වෙසක් දාට ලස්සන කූඩු හදලාඒ දෙස බලා භාවනා කළ මහගම සේකර | Page 2 | සිළුමිණ

වෙසක් දාට ලස්සන කූඩු හදලාඒ දෙස බලා භාවනා කළ මහගම සේකර

මහගම සේකරයන් ගැන මා ලියූ අවසන් සම්මුඛ සාකච්ඡාව පැවැත්වූයේ 1976 වසරේදී ඔහු මිය යාමට සතියකට පෙර ‘සරසවිය’ පුවත්පත සඳහාය. එවකට මා ‘සරසවිය’ පුවත්පතේ උප කතුවරයෙක් වීමි. එහෙත් ඔහු ගැන ලියූ මා මුල්ම ලිපිය ‘සරසවිය’ට ලිව්වේ 1970. 10. 13 දිනය. ඒ දිනය මට අද මෙන් මතකය. මමත් ‘සරසවියේ’ මා මිත්‍ර ලේඛක චන්ද්‍රසිරි සෙනෙවිරත්න සමඟ (මහනුවර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ) එදා ගම්පහ ශ්‍රී බෝධි පාරේ පිහිටි ඔහුගේ නිවසට ගියෙමු. මගේ මිත්‍රයා මට සේකරයන් හඳුන්වා දුන්නේය.

එදා හොඳට හඳ පායා තිබුණු රැයකි. අපි කතා කළේ ඔහු අධ්‍යක්ෂණය කළ ‘තුංමංහන්දිය’ චිත්‍රපටය ගැනය.

“සේකර මහත්තයා, තුංමංහන්දිය රූපගත කරන කොට තිර නාටකයේම රූප ඇන්දා කියලා ජෝ අයියා (අබේවික්‍රම) කිව්වා. අපට ඉන් රූප රාමු ටිකක් දෙන්න පුළුවන් ද? එතකොට ආටිකල් තවත් හැඩ වේවි” මම කීවෙමි.

“චිත්‍ර.... නේද? මගේ තිරනාටකයේ සමහර විට ඇති.” ඔහු ගේ තුළට ගියේය.

ඉන්පසු තිර නාටකයෙන් පිටු දෙකක් ඉරා මා අතට දුන්නේය.

“අපරාදේ ඉරුවේ...”

“ඔයාගේ වැඩේ ඊට වැඩිය වැදගත්නේ. අනික මම දැන් චිත්‍රපටය හදල ඉවරයිනේ.” ඔහු අහිංසක ලෙස සිනාසෙමින් කීවේය.

ඒ රූප රාමු යට අයිසේ - ටීටර් කරත්තය - මව සහ පුතා - අබිලිං ගෙදරින් යාම, කැටයම, වෙස් මූණ, අඬන සිරිසේන, අබිලිංගේ ඡායාව, මේ රූප රාමු උඩින් සේකරයන්ගේ අත් අකුරින් ලියා තිබිණි. නිකමට මෙන් සේකරගේ සිතෙහි ‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ දර්ශන කැමරාගත කිරීම සඳහා ඔහුගේ සිතෙහි ඇඳුණු සේයාව පළමුවෙන්ම කටු සටහනකින් ඇන්දේය. ඉන් පසුවයි රූප ගත කළේ. සේකරයන් සිත්තරකු නිසා, අධ්‍යක්ෂවරයකු වශයෙන් දෘෂ්ටි ගෝචර රූප වඩා මැනවින් සකස් කිරීමට පහසු වී ඇත. ඔහු ඇඳ තිබූ සටහන් දැකීමෙන් මගේ මතකයට ආවේ “මොන්ටාජ්” නම් සිනමා සංග්‍රහයේ සත්‍යජිත් රායිගේ “පාතර් පංචාලී” චිත්‍රපටයේ දර්ශන කැමරාගත කිරීම් සඳහා ඔහු විසින්ම අඳිනු ලැබූ රූප රාමුය.

