
මිනිසුන්ගේ ජීවිත ගොඩ නැඟීමට ආදර්ශ බොහෝ වැදගත් බව අපි දනිමු. ඒ ආදර්ශවල ගති ස්වභාවයන් අනුගමනයට මෙන්ම අනුකරණයට දැන හෝ නොදැන අප යොමු වන බැවිනි. ජනමාධ්‍ය සමාජයේ ගමන තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත් වන්නට වූ පසු, ඒවායේ කැපී පෙනෙන චරිත ආදර්ශ ලෙස ප්‍රචාරය වූවා විනා මහජන සුබ සිද්ධිය, පරිසර සංරක්ෂණය වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සැබෑ සේවයක් කරන්නන් ආදර්ශ ලෙස ප්‍රචලිත වූයේ අඩුවෙනි. මේ තත්ත්වයෙන් උඩුගං බලා යාමක් ලෙස ශාන්ති පදනම ගමේ ගජමුතු සොයා යන්නට විය. එසේ ලද ආදර්ශවත් කතා හතළිස් අටක් ඇතුළත් ‘ගමේ ගජමුතු‘ කතා එකතුව පොතක් ලෙස එළි දක්වන්නටත් ශාන්ති පදනම සමත් විය.
ඒ පිළිබඳ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති හා ශාන්ති පදනමේ සභාපති ආචාර්ය කොටපොළ අමරකිත්ති හිමියන් සඳහන් කර වදාළේ මෙබඳු අදහසකි:
“සමාජයේ ඉදිරි ගමන තීරණය වන්නේ පූර්වාදර්ශ මත. මානව සංහතිය ආරම්භයේ සිටම මේ ගති ගුණ පැවැතුණු බව අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා. සෑම සත්ත්වයෙකුටම ඇස, කන, නහය, දිව, ශරීරය සහ මනස යන ඉන්ද්‍රියයන් හයෙන් යුක්තයි. මනසට තොරතුරු සපයන්නේ ඉතිරි ඉන්ද්‍රියයන් පහෙන්. සිතේ හැඩතල සැකසෙන්නේ ඒ තොරතුරු මඟින්. යහපත් තොරතුරු ලැබුණොත් යහපත් වෙනවා වගේම අයහපත් තොරතුරු මඟින් අයහපත් වීමටත් මේ ‘සිත‘ සූදානම්.
මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය මඟින් දශක ගණනාවක් තිස්සේ ලබා දෙන තොරතුරු නූතන ව්‍යසනකාරී සමාජය බිහි කිරීමට ඉවහල් වෙලා තිබෙනවා. දැනට සමාජය යොමු වී ඇති දිශානතිය එතරම් සුබදායක නෑ. නිරන්තරවම මිනිසුන්ගේ වැරැදි පමණක් මාධ්‍යවලින් හුවා දැක්වීම නිසා මිනිසාගේ විනාශයට මඟ පෑදෙන පූර්වාදර්ශ එයින් සැපයෙනවා.
ශාන්ති පදනම 2015 අගෝස්තු මාසේ විද්වත් සභාවක් කැඳවා එයින් ලැබුණු නිර්දේශවලින් එකක් හැටියට ගමේ ගජමුතු මතු කරගන්න කටයුතු කළා. ගමේ ගොඩේ ජීවත්වන ආදර්ශවත් මිනිසුන්ගේ ජීවන චරිත පිළිබඳ රචනා තරගයක් පවත්වා ඒ අතරින් තෝරාගත් හොඳ නිර්මාණ එකතු කර මේ පොත එළි දැක්වූවා.“
මේ පොත කියවීමේදී අන් අය පිළිබඳ මෙන්ම තමන් කළ හොඳ දෑ පිළිබඳවද නිර්මාණාත්මක රචනා එවූ රචකයන් හමුවේ. හොඳ කිරීමට ගොස් බැට කෑ අය පිළිබඳවද මෙහි ඇතැම් කතා ඇතුළත්ය. තවත් අත්දැකීම් වරෙක පෞද්ගලික යැයි සිතුණද ගැඹුරින් කල්පනා කිරිමේදී ඒවායේ ඇතුළත් වන්නේ ද ඔවුන් කළ යහපත් දේය. මේ සියලු කතා නිර්මාණවල පොදු ලක්ෂණ ලෙස දැකිය හැක්කේ අහිංසාවාදය, පරිසරලෝලීත්වය, නිර්මාණශීලීත්වය සහ අභියෝග ජයගැනීමේ හැකියාවයි.
පොතට පසදුවදනක් සපයන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලේඛක සෝමවීර සේනානායක මහතා සටහන් කරන්නේ මෙසේය:
“සත්පුරුෂ සමාජයක් බිහිකිරිම සඳහා ප්‍රශස්ත මෙහෙවරක යෙදෙන නව මුහුණුවරක කතා සංග්‍රහයකි ගමේ ගජමුතු. අප රටේ සැබැවින්ම ආදර්ශ චරිත විය යුත්තේ අද ඇතැම් ජනමාධ්‍ය විසින් මතුකොට දක්වන්නවුන් නොව ගම් නියම්ගම්, දනව්, පසල් දනව් සහ නුවරවල වෙසෙන මෙබඳු අර්ථසම්පන්න සාමාන්‍ය මිනිසුන් බව කතා සංග්‍රහය හෙළි කරයි. කතා තුළින් සාරධර්ම, ගුණධර්ම වර්ධනය කිරීම ජාතක කතා වෙතින් අප ලත් උරුමයකි. එහි තවත් පැතිකඩකි මේ කතා සංග්‍රහය. සද්භාවයෙන් යුතුව සත් ක්‍රියාවන්හි යෙදෙන අප්‍රකට සත්‍ය චරිත සමූහයක් පිළිබඳව රචිත මේ කතා නවකයන් අතින් විවිධ විචිත්‍ර ශෛලීන්ගෙන් ලියවී තිබීමද විශේෂයකි. මේ උත්සාහය සිරිලක පුරා විහිදවූ ආලෝක ධාරාවක් වැන්න.“
ඒ ආලෝක ධාරාව තවත් වරක් විහිදුවමින් තවදුරටත් සැඟවී ඇති ‘ගමේ ගජමුතු‘ සෙවීමේ මෙහෙයුමක් ලෙස රචනා තරගය යළි ඇරැඹී ඇත. එයින් මතු වන තවත් ගජමුතු රැසක් පිළිබඳ තොරතුරු මුද්‍රණද්වාරයෙන් යළි එළි දකින දිනය ඈතක නොවේ.