
“මම නං වැඩියෙන් ම කැමැති දියණියකට. කොහොම වුණත් වික්ටර්ගේ නම ගෙනියන්න ලැබෙන දියණියක හෝ පුතකු මම බොහොම ආදරයෙන් පිළිගන්නවා. වික්ටර්ගේ දරුවකු ගැන ඇත්තෙන් ම මම සිහින මවනවා.”
එසේ අප සමඟ පැවසුවේ හෂිණි රත්නායක මහත්මියයි.
වික්ටර් රත්නායක-හෂිනි අමේන්ද්‍රා යුවළගේ විවාහය මාධ්‍ය ලෝකයේ හා අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක සිද්ධියක් වූයේ ය.
“මොනවා වුණත් වසර හයක ප්‍රේම සම්බන්ධයකින් පසු සිදුවූ මේ විවාහය ගැන මම අදහස් දැක්වූයේ සිළුමිණ පුවත්පතේ ‘රසඳුන’ අතිරේකයටයි. අපි වෙන කිසිම සමාජ වෙබ් අඩවියකට අදහස් පළ කළේ නැහැ. නමුත් එක් එක් වෙබ් අඩවිවල මා පැවසුවාය කියා විවිධ අදහස් පළවී තිබුණා.
හෂිනි අප හා පැවසුවා ය.
“ඔයාලාට කතා කළ මේ වෙලාවෙ අපි ඉන්නේ ගාල්ලේ කන්දෙවත්ත ප්‍රදේශයේ මගේ සහෝදරියගේ නිවෙසේ. ඇත්තටම මගේ මවුපියන් අපේ ප්‍රේමයට විරෝධය පළ කළා. ඒත් ඒ තත්ත්වය අද වෙනස් වී ඇති වග මම කියන්නේ බොහොම සතුටින්. අප මගේ සහෝදරියගේ නිවෙසට ආවේ මගේ මවුපියන් හමුවී ඔවුන්ගේ ආශිර්වාදය ලබාගන්න. අපට හරිම සතුටුයි. මගේ අම්මාත් තාත්තාත් අපට ඒ අයගේ ආශිර්වාදය ලබාදුන්නා.”
හෂිනිගේ සිතේ වූ සතුට ඇගේ හඬින් පවා ඉතා පැහැදිලිව වටහාගත හැකි වූයේ ය.”
“වික්ටර් හා මා එක්ව මගේ මවුපියන්ට බුලත් හුරුලු දී ඔවුන්ගෙන් සමාව අයැද සිටියා. ඔවුන් දෙදෙනා අපට සමාව දුන්නා විතරක් නෙවෙයි. සතුට පිරුණු යුග ජීවිතයකට ඔවුන්ගේ ආශිර්වාදයක් ලබා දුන්නා.”
තමන්ගේ සිතේ ඇති අනාගත බලාපොරොත්තු අපට පවසන්නට ද හෂිනි පසුබට වූයේ නැත.
“ඇත්තටම පසුගිය දින ගණනාවම හරිම වෙහෙස කර වූවා. වික්ටර්ගේ ‘වජ්ර ප්‍රභා’ ප්‍රසංගයට එක දිගට වෙහෙස වුණා. ඊළඟට අපේ විවාහය හා ඒ එක්ක ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය වෙහෙසා නිවාගන්න අපි දෙන්නා ඉක්මනින් ම විදේශ සංචාරයක නියැළෙන්නයි ඉන්නේ.”
කිනම් රටකට යාමට ඇය බලාපොරොත්තු වන්නේ දැයි අපි විමසුවෙමු.
“දැනට බලාපොරොත්තුවෙන් ඉන්නේ බැංකොක් යන්න. වෙනත් රටකට යැවෙන්නත් පුළුවන්. කොහොම වුණත් වික්ටර් එක්ක නිස්කලංකව ඉන්න පුළුවන් ඕනෙම තැනකට යන්න මම කැමැතියි.”
වික්ටර් - හෂිනි කැදැල්ලට තෙවැන්නකුගේ ආගමනය ද බලාපොරොත්තු වන බව පවසන්නට හෂිනි පසුබට වූයේ නැත.
“යුග දිවියට එළඹ බිරියක වූවාට පසු ඕනෑම කාන්තාවක් බලාපොරොත්තුව මවක වීම. ඔව්. මගේ සිතේත් ඒ බලාපොරොත්තුව තදින් ම තියෙනවා. මගේ වැඩි කැමැත්ත දුවකට. ඒත් පුතකු වේවා දුවක වේවා මම බොහොම සෙනෙහසින් ඒ දරුවා පිළිගන්නවා වික්ටර්ගේ තම ගෙනියන්නට දරුවෙක්. ඒ දරුවා ගැන මම ඇත්තෙන් ම සිහින මවනවා.”