ඉර බැස යන සැඳෑවේ නිවෙසට එන රෝබා ඊව් | Page 2 | සිළුමිණ

ඉර බැස යන සැඳෑවේ නිවෙසට එන රෝබා ඊව්

කාලෙන් කාලෙට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත්වන නොයෙකුත් රූපවාහිනී වැඩසටහන් බිහිවනවා. සමහර වැඩසටහන් ඒවාට ලැබෙන ජනප්‍රියතාව රඳවා ගන්නේ බොහොම ටික කාලයයි. ඒ අතර TV 1 නාළිකාවේ ‘රෝබා ඊව්’ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඒකසේ රඳවා ගනිමින් ජනප්‍රියත්වය එක දිගටම පවත්වා ගන්නා වැඩසටහනක්. අද අපේ කතාබහ රෝබා ඊව් පිළිබඳවයි. මුලින් ම ඒ පිළිබඳව අදහස් දැක්වූයේ එහි නිෂ්පාදක ප්‍රියංග බැද්දෙවිතාන.

‘රෝබා ඊව්’ මොකක්ද මේ?

‘රෝබා ඊව්’ කියන්නේ TV 1 අපේ නාළිකාවේ පළමුවැනි වැඩසටහන. TV 1 ආයතනයේ පර්යේෂණ අවධියේ සිට ම මෙම වැඩසටහන විකාශනය වූවා. සතියේ දවස් පහේ ම සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා පුරා පැය 2ක් ‘රෝබා ඊව්’ විකාශය වෙනවා. සංගීත කණ්ඩායම්, වේදිකා නාට්‍යය, වීදි නාට්‍යය, ආදරණීය කලාකරුවකු, විද්වතකු වැනි විශේෂිත ආරාධිත ශිල්පියෙක් වැනි කවුරුන් හෝ වැඩසටහනට රැගෙන ඒම සිදුවෙනවා. ඇත්තටම ‘රෝබා ඊව්’ TV 1 නාළිකාවේ ජනප්‍රියතම වැඩසටහන බව කිව යුතුයි.

ටිකක් අමුතු නමක්. ‘රෝබා ඊව්’?

‘ඉර බැස යන හැන්දෑව’ ඒක තමයි ‘රෝබා ඊව්’ කියන්නේ. රෝබා කියන්නේ ඉතාලි වචනයක්. ඉර බැහැල යන හැන්දෑවට සතුට, වි‍නෝදය, දැනුම රැගෙන ඇවිත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීම තමයි අපි කරන්නේ.

අරමුණ මොකක්ද?

අපි කාලයක් නිරීක්ෂණය කළා සවස් කාලයේ මෙවැනි දැනුම විනෝදය ගෙනෙන වැඩසටහන්වල හිඟයක් තිබුණා. ඉතිං සතියේ සවස් කාලයේ මෙවැනි වැඩසටහනකින් ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගැනීම තමයි අපි මේ තුළින් බලාපොරොත්තු වන්නේ. තවත් දෙයක් කලා ක්ෂේත්‍රයේ නවකයින් පිළිබඳව කලාවේ අලුතින් නිර්මාණ ගැන මේ තුළින් ප්‍රේක්ෂකයින් දැනුම්වත් වෙනවා.

කව්ද මේ සේෂා සහ ප්‍රභාත්?

“ඔවුන් තමයි ‘රෝබා ඊව්’ වැඩසටහන මෙහෙය වන්නේ. ඇත්තෙන් ම ඔවුන් දෙදෙනා විශේෂයි. ඔවුන් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් ඉතා සිත්ගන්නාසුළු ලෙස මේ වැඩසටහන ආරම්භයේ සිටම අද වෙනකල් කරගෙන යනවා. ඒ වගේ ම තමයි එහි අන්තර්ගතය ඔවුන් දිනෙන් දින අලුත් තේමාවන් යටතේ අලුත් හැඩයකින් තමයි මෙය ඉදිරිපත් කරන්නේ. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ මට්ටමක ඔවුන්ට පවතිනවා. දක්ෂ හැකියාවන්ගෙන් යුක්ත නවක පෙළේ නිවේදකයින් දෙපළක් ලෙස ඔවුන් හඳුන්වන්න පුළුවන්.”

ප්‍රියංග සමඟ කතාබහෙන් පසුව අපි යොමුවන්නේ ප්‍රභාත් දෙසට.

ඉතිං කොහොමද ප්‍රභාත්?

