සුරංගනා කතාවක සිනමා ප්‍රවිෂ්ටය | Page 2 | සිළුමිණ

සුරංගනා කතාවක සිනමා ප්‍රවිෂ්ටය

Beauty and the Beast

ධනවත් රජ කුමරකු සිය මාලිගයේ ප්‍රියසාදයක් පවත්වමින් සිටියදී එහි ඇතුළුවන යාචක ස්ත්‍රියකි. රෝස මලක් කුමරුට දෙන එම යාචක ස්ත්‍රිය කුමරුට පවසන්නේ බාහිර පෙනුමෙන් කිසිවකු විනිශ්චය කරන්නට එපා කියාය. එම අවවාදය පිළිනොගෙන කුමරු ඇයට අවමන් කරද්දී ඇය රූමත් මන්ත්‍රකාරියකගේ වෙස් ගෙන ශාප කරන්නේ කුමරුට බිහිසුණු පෙනුමක් ලැබේවා කියාය. ඒ සමඟම ඇය මාලිගයේ සේවක සේවිකාවන් ද විවිධ ගෘහ භාණ්ඩ බවට පත් කරයි. ප්‍රේම කිරීමට ඉගෙන ගෙන කෙනකුගේ ප්‍රේමය දිනාගන්නට හැකි වුවහොත් කුමරුට යළි නියම ස්වරූපය ලැබෙන බවත් තමන් තිළිණ කළ රෝස මලේ අවසන් පෙත්ත ගිලිහී යාමට පෙර එය සිදුවිය යුතු බවත් මන්ත්‍රකාරිය පවසයි.

එක්තරා පිටිසරබද ගම්මානයක බෙලෙ නමැති යුවතිය වෙසෙන අතර ඇය ඒකාකාරී ගැමි දිවිය අප්‍රිය කරයි. ඒ අතරතුර ගමේ වෙසෙන දඩයක්කරු ගැස්ටන් උත්සාහ දරන්නේ ඇගේ ප්‍රේමය දිනා ගන්නටය. බෙලෙගේ පියා මොරිස් වරෙක අසු පිට නැඟී ගමෙන් පිටවන්නේ තමන් නිපැයූ සංගීත භාණ්ඩයක් අලෙවි කරගන්නටය. වෘක රැළක් ඔහු පසුපස එළවද්දී ඔහු ඇතුළු වන්නේ මන්ත්‍රකාරියගේ ශාපයට හසු වූ කුමරුගේ මාලිගයටය. මොරිස් එහි සිරකරුවකු බවට පත්වෙයි.

මොරිස් නොමැතිව තනිවම ගමට එන මොරිස්ගේ අසු පිට නැ‍ඟෙන බෙලෙ යන්නේ තම පියා සොයාය. මාලිගයට ඇතුළුවන ඇය බිහිසුණු පෙනුමැති කුමරු හමුවී ඉල්ලා සිටින්නේ තම පියා නිදහස් කරන ලෙසිනි. නපුරු සිතැති කුමරු බෙලෙගේ ඉල්ලීම ඉටුකරන්නෙ නැත. අවසානයේ මොරිස්ගේ විරෝධය මැද ඇය මොරිස්ගේ තැන ගෙන ඔහුට නිදහස ලබා දෙයි.

විවිධ සිදුවීම් හරහා බෙලෙගේ සිත ඇදී යන්නෙ බිහිසුණු පෙනුමැති කුමරු වෙතය. එහෙත් කුමරු පෙරළා බෙලෙට ආදරය කරාවි ද? ඇගේ ආදරය පතන දඩයක්කාරයා ගැස්ටන් මෙම සිදුවීම් මාලාවට සම්බන්ධ වන්නේ කෙසේ ද? අවසන් මල් පෙත්ත ද පරවී බිමට වැටෙද්දී බිහිසුණු පෙනුමැති කුමරු මියෙන්නේ බෙලෙගේ දෑත් මතය.

ඔහු වෙනුවෙන් උපන් ප්‍රේමය නිසාම බෙලෙ හඬා වැළපෙයි. ඇගේ දුක් කඳුළු මන්ත්‍රකාරියගේ ගල් හදවත උණු කරවීමට සමත් වේවි ද? රෝස මලේ ගිලිහුණු මල් පෙති දූවිලි බවට පත්කොට මන්ත්‍රකාරිය ප්‍රාර්ථනා කරන්නේ මොනවා ද?

ෂොආනෙ මේරි ලෙප්‍රින්ස් ඩි බියෝමොන්ට්ගේ සුරංගනා කතාව බියුටි ඇන්ඩ් ද බීස්ට් ඇසුරෙන් වෝල්ට් ඩිස්නි සමාගම එනමින්ම සජීවීකරණ චිත්‍රපටයක් නිපැයූයේ 1991 වසරේදීය. නළු නිළියන් යොදා නිර්මාණය කළ එම චිත්‍රපටයේම නව නිෂ්පාදනය පසුගිය 17 දා සිට ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබේ.

අමෙරිකානු සංගීතමය රොමාන්තික ෆැන්ටසියක් ලෙස හැඳින්විය හැකි මෙම සිනමාපටය බිල් කොන්ඩන්ගේ අධ්‍යක්ෂණයකි. මෙහි බ්‍රිතාන්‍ය හා අමෙරිකානු නළු නිළියන් රඟපාන අතර චිත්‍රපටයේ තිර නාටකය ලියා ඇත්තේ ස්ටීවන් ච්බොස්කි හා එවන් ස්ටිලියොටොසෞල්ස් ය. එමා වොට්සන්, ඩෑන් ස්ටීවන්ස්, ලූක් එවන්ස්, කෙවින් ක්ලයින්, එමා තොම්සන්, ජොෂ් ගැඩ් සහ ඖඩ්රා මැක්ඩොනල්ඩ් වැනි නළු නිළියෝ මෙහි රඟපාති.

ඩොලර් ලක්ෂ 1600 ක වියදමකින් මෙම සිනමා පටය තැනී තිබේ. එය වැඩිම වියදමක් යොදා නිපැයූ දෙවැනි සංගීතමය චිත්‍රපටය වෙයි. එතෙක් මෙතෙක් වැඩිම වැයකින් තැනුණු සංගීතමය සිනමාපටය වන්නේ ‘හෙලෝ ඩොලී’ (1969) ය. එකල එය තැනීමට ඩොලර් ලක්ෂ 250ක් වැය වී තිබේ. අද මුදලේ වටිනාකම අනුව එම වැය ඩොලර් ලක්ෂ 1650කට සමාන වෙයි.

මිහිරි ගීත හා පසුබිම් සංගීතය, සුරංගනා කතාවකට අවශ්‍ය දර්ශනීය පසුතල හා ප්‍රශස්ත රඟපෑම් සහිත ‘බියුටි ඇන්ඩ් ද බීස්ට්’ සුන්දර සිනමා අත්දැකීමක් බව විචාරකයන් බහුතරයකගේ අදහසයි.

 

Comments