
කප්පම් ඉල්ලා පොලිස් කූඩුවට
මහේෂ් භාට්, බොලිවුඩ්පුරයේ ජනප්‍රිය සිනමාකරුවෙක්. ඔහු පසුගිය දිනවල කාලය ගත කළේ සැකසංකාවලින් සිත පුරවාගෙන. නාඳුනන අයකු ඔහුට තර්ජන කරමින් කප්පම් ඉල්ලා තිබෙනවා. මේ නිසයි ඔහු එලෙස පීඩනයකට ලක්ව සිටියේ. තවමත් ඒ කරදරය නිමාවට පත්වී නැහැ.
මහේෂ් භාට් හට දුරකථනයෙන් තර්ජනය කළ එම පුද්ගලයා ඔහුගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා තිබෙනවා. මේ මුදල ලක්නව් නගරයේ පිහිටි එක්තරා බැංකුවක තැන්පත් කරන ලෙසයි නාඳුනන පුද්ගලයා දන්වා තිබෙන්නේ. එසේ නොකළහොත් මහේෂ්ගේ බිරිය, සෝනි රස්ඩාන් සහ දියණිය, ආලියා භාට්ගේ ජීවිත විනාශ කර දමන බව ද ඔහු තර්ජනාත්මකව පවසා තිබෙනවා. මහේෂ් භාට් මුලදී මේ තර්ජන ගණනකට ගෙන නැහැ. ඔහු සිතුවේ මෙය කිසිවකුගේ කවටකමක් කියලයි. නමුත් දින කිහිපයක් ගත වෙද්දී ජංගම දුරකථනයට ලැබුණු කෙටි පණිවිඩයක් දැකීමෙන් එය විහිළුවක් නොවන බව මහේෂ් භාට් තේරුම් ගත්තා. එහි සඳහන් වුණේ, ‘කප්පම නොගෙවුවොත් උඹේ දුවටත් බිරියටත් වෙඩි උණ්ඩ කිහිපයක් එල්ල කරනවා’ යන පණිවිඩයයි.
මෙයින් පසුව තම පවුලේ ආරක්ෂාව පතා මහේෂ් විසින් ජුහු පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කළා. ඉන් අනතුරුව මහේෂ්ගේ පැමිණිල්ලට අනුව අවශ්‍ය කටයුතු සිදු කිරීම ආරම්භ කළේ මුම්බායි පොලීසියේ අපරාධ අංශයයි. එම අංශය උත්තර් ප්‍රදේශ් පොලීසිය සමඟ සම්බන්ධ වී වහාම පරීක්ෂණ ඇරැඹුවා. එහි ප්‍රතිඵලය වූයේ ලක්නව්හි රෙදිපිළි වෙළෙන්දකු වන 27 වියැති සන්දීප් සාහු නමැත්තා අත්අඩංගුවට පත්වීමයි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු පැවසුවේ චිත්‍රපට සහ ටෙලි නාට්‍යවල රඟපෑමේ ආසාවකින් සිටි සන්දීප්ට එම අවස්ථා නොලැබී ඇති බවයි. අටවැනි ශ්‍රේණිය දක්වා පමණක් ඉගෙනුම ලබා ඇති ඔහු, දැඩි ලෙස ආර්ථික දුෂ්කරතාවලින් පෙළී ඇති බවත් පැවසෙනවා. “මේ පුද්ගලයා නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් හමුවෙලා තියෙනවා. ඒ කෙනකුගෙන් තමයි මහේෂ් භාට්ගේ ටෙලිෆෝන් නොම්මරය අරගෙන තියෙන්නෙ” ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු වන අමිත් පථක් පැවසුවා.
සුසෑන්, මෙයර් කෙහෙවලු පටලවාගෙන
සුසෑන් ඛාන් සහ මෙයර් ජෙසියා බොලිවුඩයේ ජනප්‍රිය නළුවන් දෙදෙනකුගේ බිරින්දෑවරුන්. සුසෑන්, ජනප්‍රිය නළු රිතික් රෝෂන්ගේ බිරිය ව සිටියත් දැන් ඒ දෙදෙනා වෙන් වෙලා. මෙයර් ජෙසියා, ජනප්‍රිය නළු අර්ජුන් රම්පාල්ගේ බිරියයි.
සුසෑන්, අර්ජුන් සහ මෙයර්ගේ සමීප හිතවතියක්. රිතික් රෝෂන්, සුසෑන්ගෙන් වෙන්වීමට මඟ පෑදුවේ අර්ජුන් යැයි පසුගිය කාලයේ ලැව්ගිනි ආරංචියක් පැතිරී ගියා. මාස කිහිපයක් ගතවෙද්දී ඒ ගින්නේ උණුසුම යටපත් වී ගියත් පසුගියදා සිදු වූ අප්‍රසන්න සිද්ධියක් නිසා නැවතත් එය ඇවිළෙන ස්වරූපයක් දකින්න ලැබෙනවා.
