
වීදිය තරමක් කලබලකාරී ය; නොසන්සුන් ය; එකිනෙකා හා අනවරත තරගකාරීත්වයෙන් යුතුය. වීදියේ සරන්නෝ හැම දෙනා ම පාහේ තම තමන්ගේ ලෝකවල අතරමං ව සිටිති. ඒ ලෝකවල හොඳ, නරක, දුක, සතුට, කලකිරීම, වෙහෙස ඈ නන්විධ දෑ වරින්වර දෝලනය වන බවට සලකුණු මතුවී නොපෙනී යනයුරු කැඩපතකින් පෙනෙන්නාක් මෙන් මුහුණුවලින් පෙනේ.
ඈත කොනින් අවමංගල රිය පෙරහරක් මතු වී ආයේ ය. සෙමෙන් ඇදී ආ රිය පෙළින් ඉක්බිති හඬමින්, වැලපෙමින් ආ පිරිස හැඬීමෙන් ම මලානික ව දුබල වූ ගතත්, සිතත් ඇත්තේ; පරාජිත මුහුණින් ද යුක්ත වූහ. අවමංගල්‍ය රිය සෙමෙන් සෙමෙන් අප පසු කොට ඇදී යමින් තිබිණි. අවමඟුල් පෙරහැරේ ශෝකාකාරී බව වීදියේ උන් අයට ද බෝ වූවා සේ ඔවුහු ද මලානික වුවනතින් යුතු වූහ. වීදියේ කොනට වන්නට ගමන් කරමින් සිටි ඔවුහු කනත්ත කරා යන්නට පාර මාරු වීමට බලා සිටියෝ ය. නොඉවසිල්ලෙන් පාර මාරුවීමට බලා සිටි ඔවුන් අසලින් අලංකාර ලෙස හැඩ ගැන්වූ නවීන වර්ගයේ මෝටර් රථයක් මුළු වීදිය ම කලබල කරමින්; තිගස්සවමින් ඇදී ආයේ දුක්ඛයක සේයාවක් හෝ කිසිදිනක අත්නොවිඳි වුවනතින් යුතු කිහිප දෙනකු සමඟ ය. මෝටර් රථයේ සිටින්නවුන්ගේ මුහුණු සතුටේ අලංකාරයෙන් විකසිත ව තිබිණි. මොහොතකින් නව යුවළ දැක ගැන්මේ නොතිත් ආශාවට පත් වීදියේ උන් මිනිසුන්ගේ වුවනතින්, ඊට මොහොතකට පෙර අවමංගල්‍ය පෙරහරක් දැකීමෙන් ඇති වූ දුක් සහගත බව පහ ව ගොස් තිබිණි. විනාඩි ගණනක් ඇතුළත එකිනෙකට සපුරා ම වෙනස් ඉරියව් දෙක ම මනා ව දැක ගන්නට ලැබුණේ ඔබ, මම ජීවත් වන මේ ස්වාභාවික ජීවන තත්ත්වය ඇතුළතදී ම ය. එය කිසිසේත් කෘත්‍රිම රංගනයෙන් දූෂිත වී නොතිබිණි.
අප බොහෝ උගත් අය වුවත්, නූගත් අය වුවත්, යම්කිසි වෘත්තීන්හි විශේෂඥ බව ඇත්තන් වුවත්, නැතත් සියලු දෙනාගේ ම දිවියෙහි නොවිසඳුණු අරගල මෙන් ම වේදනාව හා දුක් වීඳීම ද ඇත. ඒ හා සමඟ ම ප්‍රීතිය හා මුළුමනින් ම ආත්මාර්ථකාමී නොවන ස්වභාවය ද ඉඳහිට ඇත. මනුෂ්‍යයන් වන අප විශ්‍රාම ගන්නා තෙක් අධික කාලයක් කාර්යාලයට ගොස් පැය අටක් තිස්සේ වැඩ කරමින් හැම මොහොතෙහි ම මොළය හා සිත කිසියම් දෙයක නිරත කරවමින් ජීවත් වන්නේ කුමක් සදහා ද? ම සිතට පැනයක් නැඟෙයි.
අපට කිසිදු විටෙක නිශ්චල බවක්; සාමයක් හෝ ඉවසිල්ලක් නැත. ඒකාකාරී වූ, අඩ වශයෙන් හුදෙකලා වූ, සෑහීමක් නැති දෛනික ජීවිතයකි අප සැමට ම ඇත්තේ. ආගම ඔස්සේ එක් ආකාරයකටත්; විවිධ විනෝදාංශ ඔස්සේ විනෝද වීමෙන් තවත් ආකාරයකටත් ජීවිතයට මුහුණ නොදී පලා යෑමට අපි උත්සාහ කරන්නෙමු. එහෙත් අවසානයේ අප සිටින්නේ පෙර තැන ම ය. මානසික වශයෙන්, අභ්‍යන්තර වශයෙන් අප වෙනස් වී ඇතොත් ඒ සුළු ප්‍රමාණයකිනි. අපේ ප්‍රශ්න දිනෙන් දින ම වැඩි වන අතර ම වයසට යෑම, ලෙඩ රෝග සහ ජීවිතය අවසන් කරලන කිසියම් අනතුරක් ගැන වන භීතිය හැම විට ම අප සිත් හි ඇත. ළමා කල සිට මරණය පැමිණෙන තෙක් ම අපේ පැවැත්ම මෙබඳු ය. මරණය පිළිබද ගැටලුව කිසිවිටෙකත් අපට නිරාකරණය කර ගැනීමට නම් නොහැකි ය.
