BOLLYWOOD | Page 2 | සිළුමිණ

BOLLYWOOD

ප්ලාස්ටික් සැත්කමින් අයේෂා විරූපී වෙයි

අයේෂා ටාකියා රුවැති නිළියක් බවට අටුවා ටීකා අවශ්‍ය නැහැ. ඇය බොලිවුඩ්පුරයට පා තැබුවේ 2004 දී ‘ටාසන් : ද වොන්ඩර් කා’ චිත්‍රපටයෙන්. උපතින්ම සුන්දර රූ සපුවකට හිමිකම් පෑ අයේෂාට සිදු වුණේ අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දෙන්නයි.

වසර කිහිපයක්ම සිනමා රංගනයෙන් ඈත්ව සිටි අයේෂා, යළි සිනමාවට එක්වීමේ අරමුණෙන් යුතුව තමන්ගේ මුහුණට ප්ලාස්ටික් සැත්කමක් සිදුකර ගෙන තිබෙනවා. ඇය සිතුවේ එයින් තව පෙනුම තවත් ඔප මට්ටම් වේවිය කියලයි. නමුත්, ඔපය කෙසේ වෙතත්, මුහුණ තරමක් ‘මට්ටම්’ වී ඇති බව නම් බැලූ බැල්මටම පෙනී යනවා.

පසුගියදා සිය ට්විටර් ගිණුමට එකතු කළ අයේෂාගේ අලුත්ම ඡායාරූපය ඒ බවට කදිම සාක්ෂියක්. 30 වැනි වියෙහි පසුවන ඇගේ මේ අලුත් පෙනුම දුටු රසික රසිකාවියන් සහ හිතවත් පිරිස දැඩි ලෙස කම්පා වෙලා. එදා අප දුටු රුවැති අයේෂා නොවෙයි, මේ අලුත් ඡායාරූපවල සිටින්නේ.

ප්ලාස්ටික් සැත්කම නිසා ඇගේ මුහුණ කිසියම් විකෘති ස්වභාවයකට පත්වෙලා. එදා ඇය සතු වූ සිහින් දෙතොල අද ඉදිමී ඇති ස්වරූපයකට හැරිලා. දෙකම්මුලත් ඉදිමී විකෘති වෙලා. ලස්සන නෙත් යුගලයෙහි වෙනදා දුටු සුන්දරත්වය වියැකී ගිහින්. සැබැවින්ම අයේෂා ටාකියා ප්ලාස්ටික් සැත්කමෙහි ගොදුරක් බවට පත්වෙලා.

එදා කවුරුත් බලාපොරොත්තු තබාගෙන සිටි අයේෂා 2009 දී ෆර්හාන් අස්මි සමඟ විවාහ වී, 2013 දී පුතකු ලැබූ පසුව බොලිවුඩ් සිනමාවෙන් ඉවත් වුණා. ඇය නැවතත් බොලිවුඩයට පිවිසීමේ අදහසින් මේ ප්ලාස්ටික් සැත්කම කරගන්නට ඇතැයි බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. නමුත් සිදුවී ඇත්තේ කනගාටුදායක දෙයක්.

අමීෂා බලන්න ලන්ඩන් ආ රසිකයා

සමහර සිනමා රසික රසිකාවියන් තමන්ගේ ප්‍රියතම නළුවා හෝ නිළිය රඟපෑ චිත්‍රපට එක වතාවක් නොවෙයි, දහ දොළොස් වතාවක් පවා නරඹනවා අතර සමහරු ඊටත් වඩා වැඩි වාර ගණනක් එකම චිත්‍රපටය නරඹනවා. ලන්ඩනයේ පදිංචිව සිටින එක්තරා ඉන්දීය තරුණයකු ‘භූල් බුලෙයියා’ නම්වූ බොලිවුඩ් චිත්‍රපටය 50 වතාවක් නරඹා තිබෙනවාලු. ඔහු එලෙස නරඹා ඇත්තේ එම චිත්‍රපටයේ අමීෂා පටේල් රඟපෑ නිසාලු. ඔහුගේ ප්‍රියතම නිළිය අමීෂා පටේල්. මේ බව හෙළි වුණේ අමීෂා විසින් පසුගියදා කරන ලද ප්‍රකාශයකින්.

“ගිය අවුරුද්දෙ මට මුණ ගැහුණු මේ රසිකයා අවුරුදු කීපයක් තිස්සෙම මා ගැන පිස්සු වැටිලයි ඉඳල තියෙන්නෙ. මම රඟපාපු ‘භූල් බුලෙයියා’ චිත්‍රපටයේ ඩී වී ඩී පිටපත 50 වතාවක්ම බලලා. පහුගිය වැලන්ටයින් දිනයේදී එයා මාව මුණ ගැහෙන්න ලන්ඩන්වල ඉඳන් ඉන්දියාවට ඇවිත් තිබුණා. එයාට ඕනැ වෙලා තිබුණෙ සැබෑ ජීවිතයේදී මගේ පෙනුම කොහොමද කියල බලන්නලු. සම්ප්‍රදායික ඉන්දියානු ඇඳුමක් ඇඳල ඉන්නවා දකින්නත් එක්කලු ආවෙ. මේ රසිකයා මාව මුණ ගැහෙන්න මගේ ඔෆිස් එකටම ඇවිත් හිටියා.” අමීෂා මෙලෙස කියා සිටියේ පසුගියදා දිල්ලි නුවරට පැමිණි අවස්ථාවකදීයි. චිත්‍රපට නිෂ්පාදිකාවක ද වන අමීෂා මෑතක දී රූගත වුණු ‘අාකටයි’ නම්වූ තෙලිගු චිත්‍රපටයේ ගීතමය දර්ශනයක රඟපෑවා.

