
කැටි, පෙම්වතා එක්ක බලු පැටියාත් දමා ගිහින්
ඕලැන්ඩෝ බ්ලූම් සහ කැටි පෙරී, හොලිවුඩ්පුරයට සුන්දරත්වය එක්කළ තරු යුවළක්. පසුගිය වසරේ මුලදී තමයි මේ දෙදෙනාගේ ප්‍රේම කතාව ඇරැඹුණේ. 2016 වසරේ මුළුදුන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළට පසුව පැවැති ප්‍රිය සම්භාෂණයේදී මිතුරු වූ ඕලැන්ඩෝ සහ කැටී වසරකට වැඩි කාලයක් පෙමින් වෙලී සිටියා.
පසුගිය වසරේ මාර්තු මාසයේ ඔවුන් දෙදෙනා එංගලන්තයේ සංචාරය කළා. ඒ, ඕලැන්ඩෝ සහ කැටීගේ උපන් රට එංගලන්තය නිසයි. එහිදී දෙදෙනාගේ සමීප මිතුරියක වන ජැමී ශිනීඩර්ගේ විවාහ මංගල උත්සවයටත් ඔවුන් සහභාගි වුණා. එතැනින් ඔවුන් නික්ම ගියේ ඉතාලියටයි. එරට සංචාරය කළ ඕලැන්ඩෝ සහ කැටී, සැහැල්ලු රුවල් නැවක නැඟී ඈත දියඹේ යාත්‍රා කරන අයුරු කාටත් දැකගත හැකි වුණා. ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ප්රචාරක ව්‍යාපාරයටත් මේ යුවළ එක්වූයේ දැඩි උද්දාමයකින්. කෙසේ වෙතත් දැන් මේ දෙදෙනා වෙන් වෙලා. කැටී, ඕලැන්ඩෝගෙන් වෙන්ව ගොස් ඇත්තේ ඇය ආදරයෙන් රැකබලා ගත් සුරතල් බලු පැටවා ද අතහැර දමමින්.
පසුගියදා ඕලැන්ඩෝ මේ බලු පැටවා සමඟ පෙනී සිටින ඡායාරූපයක් ගෙන එය ට්විටර් පිටුවට එක්කර තිබුණා.
බ්‍රී ලාසන්ගේ අපූරු සම්මාන පිදීම
ආන්දෝලනාත්මක ලෙස නිමාවට පත්වූ 89 වැනි ඇකඩමි සම්මාන උලෙළේ 2016 වසරේ හොඳම නළුවා ලෙස කිරුළු පැලඳුණේ කැසී ඇෆ්ලෙක්ටයි. ඔහුට හිමි සම්මානය පිරිනැමුවේ පසුගිය වසරේ හොඳම නිළිය ලෙස ඇකඩමි සම්මානය දිනූ බ්‍රී ලාසන්. ‘මැන්චෙස්ටර් බයි ද සී’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කැසී ඇෆ්ලෙක්ට හිමි එම සම්මානය පිරිනැමීමට බ්‍රී ලාසන් වේදිකාවට ගොඩවුණේ වැඩි කැමැත්තකින් නොවන බවයි ඇගේ මුහුණින් පිළිබිඹු වූයේ.
රන්වන් පැහැයෙන් දිදුළන ඇකඩමි සම්මානය කැසීගේ දෑතට ඇය පිරිනැමුවේ සිනහවක් පවා නැතිවයි. සාමාන්‍යයෙන් එවැනි සම්මානයක් පිරිනමන තැනැත්තා හෝ තැනැත්තිය සම්මානය බාර දුන් පසුව අත්පොළසන් දෙනවා. නමුත්, බ්‍රී ලාසන් එවැනි ප්‍රතිචාරයක්වත් දැක්වූයේ නැහැ. මෙයට හේතුව කැසීට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී තිබීමයි. “අයැම් ස්ටිල් හියර්” නම්වූ චිත්‍රපටය 2010 දී රූගත කරද්දී ඔහු සමඟ වැඩ කටයුතු කළ කාන්තාවන් දෙදෙනකුගෙන් මේ දූෂණ චෝදනා ඔහුට එල්ල කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම පවසන්නේ කැසීගෙන් ලිංගික අතවර සිදුවූ බවයි. නමුත්, කැසී මේ චෝදනා තරයේම ප්‍රතික්ෂේප කරනවා. මේ වන විට එම කාන්තාවන් දෙදෙනාම කැසීට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබීමත් විශේෂත්වයක්.
