මිනිසුන්ගේ කතා ඉවර වෙන කතා නොවෙයි | සිළුමිණ

මිනිසුන්ගේ කතා ඉවර වෙන කතා නොවෙයි

'ඉක්බිති ඔවුහු බුදිය ගත්හ' තක්ෂිලා ස්වර්ණමාලිගේ පළමු නවකතාවයි‍. සමාජයේ ජිවත් වන මිනිසුනගේ සාතිශය බහුතරයක් නිදිවැදුණු මිනිසුන් බවත් අතිශයින් ම සුළුතරයක් අවදියෙන් සිටින මිනිසුන් බවත් ඇය පවසයි. මිනිසුන් අවදි ව සිටිම විකෘතියක් බවත් නිද්‍රාශිලි වීම ප්‍රකෘතියක් බවට කර ඇති බවත් මේ සමස්ත සමාජයේ බල පැවැත්වෙන්නේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ අරමුණු කරගත් ධනේශ්වර සංකල්ප බවත් එය විසින් මිනිසුන් නිද්‍රාවට පත් කර ඇති බවත් ඇය පවසයි. මේ විකෘතිය සහ ප්‍රකෘතිය අතර ඇති සැබෑව පිළිබඳ ව ඇය මෙහිදී විවරණයක් කරයි"

•'ඉක්බිති ඔවුහු බුදිය ගත්හ' ඔබේ පළමු නවකතාව. ‍මේ නවකතාවෙන් වර්තමානයේ සමාජයේ ඇති ප්‍රකෘතිය සහ විකෘතිය අතර සමාජ චලන තරමක් වෙනස් ආකාරයෙන් විග්‍රහ කිරීමක් සිදු වෙනවා යැයි කිවහොත් නිවැරදි ද?

මේ නවකතාවට පසුබිම් වෙන්නේ අපි ජීවත් වෙන වර්තමාන සමාජ වටපිටාව කිවහොත් එය නිවැරදියි. මේ සමාජයේ ධනවාදය විසින් මිනිසුන් නිද්‍රාවට පත්කොට ත‍ිබෙනවා. මිනිසුන් නිදාගෙන සිටීම සාමාන්‍යකරණයක් බවට පත්වෙලා. අවදියෙන් සිටීම වික‍ෘතියක් බවට පත් වෙලා‍. මේ විකෘතිය සහ ප්‍රකෘතිය පිළිබඳ සැබෑ විග්‍රහයක් කරන්න ම‍ට අවශ්‍ය වුණා. මේ නවකතාවේ ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ විසි එක්වෙනි සියවසේ දෙවැනි දශකයේ ලාංකික සමාජය. ඒ සමාජ කියැවීමට සහයෝගයක් විදිහට මෑත කාලීන අතීතයේ සිදුවීම් කිහිපයක් එකතු වෙනවා. ප්‍රධාන වශයෙන් මා මේ නවකතාවෙන් පවත්නා සමාජ ක්‍රමය ප්‍රශ්න කිරීමක යෙදෙන අතර ම මිනිසුන් අවබෝධයෙන් තැබීම සම්බන්ධයෙන් මෙරට වමේ ව්‍යාපාරයේ බල පැවැත්ම ගැන අංශූ මාත්‍ර විවරණයක් කරනවා. මෙය කියවන ඇතැම් පාඨකයකු ජීවත් වෙන පරිසරයේ ඇති වටිනාකම් සහ ඔවුන් හරපද්ධතීන් කියා සලකන ඇතැම් දේවල්වලට පහර වදින්න පුළුවන්, සමහරකුට මේ දේවල් නොදැනී මඟ හැරි යන්නත් පුළුවන්. අප මවාගත්ත අපේ ම ලෝකයක් තිබුණට සැබෑ ලෝකේ කියන්නේ ඒ හීනේ නෙමෙයි. ඇත්ත ලෝකේ දිහා බලන්න නම් අපිට අපිව ටිකක් රිද්ද ගන්න වෙනවා. මා මේ නවකතාව ලිව්වේ කුමන ස්ථාවරයේ සිට වුවත් කියවන කෙනා මෙහි ඇති දේවල් කියවා ගන්න‍ේ තමන්ගේ පිහිටුම් අනුවයි. මා එක තැනකදී මෙහි සදහන් කළා 'ඉස්සර මිනිස්සු සිරිපාදේ ගියහ. ඉස්සර සමනල්ලු ද සිරිපාදේ ගියහ. තාම මිනිසුන් සිරිපාදේ යති. එහෙත් දැන් සමනල්ලු සිරිපාදේ යන්නේ නැත'. මෙයින් මා කියන්නට හදන දේ විකෘති නොවෙන්න 'මිනිසුන් වෙනස් වන්නේ ඇසට නොපෙනෙන තරම් සෙමින් ය.' කියලා අමුවෙන්ම එක් තැනකදී කිවුවත් සමහරුන් එය කියවා ගෙන තිබුණේ, විඥානවාදී සිතුවිලි ප්‍රමුඛ ආකල්පවල ඇති අති මන්දගාමී වෙනස් වීම ගැන කරපු සඳහනක් විදහට නොවෙයි පරිසර විනාශයක් ගැන කියපු දෙයක් විදිහටයි‍.

