සිනා කතා | සිළුමිණ

සිනා කතා

එතකොට මොකද වෙන්නෙ?

“දැන් ඔය අපි අහගෙන හිටිය කාන්තා දින දේශනයේදී කතා කරපු මහාචාර්යවරිය කිව්වා නේද පිරිමි යන ඕනෑම තැනකට යන්ඩ හයියක්, අයිතියක් කාන්තාවන්ටත් තියෙනවයි කියල?” රන්ජිත්, සෙනෙවිරත්න දෙස බලා ඇසුවේ පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති දේශනයෙන් පසුව යාබද අවන්හලේ තේ කෝප්පයක ‍රස බලමින් සිටියදී ය.

“ඔව්, ඉතින්.....” සෙනෙවි ඇසුවේ රන්ජිත් ගේ මුහුණ දෙස පරීක්ෂාවෙන් බලමිනි.

“ඇයි බං, ඔය කාන්තාවෝ අපි රිංගන පිරිමි වැසිකිළියටත් යන්ඩ ආවොත් හරිම ජංජාලයක්නෙ වෙන්නෙ” රංජිත් කීවේ තම දිගු රැවුල පිරිමදිමිනි.


 

එයා එහෙම නැහැ

“උඹ දන්නවද ඇලිස්, ඔය ලෝක කාන්තා දිනයේදී කතා කරන්නෙම කාන්තා අයිතිවාසිකම් ගැනනෙ. ඒකට මේ අපිත් අයිති වෙනවා. ගෙවල්වල බැල මෙහෙවර කරන්ඩ ආවට හාම්පුතාලා අපිටත් හොඳට සලකන්ඩ ඕනෙ, තේරුණා නේද?” සොපිනෝනා මහා දැනුමැත්තියක මෙන් ඇලිස් දෙස බලා කීවේ මාරකැට්ටුවේදී ය.

“අපරාදෙ කියන්ඩ බැහැ සොපී, අපේ මහත්තයා නං මට එයාගෙ නෝනාටත් වඩා සලකනවා” ඇලිස් කීවේ ඔමරි සිනාවක් පාමිණි.


 

ගොන් තඩියා

“අනගාරික ධර්මපාල තුමා බුද්ධාගමේ පැවැත්ම, ඒ වගේ ම දියුණුව වෙනුවෙන් ලොකු සේවයක් කළා වගේ ම සිංහල බෞද්ධයන්ගෙ මෝඩකම්, අමනකම්, පරගැතිකම් දැක්කම ‘ගොන්තඩියා’ කියල තදින් මූණටම බැණ වදින සිරිතක් තිබුණා. එතුමා වැඩියෙන් ම ඒ විදියට බැණ වැදුණේ කොයි වගේ පුද්ගලයන්ට ද කියල කාටද කියන්න පුළුවන්?” ධර්මපාල තුමා පිළිබඳ දීර්ඝ දේශනයක් කළ මහාචාර්යවරයා එය අසා සිටි පිරිස දෙස බලා විමසීය.

“එකත් එකටම ධර්මපාල තුමා ගැන සවුත්තු චිත්‍රපටියක් හදපු කට්ටියට වෙන්ඩ ඕනෙ.” සභාවේ සිටි අයකු පිළිතුරු දෙමින් කීවේ ය.


 

ඔය මුකුත්ම බැරි හින්දනෙ

“ඔයාටත් පුළුවන්නෙ අනේ ඔය හුඟක් නළු නිළියෝ වගෙ ටී.වී. චැනල් වල රියැලිටි ෂෝ වල තියෙන නැටුම්, ගැයුම්, රැඟුම් තරග වලට ඉදිරිපත් වෙන්ඩ. එහෙම නොකර ඔයා මොකද ඒ තරග විනිශ්චය කරන්ඩ විතරක් සහභාගි වෙන්නෙ?” බන්දුල හමුවූ අවස්ථාවක සුසිලා ඇසුවේ තරමක කුහුලකිනි.

“මට ඔය එකක්වත් හරියට කරගන්ඩ බැරි හින්දනෙ...” බන්දුල ගත් කටටම කීවේ ය.


 

සාදරයෙන් පිළිගන්නං

“ඩාලිං ඔයාගෙ හස්බන්ඩ් ගියා ද?” මං මේ ඔයා බලන්ඩ එන්ඩ ලැහැස්ති වෙන ගමන්.” නිවසින් බැහැර යාම සඳහා ලක ලැහැස්ති වෙමින් සිටියදී නිවසේ දුරකථනය නාද වන්නට ගත් විට සාලයට පැමිණි ප්‍රේමරත්න රසිවරය එසවූ සැනින් කවුදෝ එසේ කියනවා ඔහුට ඇසිණ.

‍”තමුසෙ කලබල නොවී හෙමිහිට එනවකො. මම තමුසෙට සාදරයෙන් පිළිගන්ඩ බලාගෙන ඉන්නං.” ප්‍රේමරත්න දත්මිටිකමින් කීවේ ය.


 

ඔයත් එයා වගේමයි

“මේ සංජීවනී , මොකද ඔයා හිටපු ගමන් මට මුස්තාපා කියල නිකං පල් එකට වගෙ අලුත් නමක් පටබැඳලා කියන්ඩ ගත්තෙ?” කීර්ති තම පෙම්වතියගෙන් ඇසුවේ ඇගේ නුහුරු ආමන්ත්‍රණය සේම, එය තෙපලන සෝපහාසී ලීලාව පිළිබඳව නොපනත් හැඟීමකිනි.”

“ඇයි අනේ ඔයත් කරන්නෙම අර මුස්තාපා වගෙ හැම දෙයක්ම කිසිම සාධාරණ හේතුවක් නැතුව කල්දාන එකනෙ, විශේෂයෙන් ම අපෙ කසාදෙ.” සංජීවනී දෙතොල් උල්කොට, තම පෙම්වතාගේ නැහැය සෙමින් මිරිකමින් කීවාය. 

Comments