බිග් බී රැජනගේ ඉල්ලීම ඉවත දමලා

බකිංහැම් මාලිගයේ පැවැත්වෙන රාජකීය උත්සවයකට සහභාගි වෙන්නැයි බ්‍රිතාන්‍යයේ මහ රැජනගෙන් ලැබෙන ඇරියුමක් කාට හෝ ලැබුණොත් ඔහු හෝ ඇය, එය ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ.

නමුත් එවැනි රාජකීය ඇරියුමක් පිළිනොගත් අයකු බොලිවුඩ්පුරයේ සිටිනවා. ඒ, අමිතාබ් භච්චන්. බ්‍රිතාන්‍යයත් ඉන්දියාවත් අතර පවතින සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් යුතුව පසුගියදා බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගයේ පැවැත්වුණු උත්සවයට ඇරියුම් ලබා සිටියත්, අමිතාබ් භච්චන් එයට සහභාගි වුණේ නැහැ. මේ උත්සවයට දෙරටෙහිම ප්‍රභූවරුන් රැසක්ම එක්වී සිටියා. ඒ වුණත්, අමිතාබ් මෙයට සහභාගි නොවුණේ කලින් යොදාගෙන සිටි වැඩ කටයුතු නිසා බවයි, ඔහුගේ ප්‍රකාශකයකු සඳහන් කළේ.

“ඔය උත්සවය පවත්වන දිනයේම චිත්‍රපටවල වැඩ කටයුතු කීපයකටම සහභාගි වෙන්නයි භච්චන් මහත්මයාට සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා ඉන්දියාවෙ ඉඳල ලන්ඩන්වලට යෑම අපහසු දෙයක් වුණා. මේ ආරාධනය ලැබීම ලොකු ගෞරවයක් හැටියටයි ඔහු සලකන්නෙ. නමුත්, ඒ උත්සවයට යන්න බැරිවීම ගැන භච්චන් මහත්මයා දුක් වුණා. ඒ බව නිල වශයෙන් දැනුම් දුන්නා.” අමිතාබ්ගේ ප්‍රකාශකයා එලෙස කියා සිටියා.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ අමිතාබ්ගේ දින පොත ‘අතුරු සිදුරු නැතිව’ පිරී තිබෙන බවයි. මාර්තු මුල් සතියේ ‘සර්කාර් 3’ චිත්‍රපටයේ පූර්ව දර්ශනය නිකුත් කිරීමත් ඉන් පසුව තවත් චිත්‍රපට කිහිපයකම රූගත කිරීම් යෙදී තිබීමත් මේ දිනපොතෙහි එක දිගටම සටහන් වී ඇතැයි ද ඔහු පැවසුවා.

රිතික් ආතතියෙන් මිදෙන්න ජර්මනියට යයි

දරාගන්නට බැරි තරමේ කරදර, කම්කටොලු කෙතරම් පැමිණියත් රිතික් රෝෂන් නොසැලී ජීවිතයට මුහුණ දෙන්නට උත්සාහ කළා. බිරිය සුසෑන් තමන්ගෙන් වෙන්වීම නිසා ඔහු දැඩි කම්පනයකට පත්වුණා. ඉන් පසුව කන්ගනා රනවුත් නම්වූ ජනප්‍රිය නිළිය සමඟ ඇති කරගත් ඊ-මේල් පටලැවිල්ල නිසා ඔහුගේ සිත පීඩනයට ලක්වුණා. රිතික්ගේ මානසික තත්ත්වය තව දුරටත් කඩා වැටුණේ ඔහු රඟපෑ ‘මොහෙන්ජෝ දාරෝ’ චිත්‍රපටය අසාර්ථක වීම නිසයි. ඒ වුණත් ඔහු තම පුතුන් දෙදෙනාටත් මවුපියන්ටත් ශක්තියක් වෙමින් සිත තුළ ඇතිවූ වේදනාවන් පිටතට නොපෙන්වා ඉදිරිය බලන්නට තැත් කළා.

නමුත් ඔහුගේ සිත තුළ ඇතිවූ ආතතිය මඟ හැරුණේ නැහැ. මේ අතර, හිතවතකු දුන් ආරංචියකට අනුව ඔහු හදිසියේම ජර්මනිය බලා පිටත්ව ගියා. ඒ, මීට සති දෙකකට කලින්. හිතවතා දැන්වූ පරිදි රිතික් ජර්මනියට ගියේ එරටෙහි පවත්වාගෙන යන ප්‍රසිද්ධ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වෙතටයි. තම සිත තුළ පවතින ආතතිය සුවකර ගැනීමටයි ඔහුට අවශ්‍ය වූයේ. පසුගිය දෙසතිය තුළ එහි රැඳී සිටිමින් ප්‍රතිකාර ගත් රිතික් ආපසු ඉන්දියාව බලා පිටත්වීමට නියමිතව තිබෙන්නේ මේ සතියේ. ඔහු ජර්මනියට පිටත්ව ගියේ තනිවමයි. පවුලේ කිසිම කෙනකු හෝ තම කාර්ය මණ්ඩලයේ කිසිවකු හෝ රිතික් සමඟ ජර්මනියට ගියේ නැහැ. 

 

Comments