මේ සිද්ධියේ ‘ප්‍රධාන චරිත දෙක’ තමයි, සුසෑන් සහ මෙයර්. ඔවුන් දෙදෙනා පසුගියදා පැවැති සාදයකට සහභාගි වුණා. මෙය පැවැත්වුණේ ආදිත්‍ය ගවේරේ සහ රේණු චයිනානි යන දෙපළ යුගදිවියට එළඹීම නිමිත්තෙන්. මේ දෙදෙනාගේ සමීප හිතවතකු වන ෆර්ඩීන් ඛාන් විසින් සංවිධානය කරන ලද මෙම සාදයට සොනාක්ෂි සිංහ, සොහේල් ඛාන්, චන්කි පාන්ඩේ සහ සායෙඩ් ඛාන් යන නළු නිළි පිරිස ද පැමිණ සිටියා. සන්ධ්‍යාවෙහි සිට මැදියම් රැයත් පසුවී පැවැත්වුණු මේ සාදයේදී සුසෑන් සහ මෙයර් එක ළඟ වාඩිවී සතුටු සාමියෙහි යෙදී සිටියා. නමුත්, කුමක් හෝ කරුණකට දෙදෙනා අතර වාග් සංග්‍රාමයක් ඇතිවී එය ගුටි කෙළියක් බවට පත්වූ බවයි ඉන්දීය මාධ්‍යවල සටහන් වී තිබුණේ. සමහරු පවසන්නේ එවැන්නක් සිදු නොවූ බවයි. කෙසේ වෙතත් වෙනත් ආරංචි පවසන්නේ අර්ජුන් නිසා හටගත් ආරවුලක් දුරදිග ගොස් මෙයර් සහ සුසෑන් කෙහෙවලු පටලවා ගත්තා ය කියලයි.
සල්ලිත් අරන් පොලු තියලා
පාකිස්තාන් - ලන්ඩන් මෝස්තර නිරූපණ සංදර්ශනයක් පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්වුණා. ලොව ප්‍රකට නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන් සහභාගිවූ මේ සංදර්ශනයට ජනප්‍රිය නිළි බිපාෂා බාසු ද ඇරයුම් ලැබුවා. බිපාෂාව මේ සඳහා සහභාගි කරවා ගැනීමේ වගකීම පැවරුණේ එම සංදර්ශනය මෙහෙයවූ රොනිටා ශර්මා රෙඛියි. ඇය එවැනි කටයුතුවල ප්‍රවීණත්වයක් දැරූ අයෙක්. රොනිටාගේ ඇරයුම පිළිගත් බිපාෂා, සංදර්ශනයට සහභාගිවීමට පෙර පවුම් 7,800ක මුදලක් ලබා ගෙන තිබෙනවා. එයට අමතරව ගමන් වියදම් ලෙස තවත් මුදලක් ද සංවිධායකයන් ඇයට ගෙවා තිබෙනවා.
කෙසේ වෙතත්, සංදර්ශනයට සහභාගිවීමට යැයි පවසා ලන්ඩන් නුවරටත් පැමිණ සුඛෝපභෝගී හෝටලයක ලැගුම්ගත් බිපාෂා, මෝස්තර සංදර්ශනයට සහභාගිවීම ප්‍රතික්ෂේප කරලා. ඇගේ කළමනාකාරවරිය ඇයව සංදර්ශනයට රැගෙන යෑමට බලවත් උත්සාහයක් දැරුවත් එය නිශ්ඵල වෙලා. බිපාෂා තම කළමනාකාරියව එළවා ගත් බවයි පැවසෙන්නේ. “අපි, ලන්ඩන්වල ආගමන විගමන කාර්යාලයෙන් ඉල්ලා සිටියා බිපාෂාට කිසිම වෘත්තිය කටයුත්තකට ලන්ඩනයට පැමිණීම තහනම් කරන්න ය කියලා.” සංදර්ශනයේ සංවිධායකවරියක පැවසුවා.
“කවුදෝ වංචාකාර ගැහැනියක් මට විරුද්ධව කටකතා පතුරනවා. එයා හදනව මට නිරූපණ කලාව උගන්වන්න.” ඒ, බිපාෂාගේ ප්‍රතිචාරය.
තමන්ට ලබාදුන් ජංගම දුරකථන සිම් කාඩ්පත්වල අඩු මුදලක් තිබුණේ යැයි කියමින් බිපාෂා එම කාඩ්පත්, සංවිධායකවරුන්ගේ මුහුණටම දමා ගැසුවේ යැයි මේ අතර තවත් ආරංචියක දැක්වෙනවා.