“තුංමංහන්දිය” ගැන මා ලියූ විශේෂාංගය සරසවිය පත්‍රයේ මැද පිටු දෙකක සේකර විසින් අඳින ලද රූප රාමු සමඟ මුල් වරට පළ විය. ඉන්පසු මා සේකරයන් සමඟ විටින් විට සාකච්ඡා කොට ලියූ ලිපි රැසකි. ඒ අතර ‘නවයුගය’ පත්‍රයට ලියූ ලිපි ද වෙයි. “කලා නිර්මාණය යනු කුමක් ද” යන ලිපිය මේ අතර වැදගත් යයි මට සිතිණි. එහි ඡේදයක් මට මතක් වෙයි.

“කාව්‍යමය ස්වරූපය ඇත්තේ පද්‍යවල පමණක් නොවේ. අනෙක් කලා මාධ්‍යවල ද කාව්‍යමය ස්වරූපය තිබිය හැකිය. චිත්‍රයක, මූර්තියක, චිත්‍රපටයක, නවකතාවක, ගොඩනැඟිල්ලක වුවත්, මේ කාව්‍යමය ස්වරූපය තිබිය හැකියි. අප කිසියම් වස්තුවකට ‘ලස්සන’ යයි කියන්නේ මේ කාව්‍යමය ස්වරූපය නිසායි. මේ අනුව පෙනී යන්නේ හැම කලාවකටම මුල රිද්මය බව. මෙසේ ජීවිතයත්, රිද්මයත්, අතර තදබල සම්බන්ධකමක් තිබේ. අප කරන ක්‍රියා රිද්මයකට අනුව කරන කල වෙහෙස අඩු වෙනවා. ලී ඉරන්නා කියත අදින්නේත්, බිම් කොටන්නා උදැල්ල උස් පහත් කරන්නේත්, රිද්මයකට අනුවයි. ඔරු පදින්නා රිද්මයක් අනුව හබල් ගායි. බයිසිකලය පදවන්නා රිද්මයකට අනුව පාද ක්‍රියා කරවයි. මේ රිද්මය සිතා මතා උපදවන්නක් නොව නිරායාසයෙන් ඉබේ ඇතිවන්නක්. අවමඟුලකදී අඬන පුද්ගලයෙක් “අනේ මාව දාලා යනවද” කියා පවසන්නේ එය ප්‍රශ්නයක් අසන්නාක් මෙන් නොවේ. කිසියම් ‍රිද්මයකට හැඟීමකින් යුතුව ඔහු කියන්නේ ශෛලිගත ස්වරූපයකටය.”

අප පාසල් යන කාලයේ සේකරයන්ගේ නිර්මාණ, චිත්‍ර, පරිවර්තන පළ වූයේ “රසවාහිනී” සඟරාවෙනි. ‘රුබායියාත්’ නම් ඕමාර් ඛයියාම්ගේ පද්‍යාවලිය ආශ්‍රයෙන් සකස් කරන (පරිවර්තන කරන ලද) ලිපියක් ඔහුගේ චිත්‍රත් සමඟ 1960 වසරේ පමණ පළ විය. ඉන් පද්‍ය කිහිපයක් මෙසේය.

අරුණෝදේ මා නිඳා සිටින විට

තුළින් අවන් හල හඬක් ඇසිණි මට!
“දිවි සුරාව සිඳි - ලා යන්නට පෙර
පුරවාපන් විත! පුරවාපන් විත!”

කුකුළා හඬලන කලට අවන් හල්

දොර ළඟ රැක හිඳ කෑගැසුවෝ දන!
“ඇරපන් දොර! ටික දවසයි ඉන්නේ
ගියාට පසු නෑ - ආපසු එන්නේ!”

සීත කාලයේ තැවිලි පිළිය ඇඳ
වසන්තයේ ගින්නට විසි කරල්ලා
පුරවාපන් විත! කාල කුරුල්ලා
ඉගිළී යනවා - ඉක්මන් කරලා!

