකවරයයි ලංකාවේ හිටියේ.” චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ රැස්වීමක් අවසානයේ තේ කෝප්පයක් බොමින් සිටියදී අබේසේකර පැවැසුවේ විජේරත්න සමඟිනි.
“හෑබෑට...! ඒ කවුද?” විජේරත්න වහා විමසුවේ තද කුහුලකිනි.
“ඇයි අයිසේ, ‘කොටි වලිගය’ කියල චිත්‍රපටයකට නම දාලා තියෙද්දිම ඒ චිත්‍රපටියට වියදම් කරපු මනුස්සයා, මතක නැද්ද?” අබේසේකර කීවේ තක්කඩි සිනාවක් පාමිනි.
මුලින්ම කරන්ඩ ඕනෙ ඒකනෙ
“දොස්තර මහත්තයා කියන විදියට නං ඔය ඇළුමිනියම් භාජන, ප්ලාස්ටික් උපකරණ, එතකොට පොලිතින් බෑග් වගේ දේවල් තමන්ගෙ ජීවිතයෙන් ඈත් කරන තරමට ඒක ඇගට ගුණයි.” ශාන්ති කීවේ දහවල් ආහාර ගනිමින් සිටියදී ය.
“තමන්ගෙ ජීවිතේට නොගැළපෙන දේවල් ඔය විදිහට ජීවිතෙන් ඈත් කරනවා නං මුලින් ම දික්කසාද වෙලා ඉන්ඩ එපායැ හාමිනේ” චන්ද්‍රසිරි කීවේ සෝපහාසි සිනාවක් නඟමිනි.
මොකෝ බැරි
“පැය දෙකක් වගේ සුළු කාලයක් ඇතුළත මුළු ඉතිහාසයම කියන්න බැහැ කියල, අර වළගම්බා රජ කාලෙ ගැන චිත්‍රපටියක් හදපු තරුණ අධ්‍යක්ෂවරයා කියලා තිබුණා. උඹ දැක්කද?” නාඔටුන්න කීවේ අවන්හලේ වාඩි වී මීවිතක රස බලමින් සිටියදී ය.
“මොකෝ බැරි බං?” ඔය සිරිපිනා මුඩුක්කුවේ ඉන්න එක අම්මණ්ඩි කෙනෙක්. තව ගෑනියෙක් එක්ක කෙහෙවලු පටළවා ගත්තම දෙන්නා, දෙන්නගෙ මුළු ඉතිහාසයම දිග අරින්ඩ එක පැයක්වත් ගත කරන්නෙ නැහැනෙ” සෙනෙවිරත්න කීවේ කුකුල් අණ්ඩක් හපමිනි.
තව කල් තියෙනවා
“කොයි වෙලේ බැලුවත් මේසෙට ඔළුව ඔබාගෙන මොනවා හරි ලියන මනුස්සයා මොකද මේ අද කවදාවත් නැතුව වහල දිහා බලාගෙන තනියම හිනාවෙන්නෙ?” ශාන්ති තම සැමියාගේ නුහුරු ඉරියව්ව දැක ඇසුවේ තරමක විමතියකිනි.
“නෑ හාමිනේ, මේ මාසෙ අන්තිමට මට අවුරුදු හැටපහක් පිෙරනවනෙ. ආයෙත් පාරක් කසාදයක් කරගන්ඩ ඉස්සරහට හිතුණොත් ඒකට මට තව අවුරුදු 10 ක් ම ඉතුරු වෙලා තියෙනවා නේද කියල හිතුණාමයි මට හිනා ගියේ” චන්ද්‍රසිරි කීවේ කෝල ස්වරයක් ආරූඪ කර ගනිමිනි.
එතකොට නරකද?
“මොකද අර බන්දුල එයාගෙ ෂෝ එකට රුපියල් පන්දාහ, දහදාහ වගෙ ලොකු ගණන්වලට ටිකට් ගහලා තියෙන්නෙ? කාටද බං පුළුවන් ඒ වගෙ ලොකු ගණන් දීලා ඔය වගෙ ෂෝ එකක් බලන්ඩ?” විජිත චන්ද්‍රසිරි දෙස බලා කීවේ සිනාසෙමිනි.
“ඔය ලොකු ගණන්වලට ටිකට් ගහල තියෙන්නෙ විකුණන්ඩ බලාගෙන ම නෙමෙයි. ෂෝ එකේ මුළු වියදමයි, මිනිහට අවශ්‍ය ලාභයයි මිනිහා ආණ්ඩුවේ ආයතනවල අනුග්‍රහයෙන් දැනටමත් හොයාගෙන ඉවරයි. දන්නා කියන උදවියට රුපියල් පන්දාහේ, දහදාහේ ටිකට් ආරාධනා විදියට දුන්නාම ඒ අය ෂෝ එක බලලා බන්දුලට රුපියල් පන්සීය, දහ ගානේ අතමිට මොළවලා ගියත් ඒ ඔක්කොම අතිරේක ලාභනෙ.” චන්ද්‍රසිරි පැහැදිලි කරද්දී විජිත එය අසා සිටියේ මුව විවර කර ගෙන ය.
නටපු නැටුම්...!
“මානෙල්ට නැටුම් කලාවට යොමු කළේ එයාගෙ අම්මයි කියල මානෙල් කියනවා මං අහගෙන...” නිල්මිණි කීවේ තමා අසල සිටි සේපාලිකා හට ඇඟිල්‍ලකින් අනිමිනි.
“ඒකනං ඇත්ත වෙන්ඩ ඇති. මොකද දන්නවද දෙකක් දාගත්ත වෙලාවට මානෙල්‍ලගෙ තාත්තා, අම්මා තරුණ කාලෙ නටපු නැටුම් ගැන කියන කතා මම හොඳට අහලා තියෙනවා. ඉතින් අම්මා උත්සාහ කරනවා ඇත්තේ තමන්ගෙ අඩි පාරේ දුවවත් යවන්ඩ වෙන්ඩ ඇති” සේපාලිකා කීවේ සෝපහාසී සිනාවක් නඟමිනි.