HOLLYWOOD | Page 2 | සිළුමිණ

HOLLYWOOD

 වැනේසා ‘මිෂන් ඉම්පොසිබල් - 6’ට සූදානම්

‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට සහ ටෙලි නාටක මාලාව රසික පරපුර අතර තවමත් ජනප්‍රියයි. ‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාවේ හයවැන්නත් රූගත කිරීමට සැරැසෙන බවයි හොලිවුඩ්පුරයෙන් දැනගන්නට ලැබෙන්නෙ.

මෙහි ප්‍රධාන නිළිය හැටියට දැනටමත් තෝරාගෙන ඇත්තේ යොවුන් නිළියක වන වැනේසා කර්බියි. විසිඅට වැනි වියෙහි පසුවන වැනේසා, මේ දැවැන්ත චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ප්‍රවීණ නළු ටොම් කෲස් සමඟ කිහිප වාරයක්ම සාකච්ඡා කළා. ටොම් කෲස් සුපුරුදු පරිදි රඟන්නේ එතන් හන්ට්ගේ චරිතයයි. වැනේසාට ලැබෙන්නේ කලින් චිත්‍රපටවල ප්‍රධාන චරිතයක් වූ රෙබෙකා ෆර්ගසන් ලෙස රඟන්නටයි. කෙසේ වෙතත් මේ චිත්‍රපටයේ වැනේසා රඟන රෙබෙකාගේ චරිතය ගැන වැඩි විස්තර තවමත් හෙළි කර නැහැ.

‘මිෂන් ඉම්පොසිබල් - 6’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ක්‍රිස්ටෝපර් මැකෝරියි. මෙය, 2016 ජූලි 27 දා සිට තිරගත කිරීමටයි දැනටමත් තීරණය කර ඇත්තේ.


 

 අහස උසට දුක් ගින්දර ලද කීනු

මේ දිනවල තිරගත වන john wick-2 චිත්‍රපටයේ රඟන කීනු රීව්ස්, තම ජීවිතයේ කම්කටොලු රැසකට මුහුණ දුන් නළුවෙක්. දැනට 50 වැනි වියෙහි පසුවන ඔහු තරම් දුක්ඛදායක අත්දැකීම්වලට මුහුණ දුන් වෙනත් හොලිවුඩ් නළුවකු නැති බවයි පැවැසෙන්නේ.

කීනුට වයස අවුරුදු තුන වෙද්දී ඔහුගේ පියා නිවසින් නික්ම ගොස් තිබෙනවා. පාසල් කිහිපයකම ඉගෙනුම ලැබූ කීනු එම අවධියේදී ඩිස්ලෙක්සියාව නම්වූ මානසික අසාමාන්‍යතාවකින් පෙළුණා. එම නිසා ඔහුට ඉගෙන ගැනීම අසීරු කාර්යයක් වී තිබුණා.

වයස 23 දී කීනුගේ සමීපතම මිතුරා වූ රිවර් ෆිනික්ස් මියගියා. ඒ, අධික මත්ද්‍රව්‍ය භාවිතයෙන්.

1999 දී කීනුගේ බිරිය ජෙනිෆර් සිමීට දියණියක ලැබුණා. නමුත් ඇය මෙලොවට බිහි වන විට මියගොස් සිටියා. එයින් මාස 18කට පසුව ජෙනිෆර් මෝටර් රථ අනතුරකින් මියගියා.

ඔහුගේ සොයුරිය ලියුකේමියා රෝගයට ගොදුරු වී සිටියා. ඇයව සුව කරගැනීමට කීනු වැය කළේ ‘ද මැට්‍රික්ස්’ චිත්‍රපටයේ රංගනයෙන් ඔහු ලද ගාස්තුවයි.