තවත් වරෙක මා සමඟ සේකරයන් කළ සංවාදයකදී මෙසේ සඳහන් කළේය:

“සමාජයේ ජීවත්වන අපි සමාජයෙන් මෙන්ම අවට පරිසරයෙන්ද නා නා විධ අත්දැකීම් නිතර ලබන්නෙමු. මේ අත්දැකීම ප්‍රබල හෝ දුර්වල විය හැකිය. එහෙත් එම අත්දැකීමකින්ම කිසියම් වින්දනයක් ද අපට ලැබේ. අපට විපතක් සිදු වූ විට අපේ සිතෙහි කනස්සල්ලක් හට ගනී. හිතවත් මිතුරෙකු බොහෝ කලකට පසු හමු වූ විට අපට සතුටක් ඇති වේ. යමකු අකටයුත්තක් කරනු දකින විට අපේ සිතෙහි කෝපයක් උපදී. එසේම රෝගී දරුවකු දැකීමෙන් අපට ශෝකයක් උපදින්නට පුළුවන. රාත්‍රියේ තාරකාවලින් පිරී ගිය අහස්තලය දැකීමෙන් විස්මයක් ඇති විය හැකිය. ඉදී බිම වැටී ගිය කොළයක වර්ණ සෞන්දර්යයෙන් අපේ සිත පිනා යන්නට පුළුවන.”

හැත්තෑව දශකයේ මැද දිනක නව රඟහලේ දී සේකරයන් මට මුණ ගැසුණේය. එදින දයානන්ද ගුණවර්ධනගේ “ගජමන් පුවත” නාට්‍යයේ පුහුණුවීම් පැවැති දිනයකි.

“හම්බ වෙච්ච එක හොඳයි, පොඩි බඩ්ඩක් ලිව්වා. මේක කන්තෝරුවට ගිහින් කියවන්න.”

“මොකක්ද?” මම කුතූහලයෙන් යුතුව ඇසුවෙමි.

“ඉස්සෙල්ලාම ලියපු කෙටිකතාව”

“අපි මේක ‘නවයුගය’ පත්තරේට දාමු.”

“හොඳ නං විතරක්. රන්ජිත්ම චිත්‍රයක් ඇඳලා දාන්න.”

එකල මම විශේෂාංග ලියන අතර චිත්‍ර ද ‘නවයුගය’ට ඇන්දෙමි.

පසුදා මම සේකරයන්ගේ ‘පීතර’ නම් දිග කෙටිකතාව කියවා අසීමිත ආස්වාදයක් ලබා එය ‘නවයුගය’ නියෝජ්‍ය කර්තෘ සෝමවීර සේනානායකට දුනිමි. ‘නවයුගය’ ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා මහතා වුවද පත්‍රය සම්පූර්ණයෙන්ම නිම කළේ සෝමවීර හා නිමල් පෙරේරා අභයවර්ධන මහතාය. ඔවුන්ට සහාය වූයේ මා ය.

සේකරයන්ගේ කුලුඳුල් කෙටිකතාව ‘පීතර’ කොටස් දෙකකින් ‘නවයුගය’ පත්‍රයේ පළ වූයේ (1975 අගෝස්තු 15 දා) මගේ චිත්‍රයක් සමඟය. මහගම සේකර එකල දක්ෂම පොත් කංචුක චිත්‍ර ශිල්පියෙකි. මගේ වීරයකු වූ ඔහුගේ කෙටිකතාවකට චිත්‍රයක් ඇඳීමට ලැබීම කොයිතරම් භාග්‍යයක් ද? ඉන්පසු ඔහු ලියූ “මං තනන්නෝ” කෙටිකතාව ද මගේ චිත්‍රයක් සමඟ නවයුගයේම පළ විය.

මහගම සේකරයන් වරක් තම ජීවිතයේ රසවත් තොරතුරු මට පැවසුවේය. එකල ඔහු රජයේ කලායතනයේ (අද සෞන්දර්ය විශ්වවිද්‍යාලය) විදුහල්පතිවරයාය.

