ගාමිණී ජෝ රඟන වැලිකතර 04 වැනිදා සිට ප්‍රදර්ශනයේ | Page 2 | සිළුමිණ

ගාමිණී ජෝ රඟන වැලිකතර 04 වැනිදා සිට ප්‍රදර්ශනයේ

 

ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිෂ්ථාපනය කරන ලද ආචාර්ය ඩී. බී නිහාල්සිංහයන්ගේ වැලිකතර සිනමාපටය අප්‍රේල් 04දා චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදි නැවත ප්‍රදර්ශනය කෙරෙන අතර ඉන්පසු රටපුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරැඹේ. කතානායක කරු ජයසුරිය, ජනමාධ්‍ය හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහත්වරු මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගිවීමට නියමිතය.

ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා

'සිනමාශාලා ඩිජිටල්කරණය කිරීම කාලයක් තිස්සේ තිබෙන අදහසක්. ඒ අනුව ආචාර්ය ඩී. බී නිහාල් සිංහයන්ගේ වැලිකතර සිනමාපටය ඩිජිටල්කරණයකර නැවත ප්‍රතිස්ථාපිතකර ප්‍රදර්ශනය කිරීමට කටයුතුකර තිබෙනවා. මෙයට පෙර නිධානය සිනමාපටය ඩිජිටල්කරණයකර ප්‍රතිස්ථාපිත කළත් එම චිත්‍රපටය අපට අයිති නැති නිසා මෙරට ප්‍රදර්ශනයකළ නොහැකි වුණා. රජය දේශීය සිනමාව ඩිජිටල්කරණය කිරීමේ ගැසට් පත්‍රයක්ද නිකුත්කර තිබෙනවා. වැලිකතර සිනමාපටය මෙයට පෙර ප්‍රදර්ශනය කළ හැකිව තිබුණත් නිහාල්සිංහයන්ගේ අභාවයත් සමග එයකර ගැනීමට නොහැකිවුණා. ඒ සඳහා අපගේ ෆෝ ඉන් වන් සංවිධානයේ සහයෝගය ලබාදෙනවා.

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය නිහාල්සිංහ මහත්මිය

'චිත්‍රපටය දිරාපත්වීම ගැන නිහාල්සිංහයන්ගේ සිතේ හරිම දුකක් තිබුණා. එය නැවත අලුත්වැඩියා කළහැකි දැයි 2004 දි විතර ඔහු සොයා බැලුවා. පොසිටිව් පටය ‍හොදින් තිබූ නිසා නැවත යථාතත්ත්වයට පත්කළ හැකිවුණා. විශේෂයෙන් ශබ්දය පවා තිබූ පරිදිම නැවත යථාතත්ත්වයට පත්කළා. එහෙත් චිත්‍රපටය ඩිජිටල්කරණය කිරීමේ වැඩ අවසන්කරන තුරු ඔහුට ජීවත්වෙන්න ලැබුණේ නැහැ. ඔහුගේ සිහිනය ඉටුකිරීමට ක්‍රියාකළ ෆෝ ඉන් වන් සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා.'

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා දැක්වූ අදහසයි මේ.

'චිත්‍රපට සංස්ථාවේ පටන් ගැන්ම, වානිජ චිත්‍රපට බිහිකිරීම, ආදි සිනමා ‍ක්ෂේත්‍රයට අදාළ විශාල කාර්යභාරයක් කිරීමට අතදුන් පුද්ගලයකු ලෙස ඩී. බී නිහාල් සිංහයන් හඳුන්වන්න පුළුවන්. වැලිකතර සිනමාපටය සංරක්ෂණය කළේ එතුමාගේ පෞද්ගලික මුදල්වලින්.

රජය මෙවර අයවැයෙන් රුපියල් මිලියන 50ක් චිත්‍රපට ප්‍රතිස්ථාපනය හා මිලියන 50ක් උසස් චිත්‍රපට තැනීමට ලබාදී තිබෙනවා. හංසවිලක් චිත්‍රපටයත් ඩිජිටල්කරණයකර ප්‍රතිස්ථාපිතකර තිබෙනවා. එයත් ඉදිරියේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

පළමු පිටතට වගේම එහි රුව ගුණ විනාශ නොකර නැවත ප්‍රතිස්ථාපනයකර තිබීමයි මෙහි දැකිය හැකි සුවිශේෂිම ලක්ෂණය. රේඛාව චිත්‍රපටය ප්‍රංශ රජයෙන් නැවත ප්‍රතිස්ථාපනයකර එහි අයිතිය ඔවුන් සතු කරගෙන ඇතත් එයත් ඉදිරියේදි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමේ අදහසක් තිබෙනවා.'

60, 70 දශකවල මෙවැනි සිනමාපට ප්‍රදර්ශනයෙන් ඒ කාලයේ දක්නට ලැබුණු පරිසරය, ඇදුම් පැළඳුම්, ජීවන රටාව ආදිය වර්තමාන පරම්පරාවට සජීවීව දැක ගැනීමට අවස්ථාව ලැබෙනවා.

ශ්‍රි ලංකාවේ ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය ලෙස වාර්තාපොතට එක්වු වැලිකතර මෙරට ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිස්ථාපනය කරන ලද මුල්ම සිනමා පටය ලෙසද වාර්තාපොතට එක්වෙයි. එසේම තාක්ෂණික මෙවලම් අඩුවෙන් භාවිතාකර පළමුවරට සෑදු සිනමාස්කෝප් චිත්‍රපටය වැලිකතර වේ. සුවිනීතා අබේසේකර, ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් වැලිකතර සිනමාපටයට රංගනයෙන් දායකවෙති.

මේ අවස්ථාවට සහභාගි වු ප්‍රවීණ සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ මහතාද අදහස් දැක්වීය. 

 

 
 
 
 

Comments