ජෙනිෆර්ගේ අව් කණ්ණාඩිය අතුරුදන්
තවමත් බොහෝ දෙනා කතා කරන ඇකඩමි හෙවත් ඔස්කා සම්මාන උලෙළේ නුහුරට ගිය සිදුවීම් අතර ප්‍රේක්ෂකාගාරය පැත්තෙනුත් එවැනි දේ සිදුවෙලා. ‘පුංචි සොරකමක්’ ගැනයි, මේ ආරංචිය. සුපිරි නිළි ජෙනිෆර් ඇනිස්ටන් ද මේ සිනමා සම්මාන රාත්‍රියට සහභාගි වුණා. ඇය ඒ මොහොතේ පැලඳ සිටියේ ඉතා වටිනා අව් කණ්ණාඩියක්. එහි වටිනාකම ඩොලර් 695ක්ලු. සම්මාන උලෙළින් පසුව හිතවත් පිරිස සමඟ කතාබහ කරමින් සිටි ජෙනිෆර් අසලට පැමිණි ඇගේ හිතවතකු වන ජිමි කිමෙල් ඇගෙන් කිසියම් සිහිවටනයක් ඉල්ලා සිටියා. ඔහු පැවසුවේ එහි රැඳී සිටින අලුත විවාපත් යුවළකට තෑග්ගක් හැටියට එය ලබා දෙන ලෙසයි. ජෙනිෆර් සිතුවේ එය විහිළුවක් ය කියලයි. ඇය කිසිදු වග විභාගයකින් තොරව තම අව් කණ්ණාඩිය ඔහුට දුන්නා.
අව් කණ්ණාඩිය ලබාගත් ජිමි, එය උජාරුවෙන් පැලඳගෙන ටිකක් ඈතට ගියා. මේ අතර ජෙනිෆර් තමන් ප්‍රිය කරන ඩෙන්සිල් වොෂින්ටන් නම්වූ සුපිරි නළුවා සමඟ කතාබහකට එක්වුණා. කතාව නිමවී යන්නට පිටත්වූ ජෙනිෆර්, තම අව් කණ්ණාඩිය සොයන්නට පටන් ගත්තා. නමුත් එය ලබා ගත් පුද්ගලයා පෙනෙන තෙක් මානයක සිටියේ නැහැ. කෙතරම් සෙව්වත් ජෙනිෆර්ට ඔහුව හමු වුණේ නැහැ. අන්තිමේදී ඇයට සිදුවුණේ අව් කණ්ණාඩියේ ආසාව අත්හැර ගන්නටයි.
ඇම්බර්ගෙන් විලිබිය නැති වැඩක්
නිරුවත් රැඟුම් හලක් මිලට ගත් ජනප්‍රිය නිළියක් ගැන හොලිවුඩ්පුරයෙන් වාර්තා වෙනවා. ඇය තමයි, ඇම්බර් රෝස්.
මේ සුපිරි තරුව කිසිදු පැකිළීමකින් තොරව පැවසුවේ තමන් එවැනි මධ්‍යස්ථානයක් මිලදී ගත් බවයි. ඇම්බර් හොලිවුඩ් සිනමාවට පා තැබීමට කලින් නිරුවත් රැඟුම් ඉදිරිපත් කළ අයෙක්. ඒ බව සඳහන් කරන්නටත් ඇය මැළි වුණේ නැහැ. “මම ඒ වගේ නැටුම් ඉදිරිපත් කරපු කෙනෙක්. මම අසාමාන්‍ය ශිල්පිනියක් වෙලා හිටියා. කාලයක් තිස්සේ ඔය රංගනයන් මම ඉදිරිපත් කළා. ඒ මගේ ජීවිතයේ හොඳම කාලයයි. ඒස් ඔෆ් ඩයමන්ඩ්ස් තමයි මම මිලදී ගත්ත රැඟුම් ශාලාවෙ නම.” ඇම්බර් රෝස් පැවසුවා. ලොස් ඇන්ජලීස්හි පිහිටි මේ නැටුම් හල ඇය මිලයට ගෙන ඇත්තේ ජේසන් රොබට්සන් නමැත්තාගේ ද සහයෝගයෙන්. ඇයට එස් ඔෆ් ඩයමන්ඩ්ස් ශාලාවේ අයිතියෙන් 60%ක් හිමි වී තිබෙනවා.