විදෙස් චිත්‍රපටය | Page 2 | සිළුමිණ

විදෙස් චිත්‍රපටය

කිවිඳියකගේ ප්‍රේමය

බොලිවුඩයේ ජනප්‍රිය නිළි අනුෂ්කා ෂර්මා 2015 දී චිත්‍රපට නිෂ්පාදනයට අතගැසුවේ එන් එච් 10 සිනමාපටය නිපදවමිනි. ඇය නිපැයූ දෙවැනි චිත්‍රපටය ‘ෆිලෝරි’ පසුගිය 24 වැනි දා ප්‍රදර්ශනය ඇරැඹු අතර එදින පමණක් එම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි හතර ඉක්මවූ ආදායමක් උපයා තිබේ. ‍‍

තරුණ කන්නන් ඉන්දියාවට පැමිණෙන්නේ තම දිගුකාලීන පෙම්වතිය වූ අනූ හා විවාහ වන්නටය. එහෙත් ඔහුගේ කේන්දරයට අනුව ඔහු අනූ හා විවාහ වීමට පෙර ගසක් සමඟ විවාහ විය යුතු බව දෛවඥයෝ පවසති. එහෙයින් ඔහු ගසක් හා විවාහ වෙයි. එසේ විවාහ වූ දාම ඔහු ඉදිරියට පැමිණෙන්නේ එම ගසට අරක් ගත් සෂි නමැත්තියගේ ආත්මයයි.

එතැන් සිට දිග හැරෙන්නේ සෂිගේ අතීත කතාවයි. ෆිලෝර් ගම්මානයේ වෙසෙන සෂි දිනපතා පුවත්පතක දිනපතා පළවන කවි නොවැරැදීම ආසාවෙන් කියවයි. ගමේ අය සිතන්නේ එම කවි ලියන්නේ ගම්මානයේ තරුණ ගායකයකු වූ ෆිලෝරි කියාය. වරෙක සෂි හමුවට එන රාජ් කුමාර් ෆිලෝරි පවසන්නේ ඇය ආසාවෙන් කියවන්නේ තමා රචනා කරන පද්‍යය කියාය. ඔහුගේ කම්මුලට පහර දෙන ඇය පවසන්නේ මින්පසු බොළඳ ගී ගයමින් දක්ෂතා අපතේ නොයවා ඉහළ තත්ත්වයේ ගී ගයන්නට කියායි.

එදිනම රැයේ ඔහු හමුවට එන සෂි පවසන්නේ ෆිලෝරියා ආරූඪ නාමයෙන් කවි පබඳින්නේ තමාය කියායි. එතැන් සිට රාජ් කුමාර් ෆිලෝරි ඇය පබඳින කවි ගායනයට යොමු වෙයි. දෙදෙන පෙමින් බැඳෙති. එහෙත් ඒ බව දැනගන්නා වෛද්‍යවරයකු වූ සෂිගේ සොහොයුරා ඔවුනට එරෙහිව නැඟී සිටියි. ‍‍

වෛද්‍යවරයා හමුවට යන රාජ් කුමාර් පවසන්නේ තමා අම්රිත්සාර් වෙත ගොස් ගායකයකු ලෙස සාර්ථකව මුදල් උපයාගෙන පැමිණ බයිශාඕ දිනයේදී සෂි හා විවාහ වනවා කියාය. රාජ් කුමාර් අම්රිත්සාර් වෙත ගිය පසු සෂි වටහාගන්නේ තමා ඔහු නිසා ගැබ්ගෙන ඇති බවයි. ඒ බව රහසක් ලෙස රැකගන්නා ඇය ඉරණම් සහගත දිනය එළඹෙන තුරු බලා සිටියි. එදින මනාලියක ලෙස සැරසී සිටියද රාජ් කුමාර් පැමිණෙන්නේ නැත. හද බිඳගත් සෂි සියදිවි හානි කරගනියි. කන්නන් විවාහ වූ වෘක්ෂයට අරක්ගෙන සිටින්නේ එසේ මියගිය සෂිගේ ආත්මයයි.

සෂිගේ කතාව අසන කන්නන් හා අනු වටහා ගන්නේ සිය ආදරවන්තයා කළ පාවාදීම නිසා සෂිගේ ආත්මයට සැනසීමක් නැති බවය. ඔවුන් ඊළඟට සොයන්නේ රාජ් කුමාර් ෆිලෝරිට සිදු වූ දෙයයි. ‍

අනුගේ මිත්තණිය පැරැණි ග්‍රැමෆෝන් තැටියක් වාදනය කරවයි. එහි ඇත්තේ සෂි ලියූ රාජ් කුමාර් ගැයූ ගීයකි. රාජ් කුමාර් නියමිත දිනයේ විවාහය සඳහා නොපැමිණියේ ජල්ලියන්වල්ලා සංහාරයට හසුව මියගිය හෙයින් බව මිත්තණිය කන්නන්ට හා අනූට පැහැදිලි කර දෙයි. කන්නන් හා අනූ එක්ව සෂිගේ ආත්මය එක්කරගෙන යන්නේ ජල්ලියන්වල්ලා වෙතය. බයිශාඕ දිනය යනු ෂීක්වරුන්ගේ ආගමික උත්සවයක් පවත්වන දිනයකි. එය සෑම වසරකම අප්‍රේල් 13 හෝ 14 දිනට යෙදෙයි. 1919 අප්‍රේල් 13 දාට බයිශාඕ දිනය යෙදී තිබූ අතර එදින අම්රිත්සාර්හි ජලියන්වල්ලාහිදී ෂීක් බැතිමතුන්ට වෙඩි තැබුවේ ඉංග්‍රීසි භටයන්ය. එම සිදුවීම ජලියන්වල්ලා සංහාරය ලෙස හැඳින්වෙයි.

වසර 98කට පසු සෂිගේත් රාජ් කුමාර්ගේත් ආත්ම එක්කොට ඔවුනට සැනසුම ලබා දෙන්නට කන්නන් හා අනූ යුවළට හැකි වේවි ද? සුදිප් ෂර්මාගේ තිර රචනයකට අනුව ‘ෆිලෝරි’ අධ්‍යක්ෂණය කර ඇත්තේ නව්දීප් සිං ය. මෙම චිත්‍රපටයේ සෂි ලෙස අනුෂ්කා ෂර්මා රඟන අතර රාජ් කුමාර්ගේ චරිතයට පණ පොවන්නේ ඩිල්ජිත් ඩොසන්ජ්ය. ‘ලයිෆ් ඔෆ් පාට’ චිත්‍රපටයේ රඟපෑ සුරාජ් ෂර්මා කන්නන් ලෙස ද මෙහ්රින් සිර්සාදා අනූ ලෙස ද රංගනයේ යෙදෙති. ‘ෆිලෝරි’ මිහිරි ගීත අටක් ඇතුළත් චිත්‍රපටයකි. ‍ 

 

Comments