“මම උපන්නේ 1929 අප්‍රේල් 07 වැනිදා රදාවාන ගමේ. මම පවුලේ එකම දරුවා. පුංචි කාලේ ඉඳලම කලාවට ඇලුම් කළා. රදාවානේ පිරිමි පාසල (අද මහගමසේකර විද්‍යාලය) මා සමඟ එකට ඉගෙන ගත් යාළුවෙක් තමයි කේ. ජයතිලක (ප්‍රකට ලේඛක) අපි අතරේ ඥාති සම්බන්ධයකුත් තිබුණා. ජයතිලකගේ සීයාත් (මවගේ පියා) මගේ මවත් සහෝදර සහෝදරියෝ අපි දෙන්නා “විජයාවතරණය” කියන වේදිකා නාට්‍යයේ රඟපාලත් තියෙනවා. ජයතිලක රඟපෑවේ තාපසයකුට. මම රඟපෑවේ ඇමැතියෙකුට. එතකොට අපි දෙන්නටම වයස අවුරුදු 12ක් විතර ඇති. මේ නාට්‍යයේ තවත් චරිතයක් රඟපෑවා - දො. ඩ. ඩයස්. (රදාවාන විද්‍යාලයේ විදුහල්පති වූ ඔහු පසුව සිළුමිණ කර්තෘ මණ්ඩලයෙත් සේවය කළේය.)”

චිත්‍ර ඇඳීමට, කවි ලිවීමට, කතා ගෙතීමට මෙන්ම සේකරයන් පාසලේ සිටි ගණන්කාරයා ද විය. ගණන්කාරයා කීවේ චණ්ඩිකමට නොව අංක ගණිතය ඔහු තරම් සමතෙක් පාසලේ නොසිටි නිසාය.

 

එපමණක් නොව ක්‍රීඩාවට ද ඔහු සමතෙකි. ගම්පහ දිස්ත්‍රික්කයේ වොලිබෝල් ක්‍රීඩාවෙන් කැපී පෙනුණ සේකරගේ ඩෑෂ් පහර බැලීමට එකල ක්‍රීඩා ලෝලයෝ ප්‍රිය කළහ. හැඩි දැඩි, උසින් වැඩි මේ ක්‍රීඩා ශූර සිසුවා හා කරට කර සිටියේ පසු කලෙක චිත්‍රපට නළුවකු වූ සේනාධීර රූපසිංහය.

සේකරයන්ගේ බාප්පා ගමේ නාට්‍ය තාවකාලික නාට්‍ය ශාලාවක් ගොඩනඟා, කොළඹින් ද, මීගමුවෙන් ද නාට්‍ය කණ්ඩායම් ගෙන්වා ප්‍රදර්ශනය කර තිබේ. මේ නාට්‍ය එදා හැඳින්වූයේ ටීටර් නමිනි. බෙන්ජමින් ප්‍රනාන්දු හා සෙබස්තියන් පීරිස් ගැයූ ගීතවලට තමා බෙහෙවින් ඇලුම් කළ බව සේකර එදා අපට විස්තර කළේය. බාප්පා පසුව සේකරයන්ගේ තාත්තාත් හවුල් කරගෙන නාට්‍ය ලියා නිෂ්පාදනය කොට ගමේ පෙන්නවා ඇත. මේ නාට්‍යවල පිළිගැනීමේ ගීතය ගයා ඇත්තේ එකොළොස් හැවිරිදි සේකර ය. “සැරදේ ලොව පාලන සුරනා” යනුවෙන් ඔහු ළමා කළ ගැයූ ගීතය ගයමින් එදා අපට අතීතය සිහිපත් කළේය. සේකරයන් අවසන් වරට මට හමු වූයේ රජයේ කලායතනයේදී 1975 වසරේ ජනවාරි 05 වැනිදා “සරසවිය” ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාර සමඟ එක්තරා උදෑසනකදීය. සේකරයන්ගේ විදුහල්පති කාමරයේම රෙජිස්ට්‍රාර් එස්. ඒ. ප්‍රේමරත්නගේ (නාට්‍ය නිෂ්පාදකවරයකු වූ ඔහු “පරසතුරෝ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය) මේසය ද තිබිණි. සේකර දුම්වැටියක් දල්වාගෙන දකුණු අතට බර දී වම් අතින් දකුණු අත අල්ලා ගත්තේය.

