
ඉන්ද්‍රචාපගෙ සමීප රූප අතරෙ ලෝක කවි දිනයේත් ලෝක නාට්‍ය දිනයේත් සැමරුම් උත්සව රූපාවලී. කවි දිනය මාර්තු 21 වුණත්, සංස්කෘතික දෙපාර්තමේන්තුවෙ කවි දින සැමරුම දවසකට කලින් මාර්තු 20, නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණේ. දවසකට කලින් පැවැත්වුණා කියල නම් අවුලක් තිබුණෙ නෑ, අවුලක් විදියට පෙනුණෙ, කවියට කැමැති පිරිස දිහා බැලුවම. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවො දහ දොළොස් දෙනෙක්, වැඩිහිටි කවි කිවිඳියො පිරිසක් ඉන්ද්‍රචාප දැක්කා.
ඒත් කෝ මේ අපේ නව කවි පරපුර? ප්‍රවීණ කවි කිවිඳියො? විශ්වවිද්‍යාල කවි පරපුර? සංස්කෘතික දෙපාර්තමේන්තුවෙ වැඩ ගැන ඒ ගොල්ලන්ගෙ වැඩි විශ්වාසයක් නැතුව ද එහෙමත් නැත්නම්, නෙළුම් පොකුණ වගේ, පහුගිය අවුරුද්දෙ කවි දිනය පවත්වපු විදියට උත්සවශ්‍රීය අඩු වුණු නිසා ද කියල ඉන්ද්‍රචාප දන්නෙ නෑ.
එහෙමත් නැත්නම් මේ උත්සවේ ගැන සංස්කෘතික දෙපාර්තමේන්තුව අවශ්‍ය ප්‍රචාරය ලබල දුන්නෙ නැද්ද කියලත් හිතෙනවා. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ වැඩ ගැන විශ්වාස නොකරන අපේ කවි පරපුර සැප්තැම්බරයෙදි නම් පුදුම උනන්දුවකින් කටයුතු කරනව පේනවා, දෙපාර්තමේන්තුවෙ රාජ්‍ය සාහිත්‍ය උත්සව කාලෙදි. කවි පොත් සම්මාන ප්‍රතිඵල නිකුත් වුණා ම පොත් තෝර ගන්න වෙලාවෙදි නම් හැමෝටම දෙපාර්තමේන්තුවත් රාජ්‍ය සාහිත්‍ය සම්මානත් මතක් වෙනවා.
කවි දිනයේ දේශනා තිබුණෙ නැති වුණාට කතා බහ, සාකච්ඡා අදහස් හුවමාරු කර ගැනීම් නම් තිබුණා. මහාචාර්ය සමන්ත හේරත්ගේත් ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරගේත් සමීප රූප අතරෙ අගනුවර තරුණ කවි සමාජයේ නයුවෙක් වන ජී.එම්. අජිත් කවියගෙත් මුහුණ ඉන්ද්‍රචාපා දැක්කා.
සංවාද, කතාබහ අග, කවි ගායනා, වගේ ම අජිත් කවියගෙ අදහස් ද සභාවට එකතු වුණා. විශාල ගාල ගෝට්ටියක් නම් කවි දිනයේදී ඉන්ද්‍රචාප දුටුවෙ නෑ. ඉතා සුහදශීලී අදහස් හුවමාරුවක් හැරෙන්නට. සංවාද කියන්නෙ එකිනෙකා ඇන කොටාගන්නා මණ්ඩප වෙන්නෙ මොකටද කියන කාරණේ ඉන්ද්‍රචාපට වැටහිලා තරමක් කල්.
ඉන්ද්‍රචාපගෙ සමීප රූපාවලියෙ දැන් ඇඳෙන්නෙ ලෝක නාට්‍ය දින සැමරුම. ඒක නම් නියමිත දවසෙම, මාර්තු 27 දා ම මහත් උත්සවශ්‍රීයෙන් නෙළුම් පොකුණ රඟහල වේදිකාවෙ දිග හැරුණා. ඉන්ද්‍රචාප බලා හිටියෙ පුදුම සතුටකින්.
සිංහල නාට්‍යයේ නාමෙල් වීරමුණිත්, දෙමළ නාට්‍යයේ මානා මකීන් ද නාට්‍ය කීර්ති මහා සම්මානයෙන් පුදනු ලැබූ මොහොතේ ප්‍රේක්ෂාගාරය තම අසුන්වලින් නැගිට ඔවුන් දෙදෙනාට දැක්වූ ගෞරව ප්‍රණාමය නාට්‍යකරුවකු ජීවිතයේ එක් වරක් ලබන අසිරිමත් සතුටක් ලෙසයි ඉන්ද්‍රචාපට දැනුණේ. ජාතික නාට්‍ය උලෙළ සම්මාන ප්‍රදානෝත්සවය ඉන්ද්‍රචාපගේ සමීපරූපයේ ඇඳුණු මොහොතේ, ඊට සමගාමීව මතකයට ආවේ පසුගිය නාට්‍ය උත්සව සම්මාන උලෙළ.
විරෝධතා, සටන් පාඨ, පෝස්ටර්, සටන් පාඨ පුවරු ඔසවාගෙන වේදිකාව මත මහ දවාලක රඟ දැක්වුණු නාඩගමේ නිෂ්පාදක අධ්‍යක්ෂවරු මාර්තු 27 වැනිදා කොහි සිටියා ද කියා ඉන්ද්‍රචාප දන්නේ නැත. සම්මාන විනිශ්චය පිළිබඳ කිසිදු අදහසක් පළ කිරීමට ඉන්ද්‍රචාප ඉක්මන් නොවන්නේ අවසාන වටය සඳහා රඟදැක්වුණු නාට්‍ය සියල්ලම නරඹා නොතිබූ නිසායි.
සම්මාන උලෙළ කුමන මාධ්‍යයක වුණත්, පශ්චාත් සම්මාන විනිශ්චය කතිකා ඇතිවීම සාමාන්‍ය සිද්ධියක් බව ඉන්ද්‍රචාප දන්නවා. එහෙත් මේ උලෙළේදී සම්මානලාභීන්ට ගෞරවාන්විතව සම්මාන, සහතික හා මූල්‍ය ත්‍යාග පිරිනැමීම සිදු කළ ආකාරය ගැන සතුටක් තියෙනවා.
වේදිකාව මත කිසිදු දේශනයකින් තොරව, කාල කළමනාකරණය පිළිබඳ අවබෝධයකින් නිමා කරන්නට උත්සාහ කළ රාජ්‍ය නාට්‍ය උලෙළ සම්මාන ප්‍රදානය 2017, ලෝක නාට්‍ය දිනය ශ්‍රී ලංකාවේදී සමරන්නට යොදා ගත් පිළිවෙළ අපූරුයි.
එහි ගෞරවය සංස්කෘතික අධ්‍යක්ෂවරිය හා නාට්‍ය උපදේශක මණ්ඩලයේ හැමටම අත්විය යුතුයි. උලෙළ පුරා වේදිකා නාට්‍ය තේමාවට ළං වුණු එකදු නර්තනාංගයක් හෝ සංගීතාංගයක් (සිතාර් වාදනය හැර) නොවීම අඩුවක් සේ ඉන්ද්‍රචාපට දැනුණු බවත් සමීප රූපයේ ඇඳෙනවා.