මැඩම් මේ නාට්‍යය මම දැකල නෑ | සිළුමිණ

මැඩම් මේ නාට්‍යය මම දැකල නෑ

මංමුලා වුණු ජීවිතයකට මඟ හසර කියා දුන් සෙනෙහෙබර සිතක් ගැන කියන ආදරණීය නවකතාව

බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලද චතුරංගි මෙනවිය බලවත් ලෙස රෝගාතුරව සිටි නිසා ඇය සුවපත් කිරීමට විදෙස් රටකට ගෙනයාමට වෛද්‍යවරු උපදෙස් දුන්හ. බාලිකා විද්‍යාලයේ ඇය උගත් වසරේ ආදි ශිෂ්‍යාවන් ඇය සුවපත් කිරීම සඳහා ආධාර ලබා ගැනීමට සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට යෝජනා කළහ. මේ ප්‍රංසගය පැවැත්වීම සඳහා මූලික වශයෙන් වෙහෙසුණේ විශ්මි නම් වූ ආදිශිෂ්‍යාව විසිනි. මේ කාර්යය සංවිධානය කිරීමේදී සැවොම සහාය වූහ.

අද විශ්මිට ප්‍රීතිමත් දවසකි. ඒ බව සුගන්ධ දනී. ඕනෑම කටයුත්තකදී පෙරමුණ ගන්නා නායිකාවකගේ කාර්යභාරය මැනැවින් ඉටුකරයි. මෙවන් දැවැන්ත කටයුත්තක් ලෙහෙසියෙන් කළ නොහැකිය. මේ යුගයේ නිර්මාණය විය යුත්තේ ඕනෑම දුකක් දරාගෙන ඉදිරියට යාහැකි ගැහැනුන්ය.

මෙම සන්දර්ශනය නැරඹීමට විශාල පිරිසක් රැස්වන බැව් සුගන්ධ දනී. විශ්මි මූලිකත්වය ගෙන කටයුතු කරන බැවින් නොගොස් බැරිය.

විශ්මි නැති නිවස අද හිස්ය. දරාගත නොහෙන පාළුවක් අවට පැතිර ඇත. ඒ ශ්‍රියාවේ අඩුව හොඳට පෙනේ.

සමීපව ඇසුරු කරන ඉහළ පන්තියේ මිතුරන් රැසක් සුගන්ධට ඇත. ඔවුන්ගේ පවුල් ජීවිත වැඩිකලක් නොගොස් දෙදරා ගොස් ඇත. ගැහැනුන් ලෙස ඉපදීමෙන් පමණක් ගැහැනියක් විය නොහැකිය. තමා හඳුනාගත් පරිදි විශ්මි කොතරම් කැප කිරීමෙන් වැඩ කරනවාද?

අම්මාගේ හෙදිය ලෙස උදේ සවස සේවය කර නිවසට යාමට පුළුවන. ඇය මෙහි නතර වන්නේ කපටිකමට නොවේ. වෘත්තීය වශයෙන් සේවිකාවක් සිටියත් අම්මාට විශ්මි හැර කෙනෙක් නැත. හැන්දෑවට මල්කඩා ගෙනැවිත් පූජා කරයි. බුදුමැඳුරේ සිට වන්දනා ගාථා කියා දෙවියන්ට පින් දී සෙත් පිරිත් ගයයි. සමහර දිනවල සුගන්ධට ද එයට සහභාගිවන්ට සිදුවෙයි.

“මේ කෙල්ල නැති වුණාම ගේම පාළුයි.”

“අම්මා ආරාධිත අමුත්තා විදිහට යන්නෙ හැන්දෑවෙ ෂෝ එකටද?”

“ඒකට තමා මැති ඇමැතිවරු එන්නෙ.”

“මාත් එන්න ඕනෑද?”

“ඔයා නොගිහින් කොහොමද? අයියත් එයි.”

“අයියාගෙ ඩාන්ස් එකක් තියෙනවා. විශ්මිත් අංගම්පොර සෙල්ලමක් පෙන්නනවා.”

එක්වරම සුගන්ධගේ දුරකතනය නාදවුන බැවින් ඔහු ඈතට ගියේය.

ඒ ඇමතුම ආවේ විශ්මිගෙනි.

“එන්නෙ නැද්ද?”

“මට කව්රුවත් ආරාධනා කළේ නෑ.”

“දැන් මේ හැම දෙයක්ම වෙලා තියෙන්නෙ ආරාධනා කරලද?”

“මොකක්ද ඒ කතාව.”

