අපිට උද­වු­කළ හැඩි දැඩි පිරි­මියා ජෝති­පාල කියල දැන­ගත්තේ ‍පසුවයි | Page 5 | සිළුමිණ

අපිට උද­වු­කළ හැඩි දැඩි පිරි­මියා ජෝති­පාල කියල දැන­ගත්තේ ‍පසුවයි

 ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන

මහනුවර වත්තේගම කියන ලස්සන ගම්මානයේ හන්තාන කන්ද ආසන්න ප්‍රදේශය දාලා කොළඹට එන්න වුණොත් මොනවගේ හැඟීමක්ද ඔබට දැනෙන්නෙ. ඒක හිතන්නත් අමාරු වැඩක් නේද..? ඒත් මට අවුරුදු හතරෙදි එම සිද්ධියට මුහුණ දෙන්න සිදු වුණා. අද වගේ මතකයි එදා අඬපු තරම්.

තාත්තා රූපවාහිනී සංස්ථාවෙ වැඩකළ නිසා එයාගෙ පහසුවට අපට නුවරින් කොළඹට එන්න සිදුවුණා. මම එන්න බෑම කිව්වා. ඒත් අපට යන්නම සිදුවුණා. ඒ ගමන මම කිව්වා ජම්බු ගහේ ගැටගහල තිබෙන ඔන්චිල්ලාව අරන් යනවනම් මම එන්නම් කියලා. අම්මයි තාත්තයි ඒකට කැමැති වුණා. අපි බඩු පැටවු ලොරියෙ නැගල ඔන්චිල්ලාවත් අරගෙන උඩුදුම්බර පාරෙන් ටික ටික කොළඹට ළං වෙච්ච ගමන අද වගේ මතකයි. ඒක හරියට සිතුවමක් වගේ හැමදාමත් මතකයේ තිබෙනවා.

• ජෝතිපාල උදවුවට ඇවිත්

අපි බඩු පැටවු ලොරියෙන් නුවරින් බැහැල එතන ඉඳන් මරදාන දුම්රිය පොළට ආවෙ කෝච්චියෙන්. මරදානෙදි දුම්රියෙන් බැහැල අම්මයි, මමයි, අයියල දෙන්නත් සමග තාත්ත මාලිගාවත්ත බලා යනකොට මට මතකයි හොඳ හැඩි දැඩි පිරිමියෙක් අපි ඉදිරියට ආවා. ඔහු තාත්තගෙන් ඇහුවා කොහෙද මේ දරු පවුලත් එක්ක යන්නෙ කියල. අපි මාලිගාවත්තට යනව කියපු ගමන්ම කොහොමද බන් දරුවො අරන් පයින් යන්නෙ ඔහොම ඉඳපන් මම කාර් එක අරන් ඇවිත් ගිහින් දාන්නම් කියා. මම දැනගත්තෙ පසුවයි එදා ඒ අපිව මාලිගාවත්තට අරගෙන ගියේ අපේ රටේ ජනප්‍රියම ගායන ශිල්පියා එච්. ආර් ජෝතිපාල කියලා. ඔහුගේ ගාම්භීර පෙනුම සහ කතාව හරිම සුහදයි.

• ආනන්දය ජීවිතය වුණා

අමාරුවෙන් වුණත් කාලයක් යනකොට මාළිගාවත්ත මහල් නිවාස ජීවිතයට අපි හුරුවුණා. අම්මා තමයි පළමුවෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයට මාව ඇතුළත්කරන්න එක්ක ගියේ. වසරක් පමාවී පාසලට ඇතුළත්කළ නිසා නියමිත පන්තියට ඇතුළත්වන්න ලැබුණේ නෑ. අපිට හැමවෙලාවෙම ආනන්ද‍ විදුහලෙන් ඉගැන්නුවෙ මේ බිත්ති හතරෙන් එහාට ලොකු ලෝකයක් තිබෙනවා යන්නයි. එහි උසස්පෙළ හදාරා විශ්වවිද්‍යාල යන්නත් වරම් ලැබුවා. ඒ ගෙවු සුන්දර කාලය සිහිවනවිටත් පුදුම සතුටක් දැනෙනවා. මට මතකයි මුලින්ම පාසලට ඇතුළත් වුයෙත් අඬ අඬා පාසලෙන් සමුගත්තෙත් අඬ අඬා. ඒ තරමටම පාසල මගේ ජිවිතය වුණා.

• පළමු ප්‍රේමය කවියක්

මගේ පාසල් යාළුවො සෙට් එක ඒ තරම්ම ඉගෙනුමට දක්ෂ නෑ කියල තමයි පාසලේම ප්‍රසිද්ධ වු‍ණේ. ඒ නිසාම අපි කාටවත් ගෑනු ළමයි කැමති නෑ. මට මතකයි මම වෙන පාසලක ගෑනු ළමයෙකුට ආදරය කළා. එයා ගැනම හිතල කවිත් ලියුවා. එතකොට මම උසස්පෙළ ඉගෙනගන්න කාලෙ. මම කොච්චර උත්සාහ කළත් ඒ ගෑනු ළමය මාව ගණන් ගත්තෙ නෑ. පස්සෙ මට මාර අවුල්. දුක වැඩිකමට කවි ලියුවා. ඒ කවි අදත් මගේ ළඟ තිබෙනවා. මටම හිතාගන්න බෑ එච්චර ලස්සන කවි සිතුවිලි පහළ වුණාද කියලා. පුළුවන් වුණොත් ඒවා පොඩි කවි පොතක් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ තරමටම ඒ කවි ලස්සනයි.