“බන්දු, සේකර මහත්තයා‍ගේ පින්තූරයක් ගම්මු.” මම බන්දු කොඩිකාරට කීවෙමි. බන්දු ඉඳගෙන සිටි අසුනට පිටුපසින් තිබු ජනේලයෙන් එන ස්වභාවික ආලෝකය පිහිටට ගෙන අපූරු පින්තූරයක් ගත්තේය. එදා සේකරයන් අප කළ කතාබහෙන් ජීවිතයේ නිසරු බව වඩාත් මතුව පෙනිණ. මා එකල සරසවිය පුවත්පතට ලියූ “සතුටු සමීචිය” විශේෂාංගයෙන් මම මේ අදහස් ගොනු කර ලිවීමි. තමා ලියූ ගීත සුභාවිත ගීත සාහිත්‍යයක් බිහි කිරීමට දායක වූ ගායක ගායිකාවන් ගැයුවත්, තමා එතෙක් ගී නොලියූ එච්. ආර්. ජෝතිපාලට, මිල්ටන් මල්ලවආරච්චිට, මිල්ටන් පෙරේරාට හා එම්. එස්. ප්‍රනාන්දුට ගී ලිවීමට කැමැත්තෙන් හා ආසාවෙන් සිටින බව සේකරයන් මට කීවේය. මේ සිවුදෙනා අගය කළ ඔහු විශේෂයෙන් එම්. ඇස්. ගේ ‘බෝල බෝල මැටි එක එක ගෙනෙනවා’ ගීත රචනය අගය කළේ එය ගයමින් උදාහරණ සපයමිනි. සේකරයන් ඒ හතර දෙනාට ගීත ලිවීමට සැදී පැහැදී සිටි අතර ඒ සඳහා කපුකම කිරීමට මා තෝරා ගත්තේය. මිල්ටන් පෙරේරා “සිරි සාර බුලත් විට කාලා බලන්” ගීත සඳහා සුදුසුම ගායකයා ඔහු බවත්, සාරයියාට රඟපාන ජෝ අබේවික්‍රමට සුදුසු ඔහුගේ කටහඬ බවත්, සංගීත අධ්‍යක්ෂක අමරදේවයන්ට යෝජනා කර ඇත්තේ ද සේකරයන්මය.

මා ලියූ සරසවියේ (1976 ජනවාරි මුල) පළ වන විට ජෝතිපාල, මල්ලවආරච්චි, මිල්ටන්, හා එම්. එස්. ජීවතුන් අතර සිටි අතර පුවත්පත බැලු ඔවූහු සේකරයන්ගේ නිහතමානී ප්‍රකාශය ගැන සිය ප්‍රසාදය පළ කළහ.

එදා සේකරයන් අවසන් වරට හමුවන අවස්ථාවේ “ප්‍රබුද්ධ” කාව්‍ය සංග්‍රහයේ අත් පිටපත දිගහැර එහි පද්‍ය කිහිපයක් මා ඉදිරියේ කියවීය. මම ඒවා සටහන් කර අතර මුල් වරට ඒ කවි ද විශේෂාංගයට ඇතුළත් කළෙමි.

“මගේ අලුත්ම චිත්‍රපට කතාව කවියෙන් ලියලා ළඟදීම රූපගත කරනවා. කවියෙන් ලියලා තියෙන්නේ චිත්‍රපටයට නඟන ආකාරයටමයි.” සේකරයන් කීවේය. ඔහුට එය කිරීමට ඉඩ ලැබුණේ නැත. 1976 ජනවාරි 07 වැනිදා ලිපිය පළ වූ අතර ජනවාරි 14 වැනිදා අප අතරින් වෙන් විය. එදා (1976) පිටපත් එක්ලක්ෂ විසිපන්දාහක් අලෙවි වූ ‘සරසවිය’ පුවත්පතේ මුල් පිටුව සැරසුවේ බන්දු කොඩිකාර ගත් මහගමසේකරගේ පින්තූරයයි.

සේකරයන්ගේ දියණියක වූ නිරූපමා වීරසූරිය (මහගමසේකර) කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කළ කාලයේ ඇය කලකට ඉහත මා සමඟ කී කතාවක් මගේ මතකයට එයි.