“දෙයක් කියන්න තියෙනවා ආවොත් කියන්නම්. මාව තනි කරන්ට එපා. සෙනඟ කව්රුවත් නෑ. මම බයෙන් ඉන්නෙ.”

“අම්මත් එක්ක එන්නම්. ආවහම ඒ කතාව මට කියන්ට ඕනෑ.”

**********

ආදි ශිෂ්‍යාවන්ට අද කාර්යබහුල දිනයකි. ඇතැමුන් වියපත්ය. විවාහ වීය. මේ ගෙවී ගිය යුගය අමතක කර ඒමේ අත දුවනු පෙනේ. ආදි ශිෂ්‍ය සංගමය අතර බෙදාදී තිබුණ ටිකට්පත් අලෙවි වී තිබුණේ නැත. නටන ගයන ආදි ශිෂ්‍යයන්ට අමතරව ආරාධිත ශිල්පීන් කීප දෙනෙක් විය. ටිකට්පත් අලෙවි නොවී තිබීම නිසා විශ්මි සාරංග සමඟ කතා කළාය.

“ටිකට් පොත් ටික ආපසු ගෙනැත් දීලා. විකිණිලා නෑ.”

“ප්‍රශ්නයක් ආවොත් බලා ගම්මු. අම්මත් එන නිසා ලජ්ජා වෙන්ට බෑ. ඔයා ගිහින් ලෑස්ති වෙන්න.”

“එතකොට ඔයා.”

“මම එළියට ගිහින් බලාගෙන එන්නම්. බයවෙන්න එපා. මම ආටිස්ලට ගෙවන්නම්.”

සාරංග වේදිකාවට අඳින ඇඳුම පිටින් මඳක් එළියට ගියේය. ශාලාව ප්‍රේක්ෂකයන්ගෙන් පිරී තිබුණේ අනපේක්ෂිත පරිද්දෙනි. මුළු ශාලාවම පිරී තිබෙනු දැකීම නිසා ඔහුගේ සිතට පිවිසුණේ සතුටකි. ඔහු ආවේය.

“ඇයි ඇයි සෙනඟ නැද්ද?” විශ්මි ඇසුවේ කලබලයෙනි.

“කට කපල සෙනඟ. තවම ආරාධිත අමුත්තා ඇවිදින් නෑ.”

විදුහල්පතිනිය ආරාධිත අමුත්තිය වන සුභද්‍රා සොයිසා මහත්මිය බුලත්අතක් දී පිළිගත්තාය. ඉන්පසු ‍පොල්තෙල් පහන දැල්වීම සඳහා සෙසු ආරාධිතයන් කැඳවිණි.

හැමදෙනාගේම නෙත යොමු වූයේ මෙහි ප්‍රස්තුතය වන චතුරංගි පොල්තෙල් පහන දැල්වීමට එනු දැකීමෙනි. ඇය විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, ආචාර්යවරියන්ගෙ ගෙල බදා ආචාර කරන්ට වූවාය.

සුගන්ධ ඕනෑකමින් චතුරංගි දෙස බැලුවේය. විශ්ම සිය ජීවිතයේ වටිනා කාලයක් ගත කළේ මේ ජීවිතය‍ බේරා ගැනීම වෙනුවෙනි.

සුගන්ධට චතුරංගි කෙරෙහි දුකක් කනගාටුවක් නැත. ඔහු බලා සිටියේ ඉදිරිපස පෙළ අසුන්ගන්නා අමුත්තන් දෙසය. ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරුන් ඔවුනගේ බිරින්දෑවරුන් සමඟ අසුන්ගෙන සිටිනු පෙනේ.

එහෙත් තව අසුන් දෙකක් හිස්ය. ඇතැම්විට මේ අසුන තබා ඇත්තේ වෙනත් විශේෂ අමුත්තෙකුට යයි සුගන්ධට හැඟුණේය.

උත්සවය ආරම්භ වීමට ප්‍රථම වේදිකාව නුදුරින් පනවා තිබූ අසුනට පැමිණි තැනැත්තා අසුන් ගත්තේය. මේ ආවේ විශ්මිගේ තාත්තාය. ඔහු හඳුනා ගැනීමට ගතවූයේ මොහොතකි. හෙතෙම මා අසලින් අසුන්ගත් පසුව ඔහුගේ හිතට ඇතිවූයේ සතුටකි.

“විශ්මිගෙ තාත්තා නේද?” ඔහු හිස සලා අනුමත කළේ සුගන්ධ දෙස බලමිනි.

“පොල්තෙල් පහන පත්තු කරන්ට කතා කළා.”