මහලු වියට එළැඹෙද්දී විශේෂයෙන් කෙනකුට අතීතය මතක් වෙයි. තමාට වේදනාව ගෙන ආ දේ, සතුට ඇති වූ අවස්ථා, දුක් වේදනා ඇති වූ අවස්ථා සිහියට නැඟෙයි. මරණය ගැන කතා කරන හැම විටෙක ම අපි පුරුද්දට මෙන් ඊට බුද්ධිමය අගයක් එක් කිරීමට සිතන්නෙමු. එනම් මරණය වැළැක්විය නොහැකිය; ඒ ගැන බිය විය යුතු නැත; එයින් කිසිවකුට පැන යෑමට නොහැකි ය යනාදි වශයෙන් යුක්ති සහගත කිරීම ය. එසේත් නැතිනම් පුනරුත්පත්තිය වැනි එලොව පිළිබඳ ගැටලුවෙන් පැන යෑම ය. ඉතා සියුම් ලෙස බැලුවොත් එතරම් අර්ථයක් නැති මේ ජීවිතයට කුමන තේරුමක් ද සැබවින් ම දිය හැක්කේ? ඇත්ත වශයෙන් ම අප මේ ගත කරන ජීවිතයේ ඇත්තේ ඉතා අල්ප වූ අර්ථයකි.
අප දන්නේ ජීවත් වීම හා මරණය යන දෙක පමණී. ඉන් බාහිර වූ සියල්ල ම සුරක්ෂිත හැඟීමක් ගැන බලාපොරොත්තුවක් ගෙන දෙන යම් විශ්වාස පසුපස ලුහුබැඳ යෑමකි. සිතිවිලි ඔස්සේ අප ගොඩනඟාගත් පරමාදර්ශ අප සැමට ම ඇත. ඒවා සාක්ෂාත් කර ගැනීමට අපි දඟලමු. අපට ඕනෑ ම දෙයක් කළ හැකි යැයි හැඟෙන ශක්තියෙන් අනූන බාල වියෙහිදී පවා අප ජීවත් වන්නේ ඒ ආකාරයෙනි. එහෙත් යොවුන් විය හා මැදි වියත්, ඉන්පසුව මහලු වියත් එළැඹි විට මරණය ගැන ක්‍රමයෙන් සිහියට නැඟෙන්නේ ය.
එවිට මරණය සමඟ ඔබ තනා ගෙන තිබූ ඇතැම් නිශ්චිත මත, විශේෂිත ලක්ෂණ, ඇලුම් හා රිදුම් අවසන් වේ. එවිට මරණය ඈත පවතින යම්කිසි දෙයක්වත්, මහලු බව විසින් ගෙන එන්නක් හෝ නොවන්නේ ය. ඒ ස්මෘතිය ජීවත්වීම කෙරෙන් අන්‍ය නොවූ මරණයයි. මේ අවබෝධය උදා කර ගැන්ම පහසු නැත. මිනිසා සෑම විට ම භෞතික ජීවිතයෙන් එපිට වූ දෙයක් ගැන කිසිම අත්හළේ නැත. අකාලික වූ චින්තනයට අයත් නොවූ යම්කිසිවක් ඇත්දැයි දැන ගැනීම සදහා මිනිසා සෑම කල ම ගවේෂණය කර ඇත; විමසා ඇත; දුක් විඳ ඇත; දුෂ්කර ක්‍රියා කර ඇත.
එහෙත් කාලය සම්බන්ධ හැම දෙයට ම වඩා ඒ හා වන සනාතනත්වයෙන් එපිට කිසියම් දෙයක් ඇත්දැයි දැන ගැනීම සදහා ඔබ අභ්‍යන්තරයෙන් ම නිදහස් වී සිටිය යුතුය. ඔබ විශ්වාසයෙන් යම් කිසිවකට, විශේෂ ස්වරූපයකට බැඳී සිටින්නෙහි නම්, ඒ විශ්වාසය ම සනාතනත්වය කුමක්දැයි පිරික්සීමට බාධාවක් වන බැවිනි. ආගම කුමක්දැයි විමසීමට නියම වුවමනාවක් තිබේ නම් ඔහු නිදහස් මනසක් ඇත්තෙක් විය යුතුය; සියලු විශ්වාස, ඇදහිලි, සංකේත, පුද පූජාවලින් නිදහස් විය යුතුය; පෞරාණික සාහිත්‍යයෙන් ද නිදහස් විය යුතුය; සියල්ලට ඇති ඇල්මෙන් මුළුමනින් ම නිදහස් විය යුතුය.
වීදිය දැන් නිදහස් ය. එහෙත් තවෙකකු ගැන කිසිදු හැඟීමක් නැතිව බොහෝ ජනයා තවමත් වීදියේ සරති.