
කුරුණෑගල අඹන්පොල ප්‍රදේශයේ ඉපිද, හැදීවැඩී, කලාවට ඇති ළැදියාව නිසාම කොළඹට පැමිණි යොවුන් කලාකරුවෙකි සරත් නිශාන්ත සිංහලගේ. කලා ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනකු ඔහු හඳුන්වනු ලබන්නේ නිශාන්ත නමිනි. මේ දිනවල නිශාන්ත වැඩි වශයෙන් ම ජනප්‍රිය චරිතයක් බවට පත්වී ඇත්තේ හිරු ටී.වී. නාළිකාවෙන් විකාශය වන ‘ආටකනාටක’ කතා මාලාවේ දක්වන අපූර්ව රංගනයන් නිසාය. පාසල් වේදිකා නාට්‍යයන්ගෙන් ආරම්භ වුණු නිශාන්තගේ රංගන දිවිය වීදි නාට්‍ය තුළින් ඔපවත්වී මේ වනවිට ටෙලිනාට්‍ය සිනමා දක්වා විහිද පැතිරී ඇත. තම රංගන දිවිය පිළිබඳවත් කලාව තුළ අනාගත අරමුණු පිළිබඳවත් නිශාන්ත රසඳුන වෙත පළ කළේ මෙවන් අදහස් කීපයකි.
“මම පාසල් ගියේ අඹන්පොල කනිෂ්ඨ විද්‍යාලයට සහ බලල්ල මහා විද්‍යාලයට. බලල්ල මහා විද්‍යාලයට ගියේ කලා විෂයන්වලට තිබුණු කැමැත්ත නිසා. විශේෂයෙන් ම නැටුම් විෂයට. පුංචි දවස්වල ගමේ තිබුණු ගීත නාටකවලට සම්බන්ධ වෙලා හිටියා. ඒ නාටකවල රඟපෑම නිසා ලැබුණු ප්‍රතිචාර නිසා රංගනයට යොමුවෙන්න මගේ හිතේ ආශාවක් ඇති වුණා.”
‘බලල්ල මහා විද්‍යාලයේ සිටි ටිකිරි චන්ද්‍රසේකර ගුරුතුමා මගේ හැකියාවන් හඳුනාගෙන පාසල් නාට්‍යවලට සම්බන්ධ කරගත්තා. උසස් පෙළ කරන විට “තුරු සෙවණ” රංගන පාඨමාලාව හදාරන්න සම්බන්ධ වුණා. රංජිත් සුරංග සහ ග්‍රැන්විල් රුද්‍රිගු යන ප්‍රවීණ කලාකරුවන්ගෙන් තමයි මම එහිදී රංගනය පිළිබඳව ඉගෙන ගත්තේ. උසස් පෙළ අවසන් වුණාට පස්සේ රංගනයට ඇති කැමැත්ත නිසාම කොළඹට එන්න මම තීරණය කළා. එහිදී පාණදුරේ ඉන්න මගේ අක්ක ලඟ තමයි මම නැවතුණේ. අක්කලගේ ගෙදර ඉන්න ගමන් වීදි නාට්‍ය කණ්ඩායමක් ඇති කරගත්තා. අපේ වීදිනාට්‍ය කණ්ඩායම ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගිහිං වීදිනාට්‍ය පෙන්නුවා. බොහෝ වෙලාවට ඒ වීදිනාට්‍යවල පිටපත් රචනා කළේ මම. වීදිනාට්‍ය මඟින් රංගනය පිළිබඳවත් නාට්‍ය කලාව පිළිබඳවත් අත්දැකීම් රාශියක් ම මගේ ජීවිතයට එක්කර ගත්තා.”
“මගේ මුල් ම ටෙලිනාට්‍ය රංගනය තමයි ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ සුදු හාමිනේ ටෙලිනාට්‍යයේ කළ රංගනය. ඉන්පසුව පබා, බට්ටි, අතුරුපාර, සරා වැනි ටෙලි නාට්‍යවල ඉතා සුළු චරිත නිරූපණය කිරීමේ අවස්ථාව මට හිමි වුණා. මගේ වීදි නාට්‍ය කණ්ඩායමේ හැකියාවන් දැකලා මහේෂ් සත්සර මහත්මයත් අසංක පෙරේරා මහත්මයත් ටෙලිනාට්‍ය වලට දායක වෙන්න අවස්ථාව ලබා දුන්නා. අසංක පෙරේරා මහත්මය මාව ඔහුගේ දැන්වීම් ප්‍රචාරක ආයතනයටත් සම්බන්ධ කර ගත්තා. ඔහු නිසයි මට “ආටකනාටක” ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ.”
“වේදිකා නාට්‍යවලටත් මම සම්බන්ධ වුණා. ඒ; “මැඩම්”, “මිනිස්කම මැරිලා” වැනි වේදිකා නාට්‍යවලට. “මිනිස්කම මැරිලා” අධ්‍යක්ෂණය කළේ මම. මම නිර්මාණය කළ “මනුෂ්‍යත්වය” පාසල් වේදිකා නාට්‍ය රටේ විවිධ ප්‍රදේශවල පාසල් විශාල සංඛ්‍යාවක වේදිකාගත කළා. මේ වනවිට මම චිත්‍රපට දෙකකටත් දායක වෙලා තියෙනවා. ඒ ‘පරාවර්තන’ සහ ‘සෙල්වම්’ යන චිත්‍රපටවලට. සෙල්වම් චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබුණා. මේ වන විට මම ටෙලිනාට්‍ය 30 කට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. කොහොම වුණත් ප්‍රේක්ෂකයින් මාව හඳුනා ගත්තේ “ආටකනාටක” ටෙලිනාට්‍ය නිසා. එහි මුලින් ම මට රඟපාන්න තිබුණේ සුසිලා කෝට්ටගේ, නිල්මිණී කෝට්ටෙගොඩ, උදය කුමාරි වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියන් සමඟ. සමහර දවස්වලට “ආටකනාටක” වල චරිත 5ක් පමණ මට කරන්න සිදුවෙනවා. ඉතාම කැමැත්තෙන් තමයි මම මේ ටෙලිනාට්‍යයේ රඟපාන්නේ. මේ ටෙලිනාට්‍යයේ රඟපෑම නිසා ඇතැමුන් මාව “සේන” නමින් හැඳින්වුවා. ඒ වගේ ම සුසීගේ මහත්තයා කියලත් හැඳින්වුවා. මේ දවස්වල මම “සිකුරු මාරුව” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපානවා. රංගන ක්ෂේත්‍රය තුළ මම මේ ගමන ආවේ බොහෝ කැපකිරීම් කරලයි. ඉදිරියේදී අධ්‍යක්ෂණය පැත්තට යොමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.”