“ගල්අස්සෙ ඉඳල එන බස්එක එන්න පරක්කු වුණා.”

“විශ්මි තාත්තා එන බවක් කීවේ නෑ. නැතිනම් වාහනයක් යවනවනෙ.”

“මාමෙ ගිහින් පහන පත්තු කරමු. ටීචර්ස්ලා ආරාධනා කළේ මාමට.”

තිසේරා ඕනෑකමින් අවට දසුන් දෙස බැලුවාය. මේ උත්සවය සංවිධානය කළේ විශ්මි විසින් බව තිසේරා දනී. වලව්වට යාමට කිසිදාක ආරාධනයක් නැත. එසේ ගියත් යාමට වන්නේ කුස්සිය පැත්තෙනි. එහෙත් අද මේ තැනට ඒමට ලැබුණේ විශ්මි නිසාය.

එහෙත් අද ප්‍රභූන් සමඟ අසුන් ගතව සිටින්නේ හොඳ දුවෙක් නිර්මාණය කිරීමේ කුසල නිසාය.

එසේම අද ඇය වේදිකා ගතවීමට සූදානම් වන්නේ මිතුරිය වෙනුවෙනි. තිරය විවෘත කිරීමෙන් පසු නවපරපුරේ නිවේදිකාවක් වේදිකාවට පිවිසුණාය. ඇය මෙම විද්‍යාලයෙන් අකුරු කළ ශිෂ්‍යාවකි. ඈ චතුර ලෙස බස හසුරුවන අයුරු තිසේරා බලා සිටියේය.

මෙම උත්සවයේ අරමුණ ඈ කදිමට පැහැදිලි කළාය. මෙහි තනිකර ගෞරවය හිමිවිය යුත්තේ විශ්මි දුවට බව කියන විට තිසේරා ගේ සිතට පිවිසුණේ සතුටකි. ඒ සමඟ දෙනෙත සතුටු කඳුළින් බොඳව යනු ඔහුට දැනුණි.

ශාලාව ආදි ශිෂ්‍යාවන්ගෙන් හා ආරාධිතයන්ගෙන් පිරී ඇත. සැවොම අත්පොළසන් නගනු ඇසේ.

‍නිවේදිකාව විශ්මි හා සාරංග හඳුන්වා දුන්නේ අමුතු ආකාරයකටය.

ඒ වේදිකාවට පිවිසුණේ දුවදැයි ඔහු එකවරම හඳුනා ගත්තේ නැත.

සේවය කළ රාජ්‍ය සංස්ථාවේ ක්‍රීඩා සමාජයට එක්තරා ගීත නාට්‍යයක් පෙන්නුවා මතකය.

“මැඩම් මේ මගෙ දුව නේද?” ඔහු ආර්යාවගෙන් ඇසුවේ අදහාගත නොහැකිවූ හෙයිනි.

“ඔව්. අර ඉන්නෙ මගෙ ලොකු පුතා.”

“මැඩම් මේ නාට්‍ය මම දැකල නෑ. චිත්‍රසේන, වජිරා දෙන්නා නටපු නැටුම වගේ එකක්ද?”

“පුතා ප්‍රංසෙදි ඉගෙන ගත්ත නැටුමක්.”

ගායනයකට අමතරව ඉදිරිපත් කළ මේ රංගනයෙන් සැවොම සතුටට පත්වූහ.

උත්සවය අවසන වලව්වේ පැවැත්වෙන භෝජන සංග්‍රහයට තමාට ආරාධනා කරතැයි විශ්මිගේ පියා සිතුවේ නැත. මෙම භෝජන සංග්‍රහයට තවත් යෞවනියක් ආරාධනා ලැබ සිටියාය. දුව හා වලව්වේ පොඩි පුතා සමඟ සුහද සාකච්ඡාවක යෙදෙනු පෙනේ. මේවා තරුණවියට අයිති දේවල්ය. ඔවුන්ගෙ හිතවත්කමට විරුද්ධවිය නොහැක.

ජීවිතයේ හැම දෙයක්ම වෙන්නේ එකිනෙකා පතා ආ පරිද්දෙනි. අප කැමැති විවාහයක් කරදී වසර සීයක් ජීවත්වනවාට වඩා ඔවුන් කැමැති පරිදි දවසක් ජීවත්වීමට සිතනවා විය හැකිය. වැඩිහිටියන් ලෙස ඔවුන්ට සුබ පතනවා හැර කළහැකි දෙයක් නැත.

 

අවසන් කොටස ලබන සතියේ 

Comments