සතුටින් ඉන්නවා.

සම්පූර්ණ නම?

ප්‍රභාත් දුෂ්මන්ත ජයසූරිය

ගම

මොරටුව

පාසල?

වේල්ස් කුමාර විදුහල හා කොළඹ රාජකීය විද්‍යාලය

නිවේදන ක්ෂේත්‍රයේ ආරම්භය කොතැනද?

පාසල් වේදිකාවෙ තමයි. ක්‍රීඩාවට වැඩි ඉඩකඩක් පාසල් කාලයේ ගෙවී ගියා වගේ ම වේදිකා නාට්‍ය සඳහාත් සහභාගි වුණා. අහම්බයෙන් වගේ Screen test එකකට පෙනී සිටීමෙන් මාධ්‍ය ආයතනයන්හි නිවේදන කටයුතු එක්ක සම්බන්ධ වුණා. මගේ මිත්‍රයෙක් මට උදව් කළා මේ ගමනට.

වැඩසටහන අපූරුවට කරනවා - කොහොමද පෙර සූදානම?

ඇත්තෙන් ම පෙර සූදානමක් ඇතිවයි වැඩසටහන මම මෙහෙය වන්නේ. ඒක මගේ කැපවීම. නිෂ්පාදකවරු දැනුම් දුන්නම ආරාධිතයින් පිළිබඳව හොයලා දැනුම එකතු කරගෙන තමයි මම වැඩසටහනට එන්නේ.

කොහොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර?

ඉතා හොඳයි. මම වගේ ම ‘රෝබා ඊව්’ වැඩසටහනත් ඉතා ජනප්‍රියයි. දවසින් දවස ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ යනවා. වෙනස් විදියේ ඇගයීමට ලක්වෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා සතුටුයි.

ප්‍රභාත්ගේ ඉදිරි ගමන මොන වගේ වෙයිද?

ඇත්තටම මගේ හීනය ගුවන් නියමුවෙක් වෙන එකයි. ඒක මම අනිවාර්යෙන් කරනවා. නිවේදන කටයුතු පැත්තෙන් සාර්ථකව කරගෙන යාමට හිතනවා. කලාව Music Vidieos 2ක් මම එළියට දාලා තියෙනවා. නිවේදනයත් මගේ හීනයක් හැමදේම කැපවීම තුළින් සාර්ථකත්වයට ළඟා වීමට උත්සාහ දරනවා.

ජීවිතය ගැන සතුටුයිද?

ඇත්තෙන් ම ආපු ගමන ගැන ‍බොහොම සතුටුයි.

ප්‍රභාත් සමඟ හරි හරියට නිවේදනයේ යෙදෙන සේෂා රෝබා ඊව් වැඩසටහනට නැතුවම බැරි චරිතයක්.

සේෂා කරුණාරත්න. නම හරිද?

හරියට ම හරි.

කොහෙද ගම් පළාත?

මම පන්නිපිටියේ

පාසල?

ලයිසියම් ජාත්‍යන්තර පාසල, නුගේගොඩ.

නිවේදන ක්ෂේත්‍රයේ ආරම්භය පාසල් වේදිකාවද?

නැහැ. මම ඒ කාලේ ටිකක් ලැජ්ජයි. ඉතිං පාසලේදි ඒවාට සහභාගි වුණේ නැහැ. හැබැයි මගේ කැමැත්ත තිබුණ නිසා තාත්තා මාව Screen test එකකට පෞද්ගලික නාළිකාවකට කැඳවාගෙන ගියා. එතැනින් තමයි මගේ ආරම්භය සිද්ද වෙන්නේ.

ඉංග්‍රීසි, සිංහල මාධ්‍ය දෙකින්ම වැඩකරන විට අපහසු වුණාද?

ඔව්. ඇත්තට ම මම ඉගෙන ගත්තා සිංහලෙන් වැඩසටහන් මෙහෙයවන්නෙ කොහොමද කියලා. මොකද මම පාසලේදී ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා. ටිකක් අපහසු වුණත් දැන් එය හොඳින් කරනවා.

සේෂා ඔබේ ඉදිරිය මොන වගේ වෙයිද?

මම කැමැතියි ඉස්සරහට Chart shows කරන්න. තවත් දැනුම විනෝදය රැගත් වැඩසටහන් වලට සහභාගි වන්න. තව තව හීන ගොඩක් තියෙනවා. 

 

Comments