• යම් නිර්මාණ කාර්යක් කිරිමට උත්සාහ කරන නිර්මාණකරුවකුට තමා කීමට උත්සාහ කරන දේම පාඨකයා කියවා ගත යුතුයි කියා ඔබ සිතනවාද? තමා කියන්නට යන දේ එක එල්ලේ ම පැහැදිලි කිරීමට යෑමෙන් සාර්ථක නිර්මාණයකට එයින් හානියක් විය හැකියි නේද?

නිර්මාණකරුවා කියන්න උත්සාහ කරන දේ ම පාඨකයා වටහා ගත යුතුයි කියලා මා කියන්නේ නැහැ. සියදෙනෙක් පාඨකයන් සියයක් කියවුවොත් ඒ සිය දෙනා අවබෝධ කරගනු ලබන්නේ සිය ආකාරයකට විය හැකිය. එහෙත් යම් නිර්මාණකරුවෙක් නිර්මාණයක් කිරීමෙන් කීමට උත්සාහ කරන් දෙයක් තියෙනවා. ඒ දේ නිර්මාණයේ නිර්මාණාත්මක භාවයට හානි නොකොට පාඨකයාට කියවා ගැනීමටයි රුකුල් දීමයි නිර්මාණකරුවකු කළ යුත්තේ. නිර්මාණකරුවකු යම් නිර්මාණයක් කිරීමේදී ඒ නිර්මාණකරුවාටත් මේ සමාජයට කියන්න යමක් තියෙනවා. අන්න ඒ දෙයයි මා මගේ කතාවේ දී කියන්නට උත්සාහ කළේ. මා 'ඉක්බිති ඔවුහු බුදියගත්හ ' නවකතාවෙන් කීමට උත්සහ කරන විඥානවාදී සිතුවිලි ප්‍රමුඛ ආකල්පවල පිහිටා ඇති මන්දගාමී සමාජ වෙනස් වීම් පිළිබඳ කියන්නට හදන දේ පැහැදිලි කිරීමටයි මා උත්සාහ කළේ. එයින් මා නිර්මාණයේ ගලා යෑමට මෙන්ම එහි නිර්මාණ රසයට හානියක් නොවන්නට වග බලා ගත්ත‍ා‍.

• ඔබ පවතින සමාජ ක්‍රමය විසින් හු‍ෙදකලා කරන ලද මිනිසුන් පිළිබඳ ව සමාජ විවරණයක් කිරීමට මෙමඟින් උත්සාහයක යෙදෙනවා කිවහොත්?

