
ජ්‍යෙෂ්ඨ හා කීර්තිමත් පුවත්පත් කලාවේදී අර්නස්ට් වඩුගේ ගේ අලුත්ම නවකතාවේ ‘ආදරය මිහිරක් නොවේ’ කෘතිය මට එවා තිබුණා. අලුත් ම නවකතාව යැයි මා කිව්වත් ඇත්ත වශයෙන්ම මේක ඔහුගේ මුල්ම නවකතාව වෙන්න ඕනෑ. මගේ මතකයට අනුව මෙහි පළමු මුද්‍රණය පළ වුණේ හැත්තෑ ගණන්වල මුල් භාගයේදී විතර. (1972 විතර) එතකොට අප පාසල් සිසුන්. ඒත් ඒක ‘සරසවිය’, ‘විසිතුර’ වැනි සිනමා පත්තර සඟරා මහත් ආසාවෙන් කියවන අවදිය. ‘සරසවිය’ පත්‍රයේ පිටු කාලක විතර ප්‍රමාණයේ දැන්වීමක් මේ නවකතාව අළලා පළකර තිබුණු ආකාරය මට තවමත් මතකයි.
ඒ දවස්වල දයාවංශ ජයකොඩි සහ සමාගම තමන් පළ කරන හෝ තමන් බෙදාහරින හෝ නවකතාවකට මෙසේ සිරිතක් වශයෙන් දැන්වීමක් පළ කළා. අලුත නිකුත් වූ නවකතා මොනවාදැයි පාඨකයන් දැනගත‍්තේ ඒ කුඩා දැන්වීමෙන්. ඇත්තටම ඒක හුඟක් ප්‍රතිඵලදායක වූ දැන්වීමක්. නිව්ටන් ගුණසේකර, ජයකොඩි සෙනෙවිරත්න, කුමාර කරුණාරත්න, ෂර්ලි ගෝමස්, වල්පොල ආර්. විමලසිරි යන ලේඛකයන්ගේ නවකතාවලට එසේ දැන්වීම් පළ කර තිබුණු අයුරු අදටත් මට සිහියට නඟාගන්න පුළුවන්. හැත්තෑ ගණන්වල මුල් භාගයේ ගිංතොට අර්නස්ට් කුමාර් වඩුගේ කියන්නේ බොහෝම ජනප්‍රිය නමක්. ‘කලා’ හා ‘සරසවිය’ යන සිනමා පුවත්පත් සඟරාවලින් තමයි මං හිතන්නේ ඔහු ඒ ජනප්‍රියත්වය අත්පත් කරගත්තේ.
හැත්තෑව දශකය මුල් භාගය, ජනප්‍රිය නවකතා ධාරාවේ ස්වර්ණමය අවදිය යැයි කියන්ට පුළුවන්. එකල පාඨකයන් මේ ප්‍රේම කතා සාහිත්‍යය කෙරෙහි මොනතරම් ලොල් වී ද කිවහොත් නළු නිළියන් පවා නවකතා ලියන්න පටන් ගත්තා. ටෝනි රණසිංහ (ජෝගි හමාරයි, ආදරණීය අයිරා) ජෝ අබේවික්‍රම (මහ බඹාට මුහුණු දෙකයි) ශ්‍රියානි අමරසේන, අශෝක පොන්නම්පෙරුම (ඇයි මට මෙහෙම වුණේ) අග්‍රා සජීවනි ද අල්විස් එසේ නවකතාකරණයට බට සිනමා නළු නිළියන් අතර කීප දෙනෙක්.
එකල මම මහත්සේ ප්‍රිය කළ නවකතාකරුවෙක් තමයි ෂර්ලි ගෝමස්. ඔහු ලියපු නවකතාව (‘අමුතු මිනිහෙක්’, ‘එක විදියක ආදරයක්’, ‘නිලන්ත ආපසු නෙඑයි’) ප්‍රේමය වස්තු විෂය වුණත් පුදුමාකාර අපූර්වත්වයකින් යුක්ත වූ බව ළමා හා යොවුන් අන්තර් වියේදී වුණත් ඒ පොත් කියවපු මට තේරුම් ගිය කාරණයක්. සිහිනෙන් ගෑ සුවඳක් සේ ඒ නවකතාවල මිහිරියාව අදටත් මට දැනෙනවා.
අද අර පුස්තක, මේ පුස්තක කියා සම්මාන ලබන සමහර නවකතා නිකමටවත් කියවන්න බැහැ, හරිම නීරසයි. පිටු තුන හතරක් කියවගෙන යද්දි මේක නවකතාවක් ද නැත්නම් භූගෝල විද්‍යා පොතක් ද කියා හිතෙන තරම්. එබඳු පසුබිමක ගුණසිරි සිල්වාගේ ‘කෑම්ප් එක වත්ත’ හොඳ නවකතාවක්. (මං මේක කිව්වේ අතිරේක කරුණක් වශයෙන්)
වඩුගේ මහත්තය ‘සරසවියේදි’ බොහෝම සීරියස් විදියට ලියපු ලේඛකයෙක්. “ඉන්ටෝලරන්ස්’ (ලෙස්ටර් පීරිස් සමඟ) “වේජර් ඔෆ් ෆියර්” (ටයිටස් තොටවත්ත සමඟ) යන විශිෂ්ට සිනමා කෘති අළලා ඔහු ලියූ ලිපි අදටත් මා කපාගෙන අලවා සුරක්ෂිතව තබාගෙන තිබෙනවා.
ඒත් පසුකලෙක වඩුගේ මහත්තයා ඒ සීරියස් පැත්ත අයින් කරලා ජනප්‍රිය සංස්කෘතික ප්‍රවාහයට ගැළපෙන්න ලියන්න පටන් ගත්තා. මේක එක්තරා ආකාරයක උගුලකට අසුවීමක් මං දකින්නෙ. මේ උගුලෙන් බේරී සිරියස් විදියට නවකතා ලියන්න, සාහිත්‍ය විචාර කරන්න “සරසවිය” පුවත්පතේ දීර්ඝ කාලයක් උප කර්තෘ ලෙස කටයුතු කළ සෝමවීර සේනානායකට පුළුවන්කම ලැබුණා. ඒ ඔහු උපාධිධරයකු වූ නිසා වෙන්නත් බැරි නැහැ. නැත්නම් සිනමා පත්‍ර කලාව ඇම්මට නොතිබුණු නිසා වෙන්නත් පුළුවන්.
කෙසේ වෙතත් වඩුගේ මහත්තයාගේ ජයග්‍රහණය ඔහු ජනප්‍රිය පුවත්පත් ධාරාව තුළ ඉහළම කීර්තියක් අත්පත් කරගත් මාධ්‍යවේදියකු වීමයි.
වඩුගේ මහත්තයා යටතේ කෙටි කලක් පමණ (අවුරුද්දක් විතර) සේවය කිරීමෙන් මා ලද අත්දැකීම් අතිවිශාලයි. එය වෙනමම තීරුවකින් ලිවිය යුත්තක්. ඔහු සතු අත්දැකීම්, පළපුරුද්ද දැනුම පෘථුලයි. ජාතික පුවත්පතක් සංස්කරණය කරන්න ලැබුණා නම් ඒ පත්‍රය ලංකාවේ ජනප්‍රියම ඉරිදා පුවත්පත වන බව කිසිම සැකයක් නැහැ. ඒත් ඒ භාග්‍ය වඩුගේ මහත්තයාගෙන් තවමත් මුළුමනින්ම ගිලිහී නැති බවත් කියන්න ඕනෑ,