BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

 චෝදනාවලට බිපාෂාගෙන් පිළිතුරු

ලන්ඩන් නුවර පැවැත්වුණු මෝස්තර නිරූපණ සංදර්ශනයකට ඇරයුම් ලද සුරූපී නිළි බිපාෂා බාසු, අවසන් මොහොතේදී එයට සහභාගි නොවූ කතාවක් පසුගිය සතියක මේ පිටුවේ සටහන් වුණා. මේ සිදුවීමෙන් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ එම සංදර්ශනයේ සංවිධායකවරුන් පැවසුවේ බිපාෂා ඊට සහභාගි වීමට එකඟ වී ස්ටර්ලින් පවුම් 7,800ක මුදලක් ද ලබාගෙන ලන්ඩනයේ හෝටල් කාමරයට වී සිටි බවයි. එදා ඔවුන් එල්ල කළ එම චෝදනාවට බිපාෂා බාසු අද උත්තර දී තිබෙනවා.

බිපාෂා පවසන්නේ තමන් කිසිදු ‍මොහොතක කිසිවකුගේ පදයට නටන්නට ලෑස්ති නැති බවයි. ඇය සමඟ ඇගේ සැමියා වන කරන් සිං ග්‍රෝවර් ද අදහස් දක්වා තිබුණා.

“මම මේ සංදර්ශනයට සහභාගි වෙන්න ගියේ කොන්දේසි කිහිපයකට එකඟ වීමෙන් පස්සෙ. කලින් නියම කරගත් විදිහට මම ලන්ඩන්වලට ගියා. එතනදි මට තේරුණා, සංවිධායකවරු කලින් ගිවිස ගත්ත මුදලට වඩා අඩුවෙන් ගෙවන්න ලෑස්ති වෙනවාය කියලා. මීට කලින් මම මේ විදිහේ නොසලකා හැරීමකට ලක්වෙලා නැහැ. මම ආත්ම ගෞරවය රැකගෙන හිටියා. කාගෙවත් පදයට නටන්න ගියෙ නැහැ, කාටවත් මාව මෝඩයාට අන්දන්න දුන්නෙ නැහැ” බිපාෂා එලෙස ප්‍රතිචාර දැක්වූවා. සංවිධායකවරුන් ස්ටර්ලින් පවුම් 7,800ක් ගෙවූ බවට නැ‍ඟෙන චෝදනාවට බිපාෂා මෙලෙස උත්තර බැන්දා... “ලන්ඩන්වලට ඇවිත් හොටෙල් එකක් බුක් කරගත්තෙ මගේම වියදමින්. මම නම් කවදාවත් මේ වගේ අනුකම්පා විරහිත අත්දැකීමක් කාගෙන්වත් ලැබිල නැහැ. මම විශ්වාස කරන්නෙ අපි නිතරම ආත්ම ගෞරවය රැකගෙන ජීවත් වෙන්න ඕනෙ කියලයි. ඒ නිසයි මම එදා නිරූපණ සංදර්ශනයට නොගියේ.”

 කට්රිනාගේ බෙල්ල බේරුණේ අනූනවයෙන්

චිත්‍රපට රූගත කිරීම්වලදී නළු නිළියන්ට නොයෙකුත් හදිසි අනතුරු සිදු වෙනවා. ඇතැම් අය සිතන්නේ චිත්‍රපටයක රඟපෑම හරිම පහසු කාර්යයක් කියලයි. නමුත් රංගනය ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. පසුගියදා කට්රිනා කායිෆ්ට සිදුවූ දෙයත් එයට හොඳම සාක්ෂියක්. අනුරාග් බාසු අධ්‍යක්ෂණය කරන ‘ජග්ගා ජාසුස්’ චිත්‍රපටයේ දර්ශනයක රඟපාමින් සිටිද්දී කට්රිනාට අනතුරක් සිදුවෙලා. දැන ගන්නට ලැබෙන හැටියට නම් කිසියම් බර දෙයක් ඇයගේ සිරුර වෙතට පෙරළිලා. එයින් ඇගේ ගෙල පෙදෙස සහ පිට ප්‍රදේශයට තුවාල සිදුවී ඇති බවයි පැවසෙන්නේ. අනතුර සිදු වූ හැටියෙම කට්රිනාව වෛද්‍යවරයකු වෙතට ගෙන යෑමට චිත්‍රපට කණ්ඩායම කටයුතු කර තිබුණා. කට්රිනාව පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී පවසා ඇත්තේ දින කිහිපයක් යනතුරු විවේක ගන්නා ලෙසයි. සිරුර වෙහෙසන කිසිම කටයුත්තක නොයෙදෙන ලෙස ද ඇයට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.