 කවුරුවත් හොඳත් නැහැ නරකත් නැහැ

ගායිකා ලෝඩ්ගේ ගී ප්‍රිය කරන රසික රසිකාවියන්ට සතුට දනවන ආරංචියක් හොලිවුඩ්පුරයෙන් ලැබෙනවා. ඒ, ග්‍රැමී සම්මානයෙන් ද පුද ලද මේ විසි හැවිරිදි ගායන තරුව තමන්ගේ ගී ඇතුළත් ‘ග්‍රීන් ලයිට්’ නම් වූ ගීත ඇල්බමය පසුගිය සතියේ නිකුත් කිරීමේ පුවතයි. “මේ ගීත එකතුව ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. මේක ගොඩක් වෙනස් නිර්මාණ ඇතුළත් වන ඇල්බමයක්. සංකීර්ණත්වය, සතුට, දුක මුසු වූ ගීත ඇතුළත් වන මෙහි සමහර ගීත ඇසීමෙන් ඔයාලට නටන්නත් පුළුවන්.” ලෝඩ් තම ට්විටර් පිටුවෙහි එලෙස සටහන් කළා. “මගේ හදවත පෑරුණායින් පස්සෙ මම ගෙදරින් පිටත් වුණා. නගරයට ආවා. යහළු යෙහෙළියන් ගොඩක් මුණ ගැහුණා. එතකොට මට තේරුණා, කවුරුවත් හොඳත් නැහැ, නරකත් නැහැ කියලා.” ලෝඩ් එලෙස සටහන් කර තිබුණා. ඇගේ මුල්ම ගීත එකතුව වූ ‘පියෝ හෙරොයින්’ රටවල් කිහිපයකම අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. ඇය ගැයූ ‘රෝයල්ස්’ නම් වූ ගීතයට 2014 දී ග්‍රැමී සම්මාන 2ක් හිමි වුණා.


 

 මයිකල් ජැක්සන්ගේ ‘නෙවර්ලන්තය’ අලුත් නමකින් එයි

පොප් ගී ලොව කිරුළු දැරූ මයිකල් ජැක්සන් විසූ නෙවර්ලන්ඩ් නිවස සහ වතුයාය කලින් නම් කළ මුදලට වඩා බෙහෙවින් අඩු මුදලකට අලෙවි කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. නෙවර්ලන්ඩ් යන නාමය වෙනුවට සිකැමෝ වැලි යනුවෙන් නම් කර ඇමෙරිකානු ඩොලර් මිලියන 67කට විකුණා දැමීමටයි එම කටයුතු සිදු කරන දේපළ වෙළෙඳ සමාගම තීරණය කර ඇත්තේ. 2016 වසරේදී මෙහි විකුණුම් මිල ඩොලර් මිලියන 100ක් හැටියට සඳහන් වී තිබුණා. මයිකල් ජැක්සන් විසින් 1980 දී මිලදී ගන්නා ලද මේ ‘නෙවර්ලන්තය’ පිහිටා ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා ප්‍රදේශයේයි.

අක්කර 50ක වපසරියකින් යුතු මේ වතුයාය ඇත්තෙන්ම අපූර්වත්වයෙන් අනූන වූ තැනක්. කැලිෆෝනියාවේ තිබෙන සුඛෝපභෝගී, අතිවිශේෂ නිවසක් මෙහි පිහිටා තිබෙනවා.

මයිකල්ගේ දියණිය, පැරිස් මෑතකදී මෙම ස්ථානයට පැමිණ එහි සුන්දරත්වය නැවත අත්වින්දා. ඇය කුඩා කාලයේ හැදී වැඩුණේ මේ ‘නෙවර්ලන්ඩ්’ හි නොහොත්, ‘සිකුමෝ වැලි’ හිදීයි.


 

 කටකතා දුරුවේ

ලොවම දන්නා ජෝජ් මයිකල් නම්වූ සුපිරි ගායකයාගේ හදිසි අභාවය සිදුවුණේ පසුගිය නත්තල්දා. අවුරුදු 53 දී ඔහු, කිසිවකුත් නොසිතූ ලෙස මෙලොව හැර ගිය පසුව නානා ප්‍රකාර කටකතා පැතිරුණා. ජෝජ් මයිකල්ගේ මරණයට හේතුව අබිරහසක් යැයි හඟවන්නටත් ඇතැමුන් උත්සාහ කළා.

නමුත්, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්හි ජ්‍යෙෂ්ඨ මරණ පරීක්ෂක ජේම්ස් සෝල්ටර් විසින් පසුගිය සතියේ ප්‍රකාශයට පත්කරන ලද මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ජෝජ් මයිකල් මියගොස් ඇත්තේ බරපතළ හෘදයාබාධයක් සහ අක්මාවේ අධික මේදය හේතුවෙන් බවයි හෙළි වී ඇත්තේ.

පසුගිය වසර කිහිපය තුළ ඔහු අධික මත්පැන් පානයෙන් වැළකී සිටිය ද ඊට කලින් ඔහු මත්පැනට ඇබ්බැහි වූවකු ලෙස ජීවිතය ගත කළ බව ද පැවසෙනවා. එක් අවස්ථාවකදී ඔහු වෛද්‍ය උපදෙස් රහිතව එක්තරා ඖෂධ වර්ගයක් පමණ ඉක්මවාගෙන තිබෙන බව හෙළි වී තිබෙනවා. තවත් අවස්ථාවකදී අධික ලෙස මත්පැන් පානය කර රිය පැදවීමේ වරදට ඔහුට සිරගත වීමටත් සිදුවී තිබෙනවා. 

 

Comments