• අසාර්ථක රඟපෑම

මුලින්ම රඟපාන්න ගියේ මගේ තාත්තා සුනිල් සිරිවර්ධන අධ්‍යක්ෂණය කළ නේත්‍රාංජලී ටෙලි නාට්‍යයේ . පොඩි චරිතයක් තමයි මට ඒකෙ රඟපාන්න ලැබුණෙ. මට මතකයි ජනක කුඹුකගේ, සේනක විජේසිංහ, කුසුම් රේණු, වැනි ප්‍රවීණයන් එහි රඟපෑවා. සමහරු කියන්න ගත්තා ඩිරෙක්ටගෙ පුතා නිසා මාව අරගෙන. මට රඟපාන්න බෑ කියලා. මටම තේරුණා. මගේ රංගනය තාත්වික නෑ. අසාර්ථකයි. ඒ නිසා රඟපෑම ගැන වැඩිදුර හැදෑරිය යුතුයි කියා . මම හැමෝගෙම විහිළුවට ලක් නොවෙන්න පෙරම අනෝජා වීරසිංහ මහත්මිය යටතේ රංගනය හැදෑරුවා. අභින වැඩමුළුව අවසන් වනවිට සුමතිත සිරිවර්ධන කළ එළි බැස්සෙ ධනංජය සිරිවර්ධන නමින්. ඒ ලබපු දැනුම මගේ රංගන දිවිය ආලෝක කළා.

• සම්මාන පැසසුම්

අසෝක හඳගමගේ මහතාගේ මුල්ම ටෙලිනාට්‍යවන මේ පාරෙන් එන්න රංගන දිවියට ආලෝකය ගෙනාවා. මට මතකයි එයට නළුවකු තෝරා ගත්තේ නළුවන් විශාල පිරිසක් සම්මුණ පරීක්ෂණයකට භාජනය කරලා. එහි රංගනය වෙනුවෙන් 2005 රයිගම් ටෙලි සම්මාන උළෙලේදි හොඳම නළුවාට හිමි සම්මානය ලුබුණා. එදා තමයි බොහෝ රංගන ශිල්පීන් ධනංජය සිරිවර්ධන කව්ද කියා දැනගත්තෙ. මට හිනාවුණු සහෝදර රංගන ශිල්පීන් අතර ගිහාන් ප්‍රනාන්දු වැනි විශිෂ්ට රංගන ශිල්පීන් මගේ රංගන දිවියට උදවුකළ හැටිත් මට හොඳට මතකයි. විශේෂයෙන් මගේ තාත්තා. අනෝජා වීරසිංහ මහත්මිය, අශෝක හඳගම යන තිදෙනා මගේ ජීවිතය නව මාවතකට යොමු කළා.

2012 දෙසැම්බර් සුමති ටෙලිසම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා ලෙසත් සම්මාන ලබාගත්තා. එම සම්මානය ක්ෂේත්‍රයට ඇවිත් වසර 12කට පස්සෙ ප්‍රේක්ෂක ආදරයට ලැබුණු සම්මානයක් නිසා මගේ ජීවිතේට හරිම වටිනවා.

• ජීවිතේම ආදරෙන්

2005. 08. 08 ඇය හමුවු දවස. අද වගේ මතකයි. ඉන්දික මල්ලවාරච්චිගේ ෆොටෝ ෂූට් එකකට ගියා. ලස්සන ගෑනු ළමයෙක් ඇවිල්ලා. ඇය දැක්ක ගමන්ම මට හිතුණ මේ තමයි මගේ හිතේ ඇඳුණු කෙනා කියලා. එදා ඒ ඇතිවෙච්ච ප්‍රේමය වසර හතක් ආදරය කරලා 2013. 08. .8 දක්වා ආදරයකර විවාහ ගිවිස ගත්තා. සශිනි ෆර්ඩිනෑන්ඩු වන ඇය 2014. 04. 04 මගේ සහකාරිය කරගත්තා. එදා තමයි මගේ ජීවිතයේ නැවත ඉපදුණු දවස. ඒ හැගීම, මතකය අදටත් දැනෙන්නේ හරිම ලෙන්ගතුකමක්.

• මරුවා පෙනි පෙනී බේරුණා

2006 වසර. මාතර වැලිගම ටෙලි නාට්‍ය රූපගතකිරීමකට සහභාගිවුණා. මට තිබුණෙ කෝච්චිය ගමන්කරනකොට කෝච්චියට සමගාමීව ඇවිදගෙන යන්න. කොහොමහරි කෝච්චියෙ මගේ වම්පැත්ත වැදුණා. වු‍ෙණ් මොකද්ද කියා හිතාගන්නවත් මතක නෑ. සහිය එනවිට සිටියෙ ඉස්පිරිතාලෙ. අස්ථි තුනක් බිදිලා. පස්සෙයි දැනගත්තෙ කොළඹ මාතර රුහුණු කුමාරි සීඝුගාමී දුම්රියේයි මම වැදිලා තිබෙන්නේ කියා. සමහරු කියන්න ගත්තා ධනංජය රුහුණු කුමාරිගෙත් හැප්පිල බේරුණ කොල්ලෙක් කියලා.

ඊට ටික කාලෙකට පසුව අම්මා සහ බිරිඳ සමග නුවර යනවිට දැඩිගමදි අපේ වාහනය තවත් වාහනයක් හප්පගෙන ගියා. අපි බේර්ණේ අනූ නමයෙන්. අම්ම කාලයක් යනකම්ම බෙහෙත් ගත්තා. අපිව අනතුරට ලක්කළ එම පුද්ගලයා තවමත් නිදැල්ලේ. මේ වගේ සිද්දි ජීවිතේටම අමතක වන්නෙ නෑ. 

Comments