 සැත්කමෙන් පසු අලුත් වුණු ඛාන්ලාගේ මිතුරුකම

සැත්කම් කිහිපයකටම මුහුණ දී ‘වාර්තාවක්’ තබන්නට හැකිවූ සුපිරු තරුව තමයි, ශාරුක් ඛාන්. ඒ සැත්කම්වලට ඔහුට යොමුවන්නට සිදු වුණේ දණහිස්වල සහ පාදයේ යම් යම් තැන්වල හටගත් ආබාධ සුව කර ගන්නටයි.

මේ සැත්කම්වලින් සුවය ලබා සුපුරුදු පරිදි චිත්‍රපටවල රඟපාමින් සිටිද්දී ඔහුගේ වම් උරහිසෙහි ආබාධයක් මතුවෙලා. එය පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහුට උපදෙස් දුන්නේ සැත්කමක් කරගන්නා ලෙසයි. ඒ අනුව රෝහල් ගතවී ඉක්මණින් සැත්කමක් කරගත් ශාරුක්, මේ වන විට සුවය ලබා සිටිනවා. රෝහල් ගතවී සිටිද්දී ශාරුක්ගේ තත්ත්වය සොයා බැලීමට පැමිණි අමුත්තන් දෙදෙනකු ගැන බොලිවුඩ් මාධ්‍ය මහත් ඕනෑකමකින් විස්තර සඳහන් කර තිබුණා. ඒ දෙදෙනා තමයි, සුපිරි නළු අමීර් ඛාන් සහ නෙට්ෆ්ලික්ස් නම්වූ සමාගමේ ප්‍රධාන විධායක රීඩ් හාස්ටින්ස්. සුවය ලබා නිවෙසට පැමිණි ශාරුක්, මේ දෙදෙනා වෙනුවෙන්ම විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූවා. මේ හේතුවෙන් අමීර් සහ රීඩ් සමඟ මෙතෙක් පැවැති හිතවත්කම් අලුත් කර ගැනීමට ශාරුක්ට හැකි වුණා.

රීඩ් හාස්ටින්ස් සහ ශාරුක් අතර හිතවත්කමක් ඇතිවුණේ ශාරුක්ගේ රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට්ස් නම්වූ සිනමා සමාගම රීඩ්ගේ නෙට්ෆ්ලික්ස් සමාගම සමඟ පසුගිය වසරේ එකට එක්වී චිත්‍රපට නිෂ්පාදන කටයුතු සිදුකළ නිසයි. මේ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසුව ශාරුක් සහ අමීර් හොඳ මිතුරන් බවට පත්වී සිනමා ලෝකයේ ඉදිරි කටයුතු ගැන කිහිප වතාවක්ම කතාබහ කළ බවයි පැවසෙන්නේ.

 බීබර් සමඟ සොනාක්ෂි

රංගනයටත් නර්තනයටත් හපන්කම් පාන ජනප්‍රිය නිළි සොනාක්ෂි සිංහ බොලිවුඩ් පුරයේදී හොලිවුඩ් ගායන ශිල්පියකු සමඟ එකම වේදිකාවේ නර්තන විලාසයන් ඉදිරිපත් කරන්නට සූදානම් වෙනවා. ලොව පුරා යොවුන් රසික කැළ උන්මාදයට පත්කළ ජස්ටින් බීබර් සමඟ ඇය එලෙස නර්තන අංගයන් ඉදිරිපත් කරන්නේ, මුම්බායි නුවර මැයි 10 දා පැවැත්වෙන ප්‍රසංගයේදී. මේ ප්‍රසංගයේදී සොනාක්ෂි, ජස්ටින් බීබර් සමඟ ගීතයක් ගයනු ඇතැයි ද පැවසෙනවා.

“ඇත්තටම මම බීබර්ගේ සින්දුවලට හරිම ආසයි. පහුගිය කාලෙ එයාගෙ සින්දු කොච්චර ජනප්‍රිය වුණාද කියල මම දන්නවා. අද එයාට මුළු ලෝකය පුරා පැතිරුණු රසික ජනතාවක් ඉන්නවා. ඉතින්, මම මේ ප්‍රසංගයට සහභාගි වෙන්නෙ හරිම කැමැත්තකින්.” සොනාක්ෂි පැවසුවා. බීබර්ගේ ප්‍රසංගයට සොනාක්ෂි සහභාගි වන බව එම ප්‍රසංගය සංවිධානය කරන වයිට් ෆොක්ස් ඉන්ඩියා ආයතනයේ අධ්‍යක්ෂ අරුන් ජායින් ද තහවුරු කළා. 

 

Comments