මේ නවකතාවේ ජීවත් වන චරිත අපිත් එක්ක සජීවී ව ජීවත් වන චරිතවල ප්‍රතිනිර්මාණයක්. ඔවුන්ගෙන් සාතිශය බහුතරය නිදි වැදුණු මිනිසුන්. අතිශයින් සුළුතරයක් පමණයි අවදි ව සිටින්නේ. ඒ අතර අවදි වුවත් නිදිවැදුණා සේ ඉන්න මිනිසුන් ඉන්නවා. ඒ සියලු දෙනාගේ මානව බැඳීම් සංකීර්ණයි. ඒ බැඳීම්, සමාජය විසින් හදලා දුන්න නිශ්චිත රාමු ඇතුළට දාන්න බැහැ. ඒ වගේම සංකීර්ණ බැඳීම් තිබුණත් සමාජය විසින් මිනිස් බැදීම් හුදකලා කර තිබෙනවා. අමර හා ලොකු අක්කා ධනවාදයට එරෙහි මිනිසෙක් විදිහට වෙනස් කරලා සංවිධානය කරන්න පුළුවන් විභවයක් තියෙන මිනිසුන්ගේ සංකේතයක් ලෙස මා භාවිත කළා. මෙහි වර්තමාන දවසේ අතරින් පතරට කඩාපනින අතිත සිද්ධි පෙළක් හරහා වසර කිහිපයක් පුරා දිවෙන එකිනෙකට සම්බන්ධ සිදුවීම් මාලාවක් ගොඩ නැඟෙනවා, ඒවාට අවසානයක් නැහැ. වර්තමාන දවසට පාදක වෙන සමාජ පරිසරයක්. ග්‍රාමිය වුවත්, නාගරික වුවත් ඒ ඒ සමාජ පරිසර එකිනෙකට සාපේක්ෂ ව යි පවතින්නේ. මිනිස් චර්යාවන්හි හැඩතලවල වෙනසක් විතරයි තිබෙන්නේ.

• ඔබේ නවකතාවේ ආකෘතික භාවිතයන් තරමක් වෙනස්?

ඔව්. බහුතර සිංහල පාඨකයා කැමති පැහැදිලි ව මුල මැද අග ගැළපූ හැඟීම්බර කතන්දරයක් මෙහි අන්තර්ගත වෙලා නැහැ. මගේ මේ ලියමන මට ඒ විදිහට ලිවීමට අවශ්‍ය වුණේ නැහැ. සාම්ප්‍රදායික ආකෘතියෙන් පරිබාහිරව යම් වෙනසක් කරන්න මට ඕනෑ වුණා. ‍මානව බැඳීම් ඉතා සංකීර්ණයි, ඒ සංකීර්ණ බැඳීම් එක රාමුවකට කොටු කරලා දාන්න බැහැ. ඒ වගේ ම සාම්ප්‍රදායික රාමු ඇතුළේ නවකතාවක් දාන්න ඕන නැහැ. අපේ වස්තු විෂයයට ගැළපෙන රාමුව ඇතුළේ අපි නිර්මාණය බිහි කරන්න ඕන. ඒ වර්තමාන දවසට පාදක වෙන සමාජ පරිසරයක් කේන්ද්‍රගත කරගත් සිදුවීම් රැසක් මෙහි අන්තර්ගතයි.

• මේ නවකතා‍වේ නිශ්චිත අවසානයක් නොමැති වීමත් විශේෂත්වයක්?

'කිසිවක් අවසානාත්මක නැත, අපි ‍අතරමැදි අවස්ථාව ගෙවමින් සිටිමු ' යනුවෙනුයි මා මෙය අවසන් කරන්නේ. මේ නවකතාවේ ජීවත් වෙන චරිත පමණක් නොව ලෝකෙ වමේ ව්‍යාපාරයේ ගමනත් සමාජ ප්‍රගමනයෙත් අතරමැදි අවස්ථාවක් මෙහි අන්තර්ගතයි. මිනිසුන්ගේ කතා ඉවර වෙන කතා නොවෙයි. මිනිසුන් මැරුණත් මිනිසුන්ගේ කතා ඉවර වෙන්නේ නෑ‍. මේ චරිත පිළිබඳ කතා නිශ්චිත වශයෙන් නිශ්චිත රේඛාවකින් අවසන් වන්නේ නැහැ. ඒක නිසා මට මෙහි නිශ්චිත අවසානයක් සටහන් කරන්න බැහැ.

Comments