“තාත්තට ගීත රාශියක් කට පාඩම්. ඒ වගේම ලස්සනට ගීත ගයන්නත් පුළුවන්. තාත්තා ගයපු ‘අන්න බලන් සඳ’ ‘සුවඳ පද්ම ඕලූ ආදි’, ‘ප්‍රේමයෙන් මන රංජිත වේ’, ‘කවාලා විලඳ ජාති’, ‘සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ’ ගීත අපටත් පාඩම් තිබුණා. ඒ කාලේ අපි පදිංචිව සිටියේ ගම්පහ ශ්‍රී මහ බෝධියේ පාරක. මේ ගෙදර ඉඳලා තාත්තගේ මහගෙදර (කන්නිමහර) ඉන්න ආතාත් ආච්චිත් බලන්න නිතර ගියා. ආතාත් (ජෝන් අප්පුහාමි) ආච්චිවත් අපිට ගොඩක් ආදරෙයි. ආතා පොත් කියවන්න රුසියෙක්.”

නිරූපමා කියන විදිහට තම පියා කෑම මේසය ළඟ පුටුවක ඉඳගෙන රෑ වන තුරු පොත් කියවා ඇත. තම පියා සෑම විෂයයකම පොත් කිය වූ බවයි ඇගේ මතකය.

“තාත්තා චිත්‍රයක් අඳින විට අපි දඟ කළොත් උපායශීලීව අපවත් චිත්‍ර අඳින්න පුරුදු කරනවා. ඒ වෙලාවට ඩ්‍රෝවින් පොත් දීලා, පාට පැන්සල්, පැස්ටල් දීලා, අපේ ගෙදර අවට තියෙන දේවල් අඳින්න කියනවා. තාත්තා කවියක් හරි ගීතයක් හෝ ලිපියක් ලියන විට කඩදාසි අපට දීලා අවට තිබෙන දේවල් ගැන රචනා ලියන්න කියනවා. අනියම් ලෙස අපිව රස විඳින්න පුරුදු කළේ එහෙම. මේ උපක්‍රම නිසා තාත්තාට තාත්තගේ වැඩ කරගන්නත් විවේකයක් ලැබෙනවා, අපේ කරදරවලින් මිදිලා. මේ ආකාරයට මමත් මල්ලිත් චිත්‍රවලටත්, අක්කා කවි ලියන්නත් පෙලඹුණා. අවසන් වරට පට්ටිපොළට අපි විනෝද ගමනක් ගිය හැටි මතක් වෙනවා. තාත්තා අවට සෞන්දර්යය චිත්‍රයට නැඟුවා. අක්කා කවි ලිව්වා. මල්ලියි මමයි චිත්‍ර ඇන්දා.”

තම පියා අවසාන කාලයේ වැඩිපුර ඇසුරු කළේ මහාචාර්ය ජෝතිය ධීරසේකර (පසුව පැවිදි විය) බන්දුල ජයවර්ධන, කේ. ජයතිලක, එච්. ඇම්. මොරටුවගම වැනි අයයි. අන්තිම කාලයේ ඔහු බෞද්ධ පොත්පත් රැසක් කියවා ඇත. ධම්මපදය, ත්‍රිපිටකය ඒ අතර විශේෂය.

“තාත්තා ‘ප්‍රබුද්ධ’ ලියන කාලේ ගම්පහ ඉඳිගොල්ල පන්සලේ භාවනා කළා. මට මතකයි වෙසක් දාට ලස්සන කූඩු හදලා රෑට පහන් දල්වා ඒ දෙස භාවනා කරනවා වගේ බලන් ඉන්නවා. අදටත් හැම වෙසක් පෝයකටම මට මේ දර්ශනය මැවිලා පෙනෙනවා” නිරූපමා කීවාය.

මහගමසේකරයන්ගේ වැඩිමහල් දියණිය පාඨලී මහගමසේකර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ කථිකාචාර්යවරියකි. පුතු රවින්ද මහගමසේකර පරිගණක ඉංජිනේරුවෙකි.

මහගමසේකරයන්ගේ බිරිය කුසුමලතා මහගමසේකර (සුරවීර) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. ඇය උපාධියට සිංහල, පාලි, සංස්කෘත හදාළාය. ගම්පහ රත්නාවලී විද්‍යාලයේත්, බොරැල්ලේ රත්නාවලී විද්‍යාලයේත් ආචාර්යවරියකව ‍සිට විශ්‍රාම ලබා තම ජිවිතයේ සන්ධ්‍යා කාලය වැඩිමහල් දියණිය සමීපයේ ගත කරන්නීය.

Comments